හැටන් ළමයා සහ මුදලිගේ ළමයා

694

ඉතා වැදගත් විරෝධතා දෙකක් පිළිබඳ පසුගිය සතියේ අපට දැන ගන්නට ලැබිණ. මෙයින් පළමුවැන්න වන්නේ ළමා හිංසනය සහ ළමුන් මෙහෙකාර සේවයට යෙදවීම නතර කරන ලෙසට බල කරමින් වතුකරයේ ජීවත්වන ළමුන් පිරිසක් පා ගමනේ නිරත වීම ය. කොටගල නගරයෙන් ආරම්භ කළ මේ පා ගමන හැටන් නගරයේ කොමර්ෂල් ප්‍රදේශයෙන් අවසන් විය. අපට අසන්නට ලැබුණ දෙවැනි විරෝධතාවය වූයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු යාපනයට ගිය අවස්ථාවේදී අරගල එපා කියමින් වහාම යාපනයෙන් පිටවන ලෙස ඔහුගෙන් ඉල්ලමින් සාමාන්‍ය වැසියන් පිරිසක් පැවැත්වූ උද්ඝෝෂණය ය. ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීම සහ හිංසනයට පත් කිරීමට එරෙහි විරෝධතාව සංවිධානය කරන ලද්දේ එන්ජීඕ එකකි. එන්ජීඕ එකක් නොව අපායෙන් පැමිණි යමපල්ලකු විසින් සංවිධානය කළ ද ළමයින්ගේ උද්ඝෝෂණය කිසිසේත්ම බැහැර කළ නොහැක. ළමා මෙහෙකාර සේවය යනු, ආසියාවේ රටවල්වල බහුලව දැකිය හැකි සංසිද්ධියකි. ළමා මෙහෙකාර සේවය යුරෝපයෙන් පටන් ගත් ක්‍රියාවලියක් ලෙස හැඳින්වෙන අතර යුරෝපයේ පූර්ව කාර්මික සංවර්ධන යුගය පැවති 1750 සහ 1850 තුළ ගත වූ සියක් අවුරුද්දේ වඩාත් ඉස්මතුව පෙනුණේ ය. මේ කියන කාලයේදී එංගලන්තය ඇතුළු යුරෝපයේ රටවල් ගණනාවක සිටි සාමාන්‍ය පන්තියේ ළමයින් පාසල් ගියේ නැත. පාසල් යන සාධකය ක්‍රිස්තියානි පල්ලිය වටා භ්‍රමණය වූ අතර එය වංශාධිපතියන්ගේ දරුවන්ට පමණක් සීමා විය. මේ යුගයේදී අවුරුදු 4 ඉක්මවූ සියලුම දරුවන් තනිව තමන්ගේ වැඩ කරගත යුතු විය. අවුරුදු 5 ඉක්මවූ පසු ඔවුන් රස්සාවට යැවීමට සුදුසු විය. අවුරුදු 7 වන විට ගොවිපළක, රෙදි මෝලක හෝ වෙනත් පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කරන කම්හලක හෝ ඔවුන්ට රැකියාවක් ලැබිණ. එදා පටන් මළපොතේ අකුරක් ඉගෙන ගන්නේ නැතිව මේ ළමයින් කම්හල් හිමියාටත්, පවුලේ අයටත් කඹුරනු පිණිස ස්වකීය ශ්‍රමය කැප කළහ. ඔවුන්ට ලැබුණු පඩිය බෙහෙවින් අඩුය. එනම් වැඩිහිටියෙකුට දිනකට පැන්ස 10 ක් ලැබුණේ නම් ළමයාට ගෙවන ලද්දේ පැන්ස 2 කි. ඔහුට වැඩපළෙන් කෑම ලැබිණ. වැඩිහිටියන් ගිල දමන කෑම ප්‍රමාණයට වඩා ඉතාම සුළු ප්‍රමාණයකින් දරුවා සංතර්පනය කළ හැකි බැවින් කෑම දී දරුවන්ගෙන් වැඩ ගැනීම රෙදි මෝල් හිමියාට හෝ කම්හල් හිමියාට මහත් වාසියක් විය. හැබැයි මේ දරුවන්ට ඉතා ඉක්මණින් වසංගත රෝග බෝ විය. එබැවින් ඔවුහු බොහෝ විට වයස අවුරුදු 10 සම්පූර්ණ වීමට පෙර මිය ගියහ. ඒ දරුවන් මියගිය ද ඔවුන්ගේ තැන ගැනීමට ප්‍රමාණවත් දරු කැලක් ඒ වන විටත් රැකියා ලබාගැනීම සඳහා සූදානම්ව සිටියහ. එංගලන්තයේ දුප්පත් දරුවෙක් අවුරුදු 15 දක්වා ජීවත් වූයේ නම් කසාදයකට සුදුසු විය. කසාද බැන්ද පසු ළමා සැමියාත්, ළමා බිරිඳත් යන දෙදෙනාම වැඩපොළවල්වල සූරාකෑමට ලක්වූහ. ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය යම් ප්‍රමාණයකට වෙනස් ය. පූර්ව කාර්මික යුගය පැවැති 1750 ගණන් වලදී ශ්‍රී ලංකාව යනු අඩු ජනගහනයක් සහිත කැලෑබද රාජ්‍යයකි. එකල රටේ ජනගහනය බෙහෙවින් ස්වල්ප වූ අතර මුහුදුකරයේ සිටි විදේශික ආක්‍රමණිකයන්ට හිස නැමූ ධනවත් පවුල්වල දරුවන්ට පමණක් පල්ලිය මූලික කරගත් අධ්‍යාපනයක් හිමිවිය. රට මැදට වන්නට සිටි දරුවෝ පන්සලට ගොස් අකුරු ශාස්තරය උගත්හ. එම අකුරු ශාස්තරය ද ලියුමක් කියවීමට තරම් ප්‍රමාණවත් විය. පත්තර හෝ පොත් නැති මේ යුගයේ අකුරුවල අවශ්‍යතාවයක් විශාල වශයෙන් තිබුණේ ද නැත. ලියුමක් කියවීමට අමතරව පිරිත් පොත සහ බයිබලය කියවීමට කිසිවෙකු දැන සිටියේ නම් හේ උගතකු ලෙස සැලකීමට මිනිස්සු පුරුදු වූහ.

ශ්‍රී ලංකාව විසිවන සියවසට පා තබන විට කොළඹ සහ වෙනත් නාගරික ප්‍රදේශවල විසූ ප්‍රභූ පවුල්වලට ළමා මෙහෙකරුවන් අවශ්‍ය විය. ගම්වලින් ගෙන්වා ගත් මේ කුඩා දරුවෝ ගුටිකමින් ද, බැණුම් අසමින් ද, ගැහැනු පිරිමි භේදයක් නොබලා ගෙදර හාමුමහත්තයා අතින් දූෂණය වෙමින් ද අපා ජීවිත ගත කළහ. අද වන විට මේ රටේ ළමා මෙහෙකාර සේවයක් ඇත්තේම නැත. මෙය ලාදුරු ලෝකයෙන් තුරන් කර ඇති බව හා සමාන කතාවකි. ලාදුරු තවදුරටත් ලෝකයේ නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. එහෙත් ලංකාවේත් ලාදුරු රෝගය තිබේ. එහෙත් එම ප්‍රමාණය ගණන් නොගතයුතු තරම් රෝගීන් සුළු ප්‍රමාණයකි. ලංකාවේ ළමා මෙහෙකාර සේවය ද ගණන් කිරීමට නොහැකි තරම් කුඩා ප්‍රමාණයක් ලෙස පවතී. එය බොහෝ වේලාවට පවතින්නේ මේ ආකාරයෙනි. දුගී නිවසක ජීවත්වන ළමයි පාසල් වේලාවෙන් පසුව හෝ සෙනසුරාදා ඉරිදා හෝ ධනවත් පවුල්වල වතු වැඩ කරති. ඔවුන්ට ආහාර සමඟ දෛනික වැටුපක් ගෙවනු ලැබේ. එසේම කුඩා දරුවෝ සිඟාකෑමෙහි ද යොදවනු ලැබෙත්. මේ ඇහැට පෙනෙන ළමා හිඟමන් සිද්ධිය නැවැත්වීමටවත් බලධාරීන්ට බැරිය. එසේ නම් ඇසට නොපෙනෙන පරිදි රට පුරා පැතිර ඇති ළමයින්ගේ ශ්‍රමය සූරාකෑම වැළැක්වීමට කොහොමත් බැරිය. ළමා හා කාන්තා කාර්යාංශයක් රටේ තිබෙන නමුදු ළමා මෙහෙකාරකම ගැන ඔවුනට නිසි තොරතුරු නොලැබේ. එබැවින් හැටන් නගරයේ පැවැත්වූ ළමයින්ගේ විරෝධතාවයෙන් දෙන ලද සංඥාව කෙරෙහි ප්‍රතික්‍රියා දැක්වීම දුෂ්කරය. අපේ දෙවන විරෝධතාව වන වසන්ත මුදලිගේට යාපනයේදී ඇතිවූ විරෝධතාව පිටුපස කවර බලවේගයක් ඇද්ද යන්න අපට නොතේරේ. අප දන්නා තරමට වසන්ත මුදලිගේ විශ්වවිද්‍යාලයෙහි කරන්නේ විරෝධතා පැවැත්වීම, කඳුළුගෑස් කෑම, පොලිසියෙන් ගුටිකෑම, රිමාන්ඩ්එකේ තැපීම සහ සැඟවී සිටීම යන විෂයයන් කීපය වේ. මේ විෂයයන්ට ලෝකයේ කිසිදු රටක් තවමත් උපාධි ප්‍රදානය කිරීම අරඹා නැත. තවදුරටත් සටන් කළහොත් මේ විෂයයන් සම්බන්ධයෙන් උපාධියක් ලබා ගැනීමට මුදලිගේ ළමයාට හැකිවනවා ඇත. කෙසේ වුවද ඔහු යාපනයෙන් ප්‍රතික්‍ෂේප වීම ඔහු අයත්වන දේශපාලන කණ්ඩායම විසින් වඩාත් පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතුව තිබේ. නැත්නම් වසන්ත මුදලිගේ අයත් දේශපාලන කණ්ඩායම දිරාපත්වී වඳවී යෑමත් සිදුවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment