නිවහල් යුගයක සිහින දුටු සේකර

190

1929 බක් මාසයේ 07 වැනි ඉරුදින ඔහු උපන්නේ එවකට කොළඹ දිස්ත්‍රික්කයට අයත්ව තිබූ සියනෑ කෝරළේ රඳාවාන නම් ගම් පියසේය. මාපියෝ මෙම දරුවාට ‘මහගම සේකර’ යනුවෙන් නම් තැබූහ. 1927 ඉල් මාසයේ 13 වැනිදා පැමිණි ඩොනමෝර් කොමිසම විසින් ඇවිල වූ දේශපාලන උණුසුම මේ වන විටත් පහව ගොස් තිබුණේ නැත.

කොමිසම හමුවේ සාක්ෂි දුන් දේශපාලන සංවිධාන අතරින් සර්වජන ඡන්ද බලය ලබාදීමේ යෝජනාවට පක්‍ෂ වූයේ ඒ. ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු සංගමය පමණි.

කෙසේ වෙතත් මහගම සේකරගේ උපතින් මාස අටකට පසු ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ සර්වජන ඡන්ද බලය පිළිබඳ යෝජනාව වැඩි ඡන්ද දෙකකින් සම්මත විය.

දහසය හැවිරිදි වියේදී ‘සේකර’ රජයේ ලලිතකලා ආයතනයට බැඳුනේය. පසුව ඔහු චිත්‍ර විෂය උගන්වන ගුරුවරයකු විය. ඔහුගේ මුල්ම ග්‍රන්ථය වූයේ 1956 දී පළකළ ‘ධවල සේනාංකය’ නම් පරිවර්තනයයි.

එතැන් පටන් කවිය, ගීතය, චිත්‍ර ශිල්පය, කංචුක නිර්මාණ, නාට්‍ය රචනය, සිනමාව, නවකතාව, ගුවන් විදුලිය යනාදී සෑම නිර්මාණ ක්‍ෂේත්‍රයකම ඔහු නොමැකෙන සටහන් තැබුවේය.

විසිවැනි සියවසේ ලාංකීය කවියන් සිය ගණනක් අතර ඉහළින්ම නම් සඳහන් වන මහගම සේකරයන් සාහිත්‍යයට කළ සේවය සදානුස්මරණීයයි. වෙසෙසින්ම ඔහු කවියට දාර්ශනික ගැඹුරත්, මානවවාදී ගුණයත්, අනාගතවාදී දැක්මත් එක් කිරීමට සමත් විය. මේ ගුණාංග සියල්ල කැටිකරගත් ලාංකීය කවියන් අපට සුලබව හමු නොවේ.

සේකර කිවිදු ජීවත් වූයේ වසර 47ක් පමණි. කොළඹ කවියේ ප්‍රමුඛයන් වූ ඇස්. මහින්ද හිමි, ජී. එච්. පෙරේරා, පී. බී. අල්විස් පෙරේරා, සාගර පලන්සූරිය, මීමන ප්‍රේමතිලක, විමලරත්න කුමාරගම, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, කපිල ඊ. සෙනෙවිරත්න සේම කොළඹ යුගයේ කවියකු වූ මහගම සේකර ද අකාලයේ අපට අහිමි විය. නමුත් ඔහු සියවස් ගණනක් යනතුරු කතා කරන්නට, තර්ක කරන්නට සමත් සාහිත්‍යයක් ඉතිරි කොට ගියේය. (ඔහු ලියූ ‘වක්කඩ ළඟ දිය වැටෙන තාලයට’ නම් ගීය සුපිරි තරු තෝරන රූපවාහිනී වැඩසටහන්වලදී ද වෙනත් ගී විවරණවලදී ද විවිධ මානයෙන් ඇගයේ)

‘මේ සිංහල අපගෙ රටයි’ යනුවෙන් ගීයක් ලියූ මුත් ඔහු කිසිවිටක ජාතිවාදියකු වූයේ නැත. (ඔහු ඒ ගීය ලියුවේ සිනමාපටයක ළමා ගීතයක් සඳහාය.) සිංහලයාට ඔවුන්ගේ සංස්කෘතියත්, ආගමත් ගැන කතා කිරීමට ඇති අයිතිය අනෙක් ජාතිකයන්ට ද ඇති බව ඔහුගේ නිර්මාණ තුළින් ප්‍රකට විය.

“සෙබැස්ටියන්!
නඩරාජා!
මොහොමඩ්!
මේ විදුලිය
හෙට දවසෙදි
මේ රට හෙළි කරනා විට
ඒ සිරිපා කඳු මුදුනෙදි
අපි එක්වෙමු”

(‘මක්නිසාදයත්’ 19 පිටුව)

එසේම මහගම සේකර අතීතකාම මඩ වගුරේ ලැග සිටින චින්තන ප්‍රවාහය ඉඳුරාම බැහැර කළේය. ඔහු සමාජ සංවර්ධන න්‍යාය විශ්වාස කළ අනාගතවාදී දැක්මකින් යුතු කවියකු විය. ඉතා පරිස්සමින් විමසා බැලුවහොත්, ‘සංවර්ධන සන්නිවේදනය’ යනුවෙන් විශ්වවිද්‍යාලවල උගන්වන විෂය සඳහා අපූරු නිදසුන් ඔහුගේ ‘මක්නිසාදයත්’, ‘රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත’ නමැති කවි පොත්වල දක්නට ඇත.

‘ගම හීනෙන් දැක ගම ගැන අඬන්නේ
ගමට ගොහින් ගම හැබහින් බල!
හීනෙන් තොප දක්නා
චමත්කාරයක් එහි නැත
ඇය සංකර ගැහැනියක්ය
ගමටත් නගරයටත් දෙකටම නැති’

‘මක්නිසාද යත්’ 18 වැනි පිටුව

එසේම අපව ගල ග්‍රහණයෙන් ගත් ධනේශ්වර ආර්ථික දේහයේ නග්න ස්වරූපය 1960 දශකයේ මුල් යුගයේ සිටම ඉසිවර නුවණින් දුටු කවියා මහගම සේකරය. කොළඹ නාගරික මැද පංතියට මේ සමාජ දේශපාලන පීඩනය නිසා ඇතිවන මනෝ භ්‍රාන්තිය වෙනස්ම සන්දර්භයකින් ප්‍රතිනිර්මාණය කළ අනෙක් විශිෂ්ට සාහිත්‍යවේදියා අජිත් තිලකසේනය.

බොහෝ විචාරකයන් පිළිගත් අයුරින් සේකරගේ අග්‍රගණ්‍ය කාව්‍යය 1976 දී අවසන් කළ ‘ප්‍රබුද්ධය’. සැබවින්ම එය විවිධ ආගමික හා දාර්ශනික චින්තාවන් මැනවින් සංයෝග කළ අපූර්ව නිර්මාණයකි. ඔහු මෙහිදී විසිවැනි සියවසේදී පරිහානියට පත් සම්භාව්‍ය සංස්කෘතියට විකල්පයක් ලෙස එළි දුටු ජනප්‍රිය සංස්කෘතියේ සැබෑව සහෘදයා හමුවට ගෙන එයි. ජනප්‍රිය සංස්කෘතියේ මුලසුන් අරා සිටින්නේ මතුපිට දැක්මක් ඇති පිරිසකි. ව්‍යාපාරිකයන් මෙහිදී ප්‍රධාන භූමිකාවක් ඉටුකරනු ලැබේ. ජනප්‍රිය සංස්කෘතියේ සුන්දර වෙස් මුහුණට ඇතුළතින් ඇති යක්‍ෂාවේෂය සේකර ඉතා හොඳින් විවරණය කළේය. ඉඳුකිලක් යැයි බොහෝදෙනා විශ්වාස කළ සම්භාව්‍ය කලාකරුවන් මඩේ සිටවූ ඉනි බවට පත් වන ආකාරය ඔහු පෙන්වා දුන්නේ උත්ප්‍රාසයෙනි. ඔවුන්ගේ ‘පොජ ගී’ ගම් නියම්ගම් පුරා පැතිර ගොස් සිදුකරන ව්‍යසනය ‘ප්‍රබුද්ධ’ කෘතියේ මෙසේ දැක්වේ.

‘උඩුමහලේ හා සඳලුතලවලින්
ඒ කටහඬ බැස ගොසින්
ගැලී ගම් නියම් ගම් දනව්වල
කොලු කුරුට්ටන් අතරට
ඇන්දෝය ඉන් පසු ඔවූහු ද බෙල් බොටම්
බැන්දෝය මහ පටි සම්
නැටුවෝය හංදිවල සැදී කණ්ඩායම්
‘ඉන්න ටිකේ ඉම්මු අපිත් ජොලිය දමාලා!”

ප්‍රබුද්ධ, 14 වැනි පිටුව

‘සේකර’ මීට දශක හතරහමාරකට පෙර පැවසූ මේ කාරණා අද බියකරු සත්‍යයක් බවට පත්වී හමාරය. අද වඩාත් සංවිධානාත්මක අයුරින් පවත්වන මෙබඳු ප්‍රසංගවලට දස දහස් ගණනින් තරුණ තරුණියෝ සහභාගි වෙති. මෙබඳු ප්‍රසංගවල මත්ද්‍රව්‍ය හා ප්‍රචණ්ඩත්වය ඉතාම සාමාන්‍ය ප්‍රවෘත්ති බවට පත්ව තිබේ. ආරක්‍ෂක හමුදා සහ පොලිසිය ද සිටියදී ඇතැම් ගායකයෝ මෙසේ බෙරිහන් දෙති.

‘මල්ලී මල් ගහන අය ඉන්නවද? ඉන්නවා නම් අත් උස්සන්න!”

තරුණයෝ ප්‍රමෝදයෙන් එලිසන් දෙමින් ‘ඔව්’ යැයි රාව ප්‍රතිරාව නංවති!

එහෙත් ‘සේකර’ මෙබඳු වියරු සමාජයක වුව ‘පලායාම’ වෙනුවට ‘මුහුණදීම’ තෝරා ගත්තේය. ‘නව යුගයට අපි දෙවිවරු මට බෑ දැන්මම මැරෙන්ඩ’ (නොමියෙමි 147 පිටුව) යනුවෙන් ඔහු පැවසුවේ එහෙයිනි.

එසේම අනාගත පරපුරට වඩා හොඳ ලෝකයක් නිර්මාණය කළ යුතු බව ඔහු අවධාරණය කළේය. ඒ මෙසේය.

දෑසේ කඳුළැලි පිසදා බලනෙමි
හෙට හිරු එළියට වඩින දිනේ
ණය නැති බිය නැති නිවහල් යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ !

ප්‍රබුද්ධ 35 පිටුව (1)

මහගම සේකරගේ ප්‍රාර්ථනය එසේ විය. අද අපේ රට පත්ව ඇති තත්ත්වය සියැසින් දුටුවහොත් ඔහුට කුමක් සිතෙනු ඇතිද?

අද අපේ රට ලෝකයේ දිළිඳුතම රාජ්‍යවලින් එකකි. ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අත පල්ලෙන් වැටුණු ඉඳුල් අහුලා කන යාචකයන්ගේ තත්ත්වයට අපි පත්ව සිටිමු. සේකර අනුමත කළ ලෙසම පාන් භාගයක් ගන්නට බස් රියකට නැග ගන්නට පොරකන තරග කරන සමාජයක ධර්මය වටහාගත හැකි පිරිස් ඇති නොවේ.

විදුලි බිලෙන්, වතුර බිලෙන්, ගෑස් බිලෙන් හෙම්බත් වී අත්‍යවශ්‍ය භාණ්ඩ පවා මිලදී ගත නොහැකි තත්ත්වයකට මුළු මහත් ලාංකීය ජනතාවම පත්ව සිටිති. ටොරින්ටන් ආණ්ඩුකාරයා පවා මුසපත් කරන VAT බද්දකට අප යටවී හමාරය. සිව් දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් ජීවත් වීමට එක්ලක්‍ෂ දහනවදාස් හාරසීය අනූ අටක මුදලක් ඇවසි වෙයි. ඉඳින් අපි කුමක් කරමුද? සේකර නම් මෙසේ කීවේය!

“මකා දමා අර අහස් තලය දුර
මකා දමා ඉර හඳ තරු
නැවතත් අපි සකස් කරමු
මේ ලෝකය
මීට වඩා සැපවත් කොට”

(මක්නිසාද යත් 16 පිටුව)

තිස්ස නිහාල් වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment