වී ගොවියා මෙවරත් හාන්සිද?

345

අප රටට බත සපයන ගොවියා පිළිබඳව ඇත්තේ කීර්තිමත් ඉතිහාසයකි. මඩ සෝදාගත් කල ගොවියා රජකමට වුවද සුදුසු යැයි ජනවහරට එක් වූයේ එබැවිනි. නමුත් කාලයාගේ ඇවෑමෙන් ගොවියා රජකු නොව හිඟන්නකු බවට පත්ව තිබේ. ගොවියාට එවැනි විපතක් අත්වූයේ පසුගිය කාලයේදී අප රට කළ උදවිය ගත් වැරදි තීන්දු නිසාවෙනි.

මෑතකාලීනව ගත්කල ගොවියා අසරණ කළ වැරදිම තීන්දුව ගනු ලැබුවේ ගෝඨාභය රාජපක්‍ෂ පාලන සමයේදීය. පොහොර සහනාධාරය කපා ගොවියා කාබනික පොහොරවලට යොමු විය යුතු බවට ගොඩවෙද්දු ටිකක් දුන් ලණුව කෑ නිසා අවසානයේදී ගෝඨාභය රාජපක්‍ෂ රජයට බරපතළ චෝදනා එල්ල විය. කෙතරම් යහපත් දෙයක් වුවත් එය ක්‍රියාත්මක කිරීමේදී එහි ඇති ප්‍රායෝගික බව වටහා නොගතහොත් අවසන සිදු වනුයේ හානියකි. පොහොර පමණක් නොව ඒ හා සමාන තවත් වැරදි තීරණ කීපයක් නිසා අවසානයේදී මහජන මතයට හිසනවා ගෝඨාභය රාජපක්‍ෂට සිය ජනාධිපති ධුරය පවා අත්හැරීමට සිදුවූ බව රටම දන්නා කරුණකි.

එම කතාව පසෙකින් තබා අපි යළිත් ගොවියාගේ ප්‍රශ්නය කෙරේ අවධානය යොමු කළහොත් මේ මොහොතේදීත් ගොවියා අසරණ වී සිටින පරිසරයක් නිර්මාණය වී ඇති බව පැහැදිලිය.

මේ දිනවල මහ කන්නයේ වී අස්වනු නෙළීමට පටන්ගෙන තිබේ. ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවියාගෙන් වී මිලදී ගතයුතු සහතික මිලක් ද තීන්දු කොට ඇත. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනුයේ තෙතමනය සියයට 14කට වඩා අඩු නාඩු වී කිලෝවක් රුපියල් 105කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 120කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිලදී ගතයුතු බවයි. තෙතමනය සියයට 14ට වඩා වැඩි නාඩු කිලෝවක් රුපියල් 95කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 105කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 120කටත් මිලදී ගත යුතු බවද අදාළ නිවේදනයේ සඳහන්ය. නිවේදනයේ එසේ සඳහන් වුවද එවැනි දෙයක් ගොවිබිම් තුළ ප්‍රායෝගිකව දැකිය නොහැකි බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. ඔහු පෙන්වා දෙන්නේ නැගෙනහිර පළාතේ අස්වනු නෙළීම අවසන් අදියරේ පැවතියත් ඒවා මිලදී ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය රජය මගින් ක්‍රියාත්මක කර නොමැති බවයි. මෙම තත්ත්වය හමුවේ නැගෙනහිර පළාතේ තෙත වී කිලෝවක් රුපියල් 85කටත්, වියළි වී කිලෝවක් රුපියල් 100කටත් පමණක් පෞද්ගලික වෙළෙඳුන් මිලදී ගන්නා බව හෙතෙම චෝදනා කර සිටී. නිෂ්පාදන වියදම් අධික කාලයකදී මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීම තුළ ගොවියාට රජකම නොව ඔහුට ඇදිවතත් අහිමි වන තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැක. එනිසා මේ මොහොතේදී රජය කළ යුත්තේ නොපමාව වී අලෙවි මණ්ඩලයේ මැදිහත්වීමෙන් තරගකාරී මිලකට වී මිලදී ගෙන ගොවියාට සෙතක් සැලසෙන අයුරින් ක්‍රියාකිරීම නොවේද?

අප රටේ වී මිල කොතරම් පහළ ගියද ඊට සාපේක්‍ෂව සහල් මිල අඩුවන්නේ නැත. පවතින තත්ත්වය තුළ නිර්මාණය වනුයේ ගොවියා කොල්ලකන සහල් පාරිභෝගිකයාත් අසරණකරන ක්‍රමවේදයකි.

රටක යහපත් පැවැත්මට අවශ්‍ය ප්‍රමුඛ කාරණය වන්නේ විනයයි. විනය පිරිහුන තැන ඇත්තේ විනාශයකි. අද අප රටේ පාරිභෝගිකයාට අහිතකර වෙළෙඳපොළක් නිර්මාණය වන්නේ අන්පාර්ශ්ව විනයක්, හික්මීමක් නැතිව ක්‍රියාකරන බැවිනි. වී සහ සහල් වෙළෙඳපොළ සම්බන්ධයෙන් ද කතාවත් එසේමය.

මහා පරිමාණයේ ව්‍යාපාරයක් පමණක් නොව කුඩා තේ කඩයක් පවත්වාගෙන යනු ලබන අයකුගේ පරමාර්ථය වන්නේ ලාබ ලැබීමය. ලාබ ලැබීමකින් තොරව කිසිදු වෙළෙඳ කටයුත්තක් සිදුවන්නේ නැත. අප රටේ ගොවීන් විසින් වගා කරනු ලබන සියලු වී මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් රජයට නොමැත. එවැනි අවස්ථාවකදී පෞද්ගලික අංශය ඊට මැදිහත් වීම සාමාන්‍ය දෙයකි. නමුත් පෞද්ගලික වෙළෙඳුන් මෙම ක්‍රියාවට මැදිහත්වීමේදී මුග්ධ අයුරින් ක්‍රියා නොකළ යුතුය. ගොවීන්ගේ දුක් මහන්සියෙන් නිෂ්පාදනය වන වී සඳහා සාධාරණ මිලක් ලබාදීම ඔවුන්ගේ වගකීමයි.

පෞද්ගලික වෙළෙඳුන් තමන්ටත් ලාබයක් ලබාගෙන ගොවියාටත් සාධාරණ මිලක් ලබාදී පාරිභෝගිකයාටත් සාධාරණ මිලකට සහල් ලබාදීමේ යාන්ත්‍රණයක් සැකසීමට ඇති තරම් අවස්ථා තිබේ. නමුත් අප රටේ බොහෝ වෙළෙඳුන් කරනුයේ කල දුටු කල වළ ඉහගන්නා සේ ගොවියාත් පාරිභෝගිකයාත් කොල්ලකන ක්‍රමවේදයකි. මෙවැනි අවස්ථාවලදී රජයේ මැදිහත්වීම අනිවාර්යයෙන්ම තිබිය යුතුය. කෘෂිකර්ම අමාත්‍යාංශය, වී අලෙවි මණ්ඩලය මෙන්ම පාරිභෝගික අධිකාරිය යන ආයතන මේ සඳහා සක්‍රීයව මැදිහත් විය යුතුය. වෙළෙන්දාටම වෙළෙඳපොළ මිල තීරණය කිරීමට ඉඩ දෙන්නේ නම් අප ඉහතින් සඳහන් කළ ආයතනවල අවශ්‍යතාවයක් නොමැත. මෙම ආයතනවල බලධාරීන්, නිලධාරීන් සහ සෙසු සියලුම දෙනා එක්ව ක්‍රියාකළ යුත්තේ ගොවියාටත්, පාරිභෝගිකයාටත් අසාධාරණයක් නොවන, වෙළෙන්දාටත් සාධාරණ වෙළෙඳාමකට ඉඩකඩ සැලසෙන පරිසරයක් නිර්මාණය කිරීමයි. එය වී සහල් වෙළෙඳපොළට පමණක් නොව අනිකුත් නිෂ්පාදන සහ සේවාවලටද අදාළ බව මතක් කර දෙනු කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment