ඉන්දීය සංචාරකයන්ට දෙන ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය

190

ඉන්දියාව යනු අපගේ ආසන්නතම අසල්වැසියායි. එසේම මෙරටට එන විදේශ සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් ද ඉන්දියානු ජාතිකයින්ය. මෙසේ මෙරටට එන ඉන්දීය සංචාරකයන්ට ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් හරහා මුදල් භාවිතයෙන් තොරව ගෙවීම් කිරීමේ පහසුව ඇති කිරීමට පසුගියදා පියවර ගත්තේය. ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මොරිෂස් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් ජුග්නෝත් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ සහ මොරිෂස් හි ඒකාබද්ධ ගෙවීම් පද්ධති සේවාවන් සහ මොරිෂස් හි Rupay කාඩ් සේවාවන් දියත් කිරීමේ වැඩසටහන ඉකුත් පෙබරවාරි 12 වැනි දින පස්වරු 1.00 ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. මේ නිමිත්තෙන් කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේ දී උත්සවයක් පැවති අතර කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයෙන් එයට සහභාගි වීමට මේ ලියුම්කරුට ද අවස්ථාව ලැබිණි. ඉන්දියාව යනු මේ වන විට මූල්‍ය තාක්ෂණ නව්‍යකරණය සහ ඩිජිටල් පොදු යටිතල පහසුකම් ක්ෂේත්‍රය තුළ බොහෝ පෙරට පැමිණ ඇති රටකි. ඉන්දියාවේ සංවර්ධන අත්දැකීම් සහ නව්‍යකරණයන් අසල්වාසී රටවල් සමග බෙදා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැඩි අවධානයක් දක්වන බව කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. මේ පසුබිම තුළ මේ නව ගෙවීම් ක්‍රමවේදයේ බලපෑම් පිළිබඳව අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙන්ම ඉන්දියාව සහ මොරිෂස් රාජ්‍යය සමග පවතින ශක්තිමත් සංස්කෘතික සහ ජනතාව අතර බැඳීම් හේතුවෙන් UPI සේවා මෙම රටවල දියත් කිරීම වඩා වේගවත් සහ සුමට ඩිජිටල් ගෙවීම් අත්දැකීමක් හරහා විශාල ජනතාවකට සෙත සලසනු ඇති අතර එම රටවල් අතර ඩිජිටල් සම්බන්ධතාව ඉහළ නංවනු ඇති බව ඉන්දියාවේ අපේක්ෂාව වී ඇත. ශ්‍රී ලංකාවේ සහ මොරිෂස් හි ඒකාබද්ධ ගෙවීම් අතුරු මුහුණත ( (Unified Payment Interface/ UPI)) එනම් UPI සේවා දියත් කිරීම මෙහිදී සිදු කරන ලදී. වැඩසටහන දියත් කිරීමත් සමග ශ්‍රී ලංකාවට සහ මොරිෂස් රාජ්‍යයට පැමිණෙන ඉන්දීය ජාතිකයන්ට මෙන්ම ඉන්දියාවට පැමිණෙන මොරිෂස් ජාතිකයන්ට UPI පියවීම් සේවා භාවිතා කිරීමට හැකි වනු ඇත. එහෙත් මේ වැඩසටහනේ ප්‍රථම අදියරේ දී මෙම ඒකාබද්ධ ගෙවීම් අතුරු මුහුණත මගින් පහසුකම් සැලසෙනුයේ මෙරටට එන ඉන්දියානු ජාතිකයන්ට මේ නව ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයෙන් ගෙවීම් කිරීමට ය. එහෙත් ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන්ට එරට දී මේ ක්‍රමවේදය මගින් ගෙවීම් කිරීමට තවමත් අවස්ථාවක් නැත. මේ වැඩසටහනේ දෙවන අදියර යටතේ එම පහසුකම ද ශ්‍රී ලාංකිකයන්ට ද ලැබෙනු ඇතැයි ලංකාපේ ආයතනයේ සභාපති ආචාර්ය කෙනත් ද සිල්වා මහතා කියයි. ඔහු මේ බව කීවේ මේ නව ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ඉකුත් පෙබරවාරි 12 දින දවල් හඳුන්වා දීමෙන් අනතුරුව එදිනම පස්වරුවේ ඒ පිළිබඳ දැනුවත් කිරීම සදහා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න සහ මේ ඩිජිටල් ක්‍රමවේදය සඳහා මෙරට වෙළෙඳ ප්‍රජාව ඇතුළත් වන්නේ කෙසේ ද යන්න ගැන මෙරට ජනතාව සහ වෙළෙඳ ප්‍රජාව පුළුල් වශයෙන් දැනුවත් කිරීම, මේ ක්‍රමවේදය සාර්ථක කර ගැනීමේ දී ඉතා වැදගත් වනු ඇත. මෙය මුලික වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ QR කේතයක් හරහාය. දැනටමත් ලංකාවේ ගෙවීම් ඩිජිටල් ආකාරයෙන් සිදු කිරීම සඳහා ලංකා QR කේතය හඳුන්වා දී ඇත. තම ගිණුම අයත් බැංකුව සමඟ වෙළෙඳ එකඟතාවකට පැමිණීමෙන් පසු තම ව්‍යාපාරයට අදාළ ලංකා QR කේතය පහසුවෙන් ලබා ගත හැකි බව මේ මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ (ගෙවීම් සහ පියවීම්) වසන්ත අල්විස් මහතා පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි සියලුම බැංකු හා මූල්‍ය ආයතන එම කේතය නිකුත් කිරීමට බැඳී සිටින බවද ඒ මහතා සඳහන් කළේය. මෙය කිසිදු වියදමකින් තොරව වෙළෙඳ ප්‍රජාවට ලබාගත හැකි වීම ද විශේෂත්වයකි. මේ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා මෙම QR කේතය ස්කෑන් කිරීම මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ මෙම ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමට හැකි වේ. එහෙත් ඒ සඳහා ලංකාවේ අදාළ වෙළෙඳසල හෝ අදාළ වෙළෙන්දා ලංකා QR කේතය දැනටමත් ලබාගෙන තිබිය යුතු වේ. දැනටමත් යම් වෙළෙඳ ආයතන ප්‍රමාණයක් ලංකා QR කේතය ලබාගෙන තිබේ. එම ආයතන මේ නව UPI ක්‍රමවේදයට තම බැංකුව හරහා ඇතුළත් විය යුතු වනු ඇත.

ඉන්දියාවේ NPCIගෙවීම් ආයතනය සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින් වෙළෙඳසල් 10ල000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමීව සිදු කෙරෙන අතර මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින් මේ වසරේ (2024) මාර්තු මාසය වන විට මෙම වෙළෙඳසල් සංඛ්‍යාව 65ල000ක් දක්වා ඉහළ නැංවීමට නියමිත බව ද මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ විණි. මේ සඳහා යම් කාලයක් ද ගත වනු ඇත. ඉන්දීය සංචාරකයන් මෙරට යන ස්ථානවල මේ නව ක්‍රමවේදයෙන් ගෙවීම් කිරීමේ පහසුව නැත්නම් මේ ක්‍රමවේදය සාර්ථක වන්නේ නැත. එසේ නම් මේ ක්‍රමය සාර්ථක කර ගැනීම සඳහා ඉන්දියානු සංචාරකයන් මෙරට බහුලව සංචාරය කරන ස්ථාන හා ප්‍රදේශවල මේ QR කේතය මගින් ඩිජිටල් ක්‍රමයට ගෙවීම් භාර ගන්නා ස්ථාන තිබිය යුතු වේ. ඒ සඳහා බැංකු ඇතුළු අදාළ බලධාරීන් දැන් ක්‍රියාත්මක විය යුතුව තිබේ. මේ ක්‍රමයට අපේ රටට ලැබෙන මුදල් නිල මාර්ග එනම් බැංකු මාර්ගයෙන් හුවමාරුව සිදුවෙන නිසා ඒවා වාර්තාගත වීමත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිල නොවෙන හවාලා සහ උන්ඩියල් වැනි ක්‍රම මගින් කෙරෙන ගනුදෙනු කිසියම් දුරකට සීමා වීමත් සිදුවෙනු ඇත.

අපට දැනගන්නට ඇති පරිදිත් ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි තම කතාවේ දී සඳහන් කළ පරිදිත් බොහෝ ඉන්දියානුවන් QR කේත ගෙවීම්වලට පුරුදු වී සිටී. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා සිටින QR කේතය ලබාගෙන ඇති වෙළෙඳ ප්‍රජාවට ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා ඉන්දියානු සංචාරකයන්ට UPI සක්‍රීය ජංගම යෙදුම බාධාවකින් තොරව භාවිතා කළ හැකි වේ. එහෙත් ප්‍රශ්නය වන්නේ ලංකාවේ තවමත් QR කේතය මගින් ගෙවීම් කිරීම තවමත් එතරම් ප්‍රචලිත නොවීමයි. දැනටමත් QR කේතය ලබාගෙන සිටින වෙළෙඳුන් පවසන්නේ එමගින් ගනුදෙනු සිදු වන්නේ ඉතාමත් අඩුවෙන් බවයි. ඒ නිසා ඉන්දියානු ජාතිකයන් මේ ඩිජිටල් ගෙවීම් සඳහා හුරු වී සිටියත් මේ ක්‍රමය සාර්ථක වීමට නම් අප රටේ ද ලංකා QR කේතය වඩාත් ප්‍රචලිත විය යුතු වේ. මෙහිදී සිදු වන්නේ ඉන්දියානු සංචාරකයෙක් මෙරට දී මෙම QR කේතය ස්කෑන් කර යම් ගෙවීමක් කළ විට එම ඉන්දියානු ජාතිකයාගේ ඉන්දියාවේ ඇති බැංකු ගිණුමෙන් එම මුදල ඉන්දියානු රුපියල් වටිනාකමින් අඩු වී එම මුදල ලැබීමක් වශයෙන් ලංකාවේ වෙළෙන්දාගේ ලංකාවේ ඇති බැංකු ගිණුමට ශ්‍රී ලංකා රුපියල්වලින් එකතු වීමයි. මේ ක්‍රමය නිසා මුදල් භාවිතයකින් තොරව ඉතා පහසුවෙන් මුදල් ලබා ගැනීමට හැකිවෙන අතර අමුතුවෙන් එම මුදල් බැංකුගත කිරීමට ද අවශ්‍ය නොවේ. මෙමගින් සිදු කෙරෙන ගෙවීම් අදාළ ගිණුමට ශ්‍රී ලංකා රුපියල්වලින් බැර වීමෙන් පසු එය කෙටි පණිවිඩයක් මඟින් එසැණින් එම වෙළෙන්දාට දැන ගැනීමට ද ලැබේ. එලෙස ලබන ආදායම ඔවුන්ගේ ගිණුම්වලට බැර වීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වුවහොත් එය බැංකු ණය ලබා ගැනීමට ද පහසුවක් සලසා දෙනු ඇත. මුලින් සඳහන් කළ පරිදි මෙහි දෙවැනි අදියරේදී මෙම ක්‍රමය තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේදී මේ ආකාරයෙන් QR කේතය හරහා ගෙවීම් කිරීමේ පහසුකම ලැබුණු පසු මෙරටින් ඉන්දියාවට යන අයට ද මේ ආකාරයටම ඉන්දියාවේ දී භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී මෙලෙස ඩිජිටල් ක්‍රමයට ගෙවීම් කිරීමට හැකිවනු ඇත. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්ෂ වසන්ත අල්විස් මහතාට අමතරව ලංකාපේ ආයතනයේ සභාපති ආචාර්ය කෙනත් ද සිල්වා, එහි ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා, ලංකා QR ක්‍රියාත්මක කිරීමේ කමිටුව වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ඩිජිටල් බැංකුකරණ) රන්දිල් බොතේජු සහ එල්ඕඑල්සී සභාපති කොන්රඩ් ඩයස් යන මහත්වරු එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව සමග සෑම ක්ෂේත්‍රයකම සබඳතා ශක්තිමත් කරමින් සිටිනවා

ඉන්දීය සංචාරකයන්ට දෙන ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි

ඉන්දීය සාගර කලාපයේ අප මිත්‍ර ජාතීන් තුනට අද සුවිශේෂී දිනයක්. අද අපි අපගේ ඓතිහාසික සබඳතා නවීන ඩිජිටල් ආකාරයෙන් සම්බන්ධ කරමින් සිටිනවා. මෙය අපේ ජනතාවගේ සංවර්ධනයට ඇති කැපවීම පිළිබඳ සාක්ෂියකි. ෆින්ටෙක් සම්බන්ධතාව හරහා, දේශසීමා ගනුදෙනු පමණක් නොව, දේශසීමා සම්බන්ධතා ද ශක්තිමත් වනු ඇත. ඉන්දියාවේ ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත, එනම් UPI අද ඉන්දියාව සමග හවුල්කරුවන් එක්සත් කිරීමේ නව වගකීමක් ඉටු කරයි.

ඩිජිටල් පොදු යටිතල පහසුකම් ඉන්දියාවේ විප්ලවීය වෙනසක් ඇති කර තිබෙනවා. අපේ කුඩාම ගම්වල සුළු පරිමාණ වෙළෙඳුන් පවා ඩිජිටල් ගෙවීම් කරනවා. මොකද එහි පහසුව වගේම වේගයත් තියෙනවා.

පසුගිය වසරේ UPI හරහා වාර්තාගත බිලියන 100 කට අධික ගනුදෙනු සිදුවී තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් කෝටි දෙකයි, එනම් ශ්‍රී ලංකා රුපියල් ටි්‍රලියන 8ක් සහ මොරිෂස් රුපියල් ටි්‍රලියනයකට වැඩියි. මෙම ක්‍රමය හරහා මේ වන විට රුපියල් කෝටි 34 ලක්ෂයක් එනම් ඩොලර් බිලියන 400කට වැඩි මුදලක් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම තැන්පත් කර තිබෙනවා. තාක්ෂණය භාවිතා කිරීමත් සමග විනිවිදභාවය වැඩි වෙමින් පවතින අතර දූෂණය අවසන් වෙමින් සමාජයට ඇතුළත් වීමේ හැකියාව වැඩි වෙමින් රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය වැඩි වෙමින් පවතිනවා. UPI පද්ධතියට සම්බන්ධ වීමෙන් ශ්‍රී ලංකාව සහ මොරිෂස් යන රටවල් දෙකම ප්‍රතිලාභ ලබනු ඇතැයි මම විශ්වාස කරනවා. මේ තුළ ඩිජිටල් පරිවර්තනය තවත් වේගවත් වනු ඇත. දේශීය ආර්ථිකයේ දැවැන්ත වෙනස්කම් සිදුවනු ඇත.

ඉන්දියාවේ ප්‍රතිපත්තිය වන්නේ අසල්වැසියා පළමුව යන්නයි. අපගේ සමුද්‍රීය දැක්ම සාගර්, සාගර් යන්නෙන් අදහස් කරන්නේ කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනයයි. අපගේ ඉලක්කය සමස්ත කලාපයේ සාමය, ආරක්ෂාව සහ සංවර්ධනයයි. ඉන්දියාව තම අසල්වැසි මිතුරන්ගෙන් හුදකලා වී එහි සංවර්ධනය දෙස බලන්නේ නැහැ. අපි සෑම ක්ෂේත්‍රයකම ශ්‍රී ලංකාව සමග සබඳතා අඛණ්ඩව ශක්තිමත් කරමින් සිටිනවා.

පසුගිය වසරේ වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරයේදී අපි දැක්ම පිළිබඳ ලේඛනයකට එකඟ වුණා. මූල්‍ය සම්බන්ධතා වැඩිදියුණු කිරීම එහි ප්‍රධාන අංගයක්. අද අපි මේ යෝජනාව ඉටුකර තිබීම සතුටට කරුණක්.

අද මෙම දියත් කිරීම ගෝලීය දකුණු සහයෝගීතාවයේ සාර්ථකත්වයේ සංකේතයකි. අපේ සබඳතා යනු දීම සහ ගැනීම් සබඳතා පමණක් නොව, මේවා ඓතිහාසික සබඳතා ය. එහි ශක්තිය ශක්තිමත් වන්නේ අපේ රටවල ජනතාව සහ ජනතාව අතර ඇති සබඳතාවන් මගිනි.

සෑම අර්බුදයකදීම ඉන්දියාව තම අසල්වැසි මිතුරන් සමග අඛණ්ඩව සිටින ආකාරය පසුගිය වසර දහය තුළ අපි පෙන්වා දී තිබෙනවා. ස්වාභාවික විපත්, සෞඛ්‍ය සම්බන්ධ වේවා, ආර්ථික හෝ ජාත්‍යන්තර තලයේ ආධාර වේවා, ඉන්දියාව පළමු ප්‍රතිචාරකයා වන අතර එය දිගටම පවතිනු ඇත.

G-20හි අප සභාපතිත්වය දරන කාලය තුළ පවා අපි ගෝලීය දකුණේ උත්සුකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. ඉන්දියාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම්වල ප්‍රතිලාභ ගෝලීය දකුණේ රටවලට ව්‍යාප්ත කිරීම සඳහා අපි සමාජ බලපෑම් අරමුදලක් ද පිහිටුවා තිබෙනවා.

මෙම දියත් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය ප්‍රවීන් ජුග්නවුත් මහතාට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මෙම දියත් කිරීම සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් රටවල් තුනේ මහ බැංකු සහ නියෝජිතායතනවලට ස්තුති කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment