ලෝක තෙත්බිම් අතරට ගිය බුන්දල වන උයනේ අසිරිය විඳිමු

මේ සංචාරක නොහොත් පර්යටනික (Migrant) කුරුල්ලන්ගේ සමයයි. සාමාන්‍යයෙන් යුරෝපයට හිම වැටෙන කාලයට, එහෙමත් නැත්නම් සීත කාලයට උතුරු අර්ධගෝලයේ සිට පෘථිවියේ දකුණු අර්ධ ගෝලයට කුරුල්ලන් සංක්‍රමණය වීම අනාදිමත් කාලයක සිට සිදුවන්නකි. ඒ අතරින් ශ්‍රී ලංකාව මෙසේ පැමිණෙන පර්යටනික කුරුල්ලන්ගේ වැදගත් නවාතැනකි. මන්ද යත්, මධ්‍යම පර්යටනික මාර්ගයෙන් පහළට පැමිණෙන කුරුල්ලන්ගේ නවාතැන සඳහා වන අවසන් ගොඩබිම වන්නේ ශ්‍රී ලංකාව නිසාය.

උතුරු අර්ධ ගෝලයට පවතින සීත කාලය නිමාවී යළි වසන්තය උදාවන තෙක් මෙසේ පැමිණෙන කුරුල්ලන් ශ්‍රී ලංකාවේ වාසය කරන අතර, මෙසේ පැමිණෙන 250 ක් පමණ වන කුරුල්ලන් අතරින් වැඩි ප්‍රමාණයක් දිවි ගෙවන්නේ ජලාශ්‍රිතවය. එනම් වෙරළ, කළපු, මෝය, ලවණ වගුරු, කඩොලාන පරිසර, ලේවාය, කුඹුරු වැනි තෙත් බිම් ආශ්‍රිතව මෙම කුරුල්ලෝ දිවිගෙවති. ඒ අතරින් වැඩි ප්‍රමාණය ශ්‍රී ලංකාවේ උතුරු භාගයේ තෙත් බිම් ආශ්‍රිතව දිවි ගෙවූවද, ශ්‍රී ලංකාවේ බටහිර හා නැගෙනහිර ඔස්සේ පහළට විහිද යන දකුණු ලක වෙරළ කලාපය දක්වාම මෙම ජලාශ්‍රිත කුරුල්ලෝ මාස 5 කට ආසන්න කාලයක් දිවිගෙවති. එසේ දකුණු ලකට එන කුරුල්ලන්ගේ වැදගත් වාස භූමි අතර ලුනම – කලමටිය කලපු,

ගොඩවාය මෝය මෙන්ම යාල, බුන්දල ජාතික වනෝද්‍යාන ප්‍රමුඛ තැනක් ගනී. ඒ අතරිනුත් කුරුල්ලන් නැරඹීම සඳහා ලෝක ප්‍රසිද්ධියක් අත්කරගෙන ඇති තෙත් බිමක් වන්නේ “බුන්දල ජාතික උද්‍යානය”යි. මේ නිසාම සුප්‍රසිද්ධ මෙම උද්‍යානය ජාත්‍යන්තර “රැම්සා” නිර්ණායක සපුරා ඇති බැවින් “ජාත්‍යන්තර රැම්සා තෙත්බිමක්” ලෙස ප්‍රකාශයට පත්කර ඇති තෙත් බිමකි. එනම් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රැම්සා තෙත් බිම් 6 න් පළමු ස්ථානයේ ලා සැලකෙන බුන්දල පර්යටනික කුරුල්ලන් නැරඹීමට ඇති තෝතැන්නක් ලෙස හැඳින්වීම නිවැරදිය.

එබැවින් පර්යටනික කුරුල්ලන් එන සමයේ මෙවර අපි අපගේ “සංචාරේ” බුන්දල දෙසට හරවා ගතිමු. පළමුව අපි බුන්දල ජාතික උද්‍යානය පිළිබඳවත්, එහි ඇති පාරිසරික වටිනාකම් සහ කුරුල්ලන් ඇතුළු ජෛව විවිධත්ව වටිනාකම් සලකා බලා මෙම වනෝද්‍යානය කොයි තරම් සංචාරක වටිනාකමක් ඇති ස්ථානයක්දැයි සලකා බලමු.

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටා ඇති බුන්දල, කලපු හා ලවණ වගුරු සංකීර්ණයකින් සමන්විත තෙත්බිමකි. මෙහි සුප්‍රකට කලපු 5 ක් පිහිටා ඇත. එම කලපු 5 නම් හම්බන්තොට මහා ලේවාය, කොහොලන්කල කලපුව, මලල කලපුව, ඇඹිලිකල කලපුව සහ බුන්දල කලපුව නොහොත් බුන්දල ලේවායයි. අමතරව ලවණ වගුරු හා දිය පොකුණු රාශියකි. මෙනිසාම තෙත් බිම් ආශ්‍රිත කුරුල්ලන්ගේ ගොදුරු බිමක් වන මෙහි ධීවර කර්මාන්තය ද යහමින් සිදුකෙරුණු ස්ථානයකි. අක්කර 9245 කින් සමන්විත බුන්දල ජාතික උද්‍යානය හම්බන්තොට නගර සීමාවෙන් ආරම්භ වී හම්බන්තොට-තිස්සමහාරාමය පාරේ වැලිගත්ත හන්දිය දක්වාත් එතැන් සිට කිරින්ද පාරේ කිරින්ද මුහුදු ප්‍රදේශය දක්වාත් වෙරළද ඇතුළුව මුහුද දෙසට විහිද යන බිම් තීරය මෙසේ බුන්දල ජාතික වනෝද්‍යානය ලෙස සැලකේ.

තෙත් බිම්, කටු කැලෑ, වනාන්තර, වැලිතලා සහ වෙරළ පරිසර පද්ධතිවලින් සමන්විත බුන්දල එක අතකින් පෙර කී පරිදි ජලාශ්‍රිත කුරුල්ලන්ගේ පාරාදීසයකි. මෙහි කුරුල්ලන් විශේෂ 197 ක් පමණ දිවි ගෙවන බවට හඳුනාගෙන ඇත. තවත් පැත්තකින් වන අලින්, තිත් මුවන් වැනි වන සතුන්ගේ ද නිවහනකි. කිඹුලන් දැක බලාගන්නට ද බුන්දල ඉතා ප්‍රකට අභයභූමියකි. එසේම, බුන්දල තවදුරටත් ප්‍රකටව ඇත්තේ එහි මුහුදු ඉමේ පිහිටි “පතිරාජය” ප්‍රදේශය “බලන්ගොඩ මානවයා” ඇතුළු ඉපැරණි මානවයන් දිවිගෙවූ ප්‍රදේශයක් ලෙසිනි. එනම්, මෙහිදී පුරා විද්‍යාඥයින් විසින් හඳුනාගනු ලැබ ඇති අතීත මානවයා භාවිතයට ගත් ගල් ආයුධ වසර 125,000 ක් තරම් පැරණි බව කියනු ලැබේ.

බලංගොඩ මානවයා දිවිගෙවූ කාලය ලෙස ස්ථිර සාක්ෂි හමුවන්නේ වසර 36,000 ක් එපිටෙනි.

මෙවන් වැදගත්කමක් දරන බුන්දල 1969 දී අභයභූමියක් බවට ප්‍රකාශයට පත්කරන ලද අතර, 1993 වසරේදී ජාතික උද්‍යානයක් බවට පත්කරන ලදි. එසේම මෙහි ඇති තෙත්බිම් වටිනාකම සලකා 1991 දී ශ්‍රී ලංකාවේ පළමු අන්තර්ජාතික “රැම්සා” තෙත්බිම ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර, 2005 වසරේදී ශ්‍රී ලංකාවේ 4 වැනි “මිනිසා සහ ජෛවගෝල රක්ෂිතය” ලෙසද නම් කරන්නට යෙදිණි. එසේ හෙයින් පර්යටනික කුරුල්ලන් සිය ගණනක් පැමිණ සිටින මෙවන් සමයක මේ අගනා තෙත්බිමේ සංචාරක වටිනාකම් සොයා ඉකුත්දා අප එහි සංචාරය කරන ලද අතර එහිදී අප ලබාගත් අත්දැකීම් සමුදාය අතිශය ඉහළය.

කොළඹ සිට තිස්සමහාරාමයට ළඟාවූ එදින තිස්සමහාරාමය අවට ගතකර අනතුරුව පසුදා බුන්දල වන උයනේ විසිතුරු සොයා එහි ගියේ සෆාරි ජීප් රථයක උදව්වෙනි. වැලිගත්ත හන්දියෙන් ගමන් ඇරඹු අපි, උද්‍යානය කාර්යාලයෙන් අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගෙන උද්‍යාන පිවිසුමෙන් පැමිණ කටුකැලෑ පසුකරමින් මද වේලාවකින් උද්‍යානයේ තෙත් බිම් කලාපය වෙත පැමිණි අතර, අනතුරුව කොහොලන්කල කලපුව, මලල කලපුව, ඇඹිලිකල කලපුව පසුකර අවසානයට බුන්දල කලපුව වෙත ළඟාවන විට දහවල ඉක්මවී තිබිණි.

මේ ගමනේදීම අපි උද්‍යානයේ මුහුදු ඉම දක්වා ගොස්, මුහුදේ පමණක් නොව, එතැනට දිස්වන කිරින්ද ප්‍රදේශය හා හම්බන්තොට කොටුව ප්‍රදේශය ද නිරීක්ෂණය කළ අපි, පෙර සඳහන් කළ අතීත මානවයාගේ වාසස්ථාන පැවති “පතිරාජය” ට යන්නට ද අමතක නොකළෙමු. මෙහි එක් පසෙක කටු පතොක් ශාක ප්‍රජාවන්ගෙන් සමන්විත තෙර දිව යන පුලින තලාවකි. උද්‍යානය තුළ බහුල ලෙස මලිත්තන්, මයිල, පලු, කලපු අන්දර වැනි වෘක්ෂද, ඉඳි, කුකුල් කටු වැනි කෙටි පඳුරුවලින්ද සමන්විතය. කලපු තුළ බොහෝසේ හම්බු පන් වැවී ඇත.

ඇත්තටම හම්බන්තොට දිස්ත්‍රික්කයේම පිහිටා තිබුණද, බුන්දල යනු යාල ජාතික උද්‍යානයට වඩා වෙනස් පරිසර ලක්ෂණ දරන උද්‍යානයකි. එහි භූ පැතිකඩයන් ද වෙනස්ය. ආකර්ෂණීය ය. කලපු සහ දිය පොකුණු නිසා මෙයට වෙනමම අලංකාරයක් හා ආකර්ෂණයක් ලැබේ. මේ නිසා සැබවින්ම බුන්දල යනු අතිශය සිත්ගන්නා අභයභූමියකි. මෙවර “සංචාරේ” ගමනෙන් ඒ අසිරිය පමණක් නොව, බුන්දල අද්විතීයත්වය ද එක ලෙස අපි විඳගත්තෙමු.

සැරිසර –
ජගත් කණහැරආරච්චි
තෙවැනි ඇස – වාසල සේනාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment