කාදිනල්තුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව රටේ ජනතාව විනාශයකට ඇද දමන්න දායක වෙලා – එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

59

කාදිනල්තුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව රටේ ජනතාව බරපතළ අර්බුදයකට, විනාශයකට ඇද දමන්නට දායක වෙලා තිබෙනවා කියන එක මේ රටේ ජනතාව තේරුම් ගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (19 දා) පැවති මාධ්‍ය හමුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරය තුළින් 273ක පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. පන්සියයකට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා අදටත් ජීවතුන් අතර ඉතා අපහසුවෙන් ජීවිත ගෙවන අයත් ඉන්නවා. මෙම ම්ලේච්ඡ, අවාසනාවන්ත සිදුවීම ඉතාම පිළිකුලෙන් හෙළා දැකිය යුතු කාරණයක් බව අපි හැමෝම පිළිගන්නවා. මෙම ප්‍රහාරයෙන් පස්සේ මැතිවරණ සමය පැමිණියාට පසු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය දක්වමින් මැතිවරණ ව්‍යාපාරයට වක්‍රාකාරයෙන් සහය දැක්වීමක් කාදිනල් තුමා විසින් සිදු කළ බව වසර ගණනාවකට පසුව එතුමා විසින්ම පාපොච්චාරණය කර තිබෙනවා. දැන් උන්වහන්සේම ප්‍රකාශ කරනවා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එතුමා රැවටුණා කියලා.

අත්දැකීමක්, විදේශ සම්බන්ධතාවයක් නැති යුද්ධය මොහොතෙදිත් රටෙන් පිටවෙලා ගිහිල්ලා මගහැරලා හිටපු කෙනෙකුට දෙකෝටි විසි ලක්ෂයක් වෙච්ච ජනතාවගේ ඉරණම විසඳීම සඳහා කාදිනල් වහන්සේ මැදිහත් වුණයි කියන එක ඒ අනුව ඔප්පු වෙනවා.

ඒ නිසා සිද්ධ වෙන දේ කුමක්ද? රට අරාජික වුණා. ආර්ථික වශයෙන් ඇදගෙන වැටුනා. කෘෂිකර්මාන්තය බිඳ වැටුණා. ජනතාවට එදිනෙදා භාණ්ඩ හිඟ වුණා. රටේ ජනතාව පෝළිං වලට ගියා. පෝලිම්වල මැරී වැටුණා. දරුවන්ට පාසල් නැති වුණා. තෙල් ටිකක් ගන්න, තෙල් නැවක් ගන්න, අපට සංචිත නැතිවෙලා අපි බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණා.

ජනතා විමුක්ති පෙරමුණ දැන් කාදිනල් වහන්සේව මුණගැහිලා කරුණු හතක් පිළිබඳව දැනුවත් කරන්නට සූදානම් වෙනවා. ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන කාදිනල් වහන්සේ එසේ නම් ජනතා විමුක්ති පෙරමුණෙන් වැදගත් ප්‍රශ්නයක් ඇසිය යුතු වෙනවා. ඔබගේ ජාතික ලැයිස්තුවේ ඉන්න ඊබ්‍රාහිම්ගේ පුතාලා දෙන්නා මේ ඝාතනවලට වගකිව යුතු වෙනවා. ඒ නිසා ඔබ කෙසේද මෙවැනි අපරාධකාර පවුලක සාමාජිකයෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙන එන්නට ක්‍රියා කළේ කියන එක ඔහු විමසිය යුතු වෙනවා. එනිසා ජනතාවට කියන්න මේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම ආවට පස්සේ ඔබ වහන්සේ මේ ප්‍රශ්නය ඔවුන්ගෙන් ඇහුවද?

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මිනීමරු දේශපාලන කල්ලියක්. ඔවුන් නැවත සහරාන්ගේ මිනීමරු කල්ලියත් එක්ක සබඳතා පැවැත්වුවද කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ඒනිසා කාදිනල් වහන්සේ දැනුවත්ව හෝ නොදැනුවත්ව නැවත කරන්න යන්නෙත් පෙර කළා වගේම මිනීමරු කල්ලියකට සහාය දීල මේ රට අරාජික කිරීමටද කියන ප්‍රශ්නය ඇසිය යුතු වෙනවා. ඒ නිසා ඊබ්‍රාහිම් එක්ක එකතුවෙලා මේ අපරාධය සැලසුම් කළාද? කියලා අපි නොදන්නා නිසාම ඒ සම්බන්ධව සමීපව කටයුතු කිරීම කාදිනල් වහන්සේට නොගැලපෙන බව අපි සඳහන් කළ යුතුයි.

මේ නිසාම රටේ දේශපාලනය ආර්ථික තත්ත්වය රටේ ආරක්ෂාව කුමන තත්ත්වයකට පත් වෙයිද කියන බරපතල ප්‍රශ්නය අපි ඉදිරියේ තිබෙනවා.

වරක් උන්වහන්සේ ගෝඨාභය රාජපක්ෂයට රැවටුණා. ජනතාව කාදිනල් වහන්සේට රැවටුණා. එනිසා දැන්වත් ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි කියන එක සඳහන් කරන්නට අවශ්‍යයි.

අපේ රටේ ජනතාව ආගමික ශාස්තෘවරුන් සහ එම අනුගාමිකයන් පිළිබඳව වඩා හොඳ විශ්වාසයක් තිබෙනවා. ඒ නිසාම ඔවුන්ට ගරු කරනවා. ඒ නිසා ඒ පසුපස ගිහිල්ලා ඔබවහන්සේලා ජනතාව වැරදි විදියට මෙහෙයවීමෙන් ජනතාව ඒ අනුගාමිකත්වය තුළ වැරදි විදියට තීරණ ගැනීම සිද්ධ විය හැකියි කියන එක මතක් කිරීමට සිද්ධ වෙනවා.

දැන් මේ සිද්ධිය වෙලා අවුරුදු ගණනාවක් ගතවෙද්දී තමයි ජනතා විමුක්ති පෙරමුණට මේ සිද්ධිය ගැන කතා කරන්නට මතක් වෙලා තිබෙන්නේ. කාදිනල් වහන්සේ හම්බෙලා මේවට ගන්නා ක්‍රියාමාර්ග මේකයි කියලා කලින් කියන්නට බැරි වුණේ ඇයි? ජනාධිපතිවරණයට මාස දෙක තුනක් තියෙද්දී මේ ගිහිල්ලා කතා කරන සාකච්ඡාවේ සිග්නල් එක මොකක්ද කියලා රටේ ජනතාව තේරුම් ගත යුතුයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment