සහල් පිටි සඳහා අලුත් වී ප්‍රභේදයක්….

309

පිලිපීනයෙන් ලැබුණු මව් පෙළපත්වලින් මෙරටට ගැළපෙන්න නිපදවයි
කර්මාන්ත වෙනුවෙන් නිර්දේශ වූ ප්‍රථම ප්‍රභේදය
සහල්පිටි බිස්කට් දේශීයව හදන්නේ මෙම සහලේ පිටිවලින්
නමක් දමා නිර්දේශ කරන්නටත් පෙර ගොවීන් විසින්ම තෝරාගෙන

පවත්නා තත්ත්වය යටතේ රට තුළ ඇතිවිය හැකි සහල් අතිරික්තයක් ගැන ලිවීම එතරම් සාධාරණ කටයුත්තක් නොවේ. එහෙත් වසර කීපයකට ඉහතදී ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත වී, අතිරික්ත සහල් තොගයකින්ද සන්නද්ධව සිටි බව අමතක නොකළ යුතුය. බතලගොඩ, බෝඹුවල, අම්බලන්තොට, ලබුදූව, වැනි වී පර්යේෂණායතනයන්හි සේවය කළ වී අභිජනන විද්‍යාඥයන් විසින් දශක ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගිය වී වැඩිදියුණු කිරීමේ වැඩසටහන් හරහා නව ප්‍රභේදයන් අඛණ්ඩව ජනනය වුණි. වැඩි අස්වැන්නක් දෙනවා පමණක් නොව, දිවයිනේ විවිධ කෘෂි පාරිසරික තත්ත්වයන්ට ගැළපෙන වී ප්‍රභේදයන් පවා මෙසේ ඉපදුනු ඒවා අතර විය. ඊට අමතරව ලවණ වැඩි පස, ආම්ලික පස, වැනි ආන්තික පාංශු තත්ත්වයන් දරා සිටිය හැකි ප්‍රභේදයන්ද, විවිධ රෝග හා පළිබෝධකයින්ට ඔරොත්තුදීමේ හැකියාව තිබෙන වී වර්ගද මේ අතර තිබුණි. රටේ ගොවිජනතාව ඒවා දැඩි විශ්වාසයකින් යුතුව තම වගාවන්ට එකතුකරගත් අතර රටේ ස්වයංපෝෂණයට හේතුවූයේ අභිජනකයා හා ගොවියා යන මෙම පාර්ශ්වයන් දෙක තුළ තිබුණු අන්‍යෝන්‍ය සහජීවනයයි.

සහල් පිටි සඳහා අලුත් වී ප්‍රභේදයක්….

පසුගිය වගා කන්නයන් දෙකක් තිස්සේ ගොවිබිමට දැනුනු පොහොර ප්‍රශ්නය නිසා රටේ වී අස්වැන්නේ පහළ බැස්මක් ඇතිවී සහල් ආනයනය කිරීමට පවා මේ වනවිට සිදුව ඇති බවද සැවොම දන්නා කරුණකි. නමුත් ස්වයංපෝෂණ තත්ත්වය යළි බලගැන්වීම එතරම් අපහසු කාර්යයක් නොවේ. දෙකන්නයේම නිෂ්පාදන ධාරාව හරියට ක්‍රියාත්මක වන්නේ නම්, රට තුළ ඇතිවන්නේ සහල් අතිරික්තයකි. අපනයනය කිරීමට තරම් අපගේ සහල්වල ගුණාත්මක දියුණුවක් ඇතිවී නැති නිසා මෙම අතිරික්තයට දේශීය පාරිභෝජනය හරහා විසඳුමක් දීම සඳහා කල යුත්තේ සහල් පිටි ඇසුරෙන් කළ හැකි කර්මාන්ත සඳහා වැඩි වැඩියෙන් යොමුවීමයි. ඒ වෙනුවෙන් කර්මාන්තයන්ට සුදුසු වී ප්‍රභේදයන්ගේ අවශ්‍යතාවක්ද ඇත.

මෙම තත්ත්වය කල්තියා තේරුම්ගෙන බතලගොඩ වී පර්යේෂණායතනය විසින් සිදුකළ අභිජනන වැඩසටහනක සාර්ථක ප්‍රතිඵල පසුගියදා අනාවරණය වූයේ නව ප්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීමේදීය. බතලගොඩ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) ඩබ්ලිව්. එස්. ප්‍රියන්ත විසින් ඉදිරිපත් කරනලද කර්මාන්තයට සුදුසු සහලක් ලැබෙන වී ප්‍රභේදයකට නිල පිළිගැනීම ලැබුණේ බී. ජී. – 381 අයි. පී. වශයෙන් සඳහන් ප්‍රභේද නාමයද සමගය. නාමකරණය පැත්තෙන් ගත්තද මෙතැන සාමාන්‍ය සම්ප්‍රදායික නාමකරණයට වඩා විශේෂ තත්ත්වයක් තිබේ. බී. ජී. යනු බතලගොඩට ලාක්ෂණික සංකේතයයි. අංකය මගින් සිරිත් පරිදි වයස් කාණ්ඩය ගැන අදහසක් ලබාදෙන අතර අලුතින් එකතු වූ අයි. පී. යන්න නියෝජනය කරන්නේ කර්මාන්තයන්ට සුදුසු ප්‍රභේදයක් යන්නය (Industrial Purposes).

සහල් පිටි සඳහා අලුත් වී ප්‍රභේදයක්….

“මම හඳුන්වාදෙන මෙම වී ප්‍රභේදය නිල නොවන මට්ටමෙන් මේ වනවිටත් ගොවීන් අතරට ගොහින් තියෙනවා. අපි ගොවි ක්ෂේත්‍ර යොදාගෙන පර්යේෂණ කරනවානේ. එතනදී හොඳ ප්‍රභේදයක් දුටුවොත් ගොවීන් විසිනුත් ඒක බෝකරගන්නවා. මෙම ප්‍රභේදය කර්මාන්තකරුවනුත් හඳුනාගෙන තෝරාගෙන තිබෙනවා. දැනට ලංකාවේ සහල්පිටි වලින් කෙරෙන ප්‍රධාන බිස්කට් වර්ග නිපදවන්න භාවිතා කරන්නේ 100% ක්ම මෙම සහල් වර්ගයේ පිටි තමයි.”

මෙම වී ප්‍රභේදයේ තොරතුරු ඉදිරිපත් කරමින් ප්‍රියන්ත මහතා එසේ පවසා සිටියි. නිල නිර්දේශය ලැබෙන්නට පෙරත් සමාජය විසින් අදාළ ප්‍රභේදය තෝරාගෙන බිස්කට් සමාගම් සමග ගිවිසුම් ගතවී අනුරාධපුර, පුත්තලම පොලොන්නරුව, වව්නියාව ආදී දිස්ත්‍රික්කයන්හි මේවා වගාකරන බවද ඔහු පෙන්වා දෙයි. ගිවිසුම් ප්‍රකාරව සමාගම විසින් අස්වැන්න මිලදී ගන්නා නිසා වෙනත් ගොවීන්ට තිබෙන අස්වැන්න විකිණීමේ ගැටලු ඔවුනට නැත. මීට අමතරව මරඳගහමුල දැනට වසර ගණනාවක් තිස්සේ පදිංචිව සිටිමින් සහල් ව්‍යාපාරයේ යෙදෙනා කොරියානු ව්‍යාපාරිකයෙක් විසින් මෙම සහල්, කිලෝග්‍රෑම් 5 මලුවල අසුරා සුපිරි සහල් වර්ගයක් වශයෙන් වැඩි මිලක් යටතේ දේශීය වෙළෙඳපොලේද අලෙවි කෙරේ. එහි අදහස බිස්කට් හදන්නට පමණක් නොව, බත් කන්නට වුවත් මෙය ඉහළින්ම ගැළපෙන වර්ගයක් බවය. තක්සේරු වටිනාකම දී ඇත්තේ සමාජය විසින්මය.

“මෙහි මවු පෙළපත් අපිට ලැබුණේ වියට්නාමයෙන්. වසර ගණනාවක් තිස්සේ ඒවා මෙහිදී ගුණනය කරමින් අපි විවිධාකාර නිර්නායකයන් ඔස්සේ පරීක්ෂා කෙරුවා. දැන් තිබෙන මේ ස්ථායී වූ සහලේ ඇට වියට්නාමයෙන් ගෙනා ඒවාට වඩා තරමක් වෙනස්. මෙය සුදු සහලක්. බත සුවඳයි, මෘදුයි. ගොයම පූදින කාලෙට පිපෙන මල්වල පරාග වලට සීතල දරාගන්න පුළුවන්. ඒ නිසා සීතල බොල්වීම කියන තත්ත්වය එන්නේත් අඩුවෙන්. බදුල්ල දිස්ත්‍රික්කය වගේ තැන්වල වවන්නත් පුළුවන් ඒ හින්දා.”

ප්‍රියන්ත මහතා ඉදිරිපත් කරන ලද දත්තයන්ට අනුව මෙම ප්‍රභේදයේ ශුකිකා ජීව්‍යතාවය සිසිල් පරිසරයක වුවද 90.6% ක මට්ටමක පවතී. ගණනයකිරීම කර ඇත්තේ පූඬලුඔය (කොත්මලේ) ප්‍රදේශයේදීය. එහිදී පරීක්ෂාවට යෙදවූ වෙනත් වී ප්‍රභේදයන්ගේ මෙම අගය 81% පසුකර නැති බව ඔහුගේ වාර්තා පෙන්වාදෙයි.

සහලේ ගුණාත්මය පිළිබඳව දැනගැනීම සඳහා, 20 දෙනකුගේ සහභාගිත්වය ඇතිව බතලගොඩදී සිදුකළ තොරතුරු රැස්කිරීමක් ගැන තොරතුරුද ප්‍රියන්ත මහතා සතුව තිබේ.

“හැම දෙනාගේම අදහස වුණේ කැකුළු සහ තැම්බූ සහල් දෙවර්ගයේම බත් ගුණාත්මයෙන් ඉහළ තත්ත්වයක තිබෙන බව. මේ අතර හිටපු විදේශිකයන් පවා මේ බව සනාථ කෙරුවා. එපමණක් නෙවෙයි. මේ සහල් පිසිනවිට පිටවෙන සුවඳ, මධ්‍යස්ථ ඇමයිලෝස් ප්‍රතිශතයක් දැරීම නිසා ඇතිවෙන ඇලෙන සුළු වයනය, සුවිශේෂී රස වැනි කරුණු නිසා කිරිබත් වැනි ආහාර වලටත් හොඳටම ගැළපෙනවා”

වියට්නාමයේ සිට මවු පෙළපත් හඳුන්වාදෙමින් මෙම ප්‍රභේදය බිහිකිරීමේ මූලික කටයුතු සිදුකර ඇත්තේ බතලගොඩ පර්යේෂණායතනයේ සිටි සහල් අභිජනන විද්‍යාඥයෙක් වූ එස්. ඩබ්ලිව්. අබේසේකර මහතාය. සම්පූර්ණ වැඩසටහන සඳහා වසර 8 ක කාලයක් වැයකර තිබේ.

සනත් එම්. බණ්ඩාර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment