මෙරට මන්දපෝෂණය ගැන සෞඛ්‍ය ඇමැතිගේ ප්‍රකාශය අසත්‍ය වගකීම් විරහිත බව ඔප්පු වුණා

290

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

මෙරට මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අසත්‍ය සහ වගකීම් විරහිත ප්‍රකාශයක් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් නිකුත් කළ නවතම පෝෂණ වාර්තාවෙන් ඔප්පු වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ද මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් නැති බවට කළ ප්‍රකාශය ද මෙම වාර්තාව මගින් බොරු වී තිබියදී, සිය සන්ධානය එදා රටට ඇත්ත කී බව එම සංධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා කියයි.

සෞඛ්‍ය කාර්යාංශය මගින් නිකුත් කර ඇති නවතම පෝෂණ වාර්තාවට අනුව රට තුළ පවතින සැබෑ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳවත් එදා කළ ප්‍රකාශය පිළිබඳවත් ඒ පිළිබඳව අද සෞඛ්‍ය අමාත්‍යාංශය දරන මතයත් ජනතාවට පැවසිය යුතු බව හෙතෙම කියා සිටී.

නවතම පෝෂණ වාර්තාවට අනුව මෙරට දරුවන් අතුරින් සියයට එකකට ආසන්න පිරිසක් එනම් 15,000 කට අධික ප්‍රමාණයක් උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණය වී තිබේ.

එසේම තවත් දරුවන් එක්ලක්‍ෂ පනස්දහසකට ආසන්න පිරිසක් උග්‍ර තීව්‍ර මන්දපෝෂණයට ගොදුරුවීමේ අවදානම් කලාපයේ හෙවත් මධ්‍යස්ථ අගයේ සිටින බවත්, අවුරුදු 05 ට අඩු පාසල් දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වය ඉහළ යමින් පවතින අතර එම දරුවන්ගේ මරණ අනුපාතය ද ඉහළ යමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් නිකුත් කළ නවතම පෝෂණ වාර්තාවේ සඳහන් වේ.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment