සමෙහි වියළි බව නැති කරගන්න ප්‍රතිකාර

568

සම වියළීමට ලක්වීම වර්තමානයේ බොහෝ දෙනකුට ගැටලුවක් බවට පත්ව තිබේ. සාමාන්‍යයෙන් නිරෝගී සමක් පැහැපත්ය, දීප්තිමත්ය. නමුත් සම වියළීමට ලක්වූ විට එය දුර්වර්ණ වේ. අඳුරු පැහැතිය. එසේම සම වියළීමට ලක්වූ විට සම මත ඉරිතැළීම්, පැළීම් ආදිය ඇති වේ. කුඩා රැළි හටගැනීම, කොරපොතු ඇතිවීම මෙන්ම පොතු ගැලවී යෑමට ද ඉතා පහසුවෙන් ගොදුරු වේ.

සම යනු සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රියයි. එය හිස සිට දෙපතුල දක්වා සිරුරේ බාහිරින් පැතිර ඇත.

ඉන් සිදුවන ප්‍රධානම කාර්යය වන්නේ සිරුරේ අභ්‍යන්තරය ආරක්ෂා කිරීමය. එනම් සිරුරට විෂබීජ ඇතුළුවීම වැළැක්වීමය.

වර්තමානයේ අප බොහෝදෙනකු සම දෙස අවධානය යොමු කරන්නේ ඉන් සිරුරට ලැබෙන අලංකාරය කෙරෙහිය. ඒ නිසා සම පැහැපත් කර ගැනීමට වැඩි අවධානයක් යොමු කරති.

එබැවින් සමේ පැහැය වෙනස් වූ විට එය මානසික පීඩාවක් බවට පත්වේ.

● සම පැහැපත් කර ගැනීම

සම වියළීමට සහ පැහැය දුර්වර්ණ වීමට බලපාන හේතු රාශියක් ඇත. සිරුරේ හෝමෝන අසමතුලිත තාවය, මන්දපෝෂණය, ඇතැම් ඖෂධවල අතුරු ප්‍රතිඵල, පරිසර බලපෑම් ආදිය ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වේ.

විශේෂයෙන්ම කාන්තාවන්ගේ ස්ත්‍රී හෝමෝනවල අසමතුලිතතාවයන් නිසා සම වියළීමට ලක්වේ.

එවැනි අවස්ථාවලදී එම හෝමෝන අසමතුලිතතාවයනට නිසි ප්‍රතිකාර ලබාගත යුතුය. එසේම ඉන් සමට බාහිරින් සිදුව ඇති බලපෑම නැති කර ගැනීමට ඖෂධීය ආලේප වර්ග ගැල්වීම කළ හැකිය.

● සමට ආලේප ගැල්වීම

බාහිරින් සමට ආලේප ගැල්වීමේදී ස්වභාවික ශාකසාර ඖෂධ වර්ගවලින් නිෂ්පාදනය කළ ආලේප වර්ග ගැල්වීම කළ යුතුය. කෘත්‍රිම අමුද්‍රව්‍යවලන් නිෂ්පාදනය කළ ආලේප වර්ග දීර්ඝ කාලීනව ගැල්වීම මගින් සමට හානි සිදුවේ.

සම මත ආලේපනයක් ගැල්වීමේදී ඉන් සමෙහි ස්වභාවිකව තෙල් නිපදවීමේ ක්‍රියාවලියට බාධා ඇති නොවිය යුතුය.

වර්තමානයේ ඇතැම් සබන් වර්ග සහ ආලේපන වර්ග නිසා සමෙහි මෙම ස්වභාවිකව තෙල් නිපදවීමේ ක්‍රියාවලියට හානි සිදුවේ. ඉන් සමට සිදුවන හානි වැඩිවේ.

● අලිගැට පේර ආලේපනය

හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩියක් ගෙන එය හොඳින් පොඩිකර මීපැණි සමග මිශ්‍ර කර මුහුණේ සහ වියළීමට ලක්වූ සමෙහි ස්ථානවල ආලේප කළ හැකිය.

අලිගැටපේර යනු ස්වභාවික කොලැජන් අඩංගු පලතුරකි.

● ස්වභාවික පොල්තෙල්

පොල්තෙල් යනු සමට හිතකර පෝෂ්‍ය ගුණයෙන් අනූන තෙල් වර්ගයකි. වියළි සමක් සහිත අයට මෙය ආලේප කිරීමෙන් සම යළි පැහැපත් කරගත හැකිය. එහිදී ස්වභාවික පොල්තෙල් රාත්‍රියට පමණක් ආලේප කළ යුතුය.

ජොජෝබෝ තෙල්, ආමන්ඩ් තෙල් වැනි තෙල් වර්ග ද සමට ආලේප කිරීම මගින් සමේ පවතින වියළි බව නැති කරගත හැකිය.

● ඔලිව් තෙල්

ඔලිව් තෙල් ද සමට ඉතා ගුණදායී ස්වභාවික තෙල් වර්ගයකි. එහි සමෙහි තෙතමනය සහිත බව (Moisturizer) ඇති කිරීමේ ගුණය ඉහළ මට්ටමක පවතී. එබැවින් වියළි සමක් ඇති අය සම හොඳින් පිරිසිදු කර ඔලිව් තෙල් ආලේප කිරීම මගින් සම පැහැපත් කරගත හැකිය.

● කෝමාරිකා ආලේපය

වියළි සමක් ඇති අයට කෝමාරිකා ආලේප කිරීම ද ගුණදායකය. ඉන් සම රැළි වැටීම අවම කරගත හැකිය. සමේ තෙතමනය හොඳින් රඳවා ගත හැකිය.

● ජලය පානය

වියළි සමක් ඇති අය පිරිසිදු ඇල් ජලය පානය ගුණදායකය. උණු ජලය පානය අවම කළ යුතුය. එසේම සම පිරිසිදු කිරීමේදී උණු ජලය භාවිත නොකළ යුතුය. වියළි සමක් ඇති අය සවස් වරුවට හොඳින් ඇල් ජලය පානය ගුණදායකය.

● හිරුඑළියෙන් සම රැකගැනීම

වියළි සමක් ඇති අය හිරුඑළියට නිරාවරණය වීමේදී සම රැකගැනීමට භාවිත කරන ආලේපයක් (Sun Cream) ගල්වා ගැනීමට අවධානය යොමු කළ යුතුය.

● ආලේප ගැල්වීමේදී

සම මත ආලේප වර්ග ගැල්වීමේදී සමට හොඳින් උද්දීපනයක් ඇතිවන අයුරින් සම්බාහනය කළ යුතුය. එවිට සමෙහි සෛල හොඳින් ක්‍රියාකාරී වී සීබම් නිෂ්පාදනය ඉහළ නැංවීමට රුකුලක් වේ. ඉන් සමෙහි වියළි බව නැතිවී සම පැහැපත් වේ.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0762802256 ඇමතිය හැකිය.

සමෙහි වියළි බව නැති කරගන්න ප්‍රතිකාර

රූපලාවන්‍ය පිළිබඳ ආයුර්වේද ඩිප්ලෝමාධාරී
කේෂාලංකරණ සහ රූපලාවන්‍ය විශේෂඥ :(NVQ Level – 04)
දිල්කි ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment