පොල් වගාවේ සුදු මැස්සා මඬින්න සාර්ථක විසඳුමක් තිබුණත් පරපෝෂිතයා හදන්න පුහුණු අය නෑ – උද්‍යාන භෝග හා පර්යේෂණ ආයතනය

30

වගාව ආරක්ෂා කරන්න රජයේ කිසිදු මැදිහත්වීමක් නෑ – ගොවීහු චෝදනා කරති

පොල් වගාව අඩාල කරමින් දිවයින පුරා පැතිරී යන සුදු මැස්සා පාලනය සඳහා පරපෝෂිතයකු හඳුන්වා දී ඇතැයි උද්‍යාන භෝග හා පර්යේෂණ ආයතනය කියයි.

එංකශයා ගවුෂලු නම් විද්‍යාත්මක නාමයෙන් යුතු මෙම පරපෝෂිතයා දෙබර කුලයේ සත්වයෙකි. සුදු මැස්සාගේ ජීවන චක්‍රයේ දෙක සහ තුන අවස්ථාව ළඟ පරපෝෂිතයා බිත්තර දැමීම සිදුවන අතර එම බිත්තරවලින් පිටවෙන කීටයන් සුදු මැස්සාගේ ජීවන චක්‍රයෙහි දෙක තුන අවස්ථාවට ඇතුළු වී යුෂ උරා බී වර්ධනය වෙමින් කෝෂගතවීම සිදුවී සුහුඹුරේකු ලෙස පිටව යෑම සිදුවේ. එමගින් සුදු මැස්සාගේ ජීවන චක්‍රය සහමුලින්ම අඩාල වී යන අතර එය සුදු මැස්සා පාලනයට සාර්ථකම විසඳුම එය බව උද්‍යාන හා පර්යේෂණ ආයතනය සංවර්ධන නිලධාරීනි අමිලා අත්තනායක මහත්මිය සඳහන් කළාය.

සුදු මැස්සා පාලනය කරන පරපෝෂිතයන් පැකට්ටුවක අසුරා නිකුත් කෙරෙන අතර පොල් වගාව තුළ තැනින් තැන එල්ලා තැබීමෙන් පරපෝෂිතයා පොල් වගාවට මුදා හරිනු ඇත. වගාකරුවන්ට තම අවශ්‍යතාවය දැනුම් දී ගන්නෝරුව උද්‍යාන භෝග හා පර්යේෂණ ආයතනය වෙත පැමිණ ලබාගත හැකි අතර එසේත් නැත්නම් කුරිය ක්‍රමයක් මාර්ගයෙන් තම වගා බිමට මෙම පරපෝෂිතයන් ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දී ඇතැයි නිලධාරියකු සඳහන් කළේය.

කෙසේ වෙතත් දැනට පවතින බරපතළම ගැටලුව වී ඇත්තේ මෙම පරපෝෂිතයා නිෂ්පාදනය කිරීමට ඇත්තේ එක් කුඩා රසායනාගාරයක් පමණක් වීමයි. දිවයිනටම අවශ්‍ය පරපෝෂිතයන් නිෂ්පාදනය කිරීම සඳහා පුහුණුවලත් එකම නිලධාරියකු පමණක් මෙම කටයුත්තට යොදවා ඇති බවත් ඉල්ලුම් කරන ප්‍රමාණයෙන් සියයට එකක්වත් සපුරා ගැනීමට නොහැකි වී ඇති බවද උද්‍යාන භෝග හා පරීක්ෂණ ආයතනයේ උසස් නිලධාරියකු සඳහන් කළේය. මේ පිළිබඳ අවස්ථා කිහිපයක්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වී නැති බවද සඳහන් කළේය.

සුදු මැස්සා හානියෙන් මේ වන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පොල් වගාව අඩාල වෙමින් අතර පොල් මිල යෑමට හේතුවද මෙය බවද පර්යේෂකයෝ කියති.

පොල් ගසේ පත්‍ර යට කෝෂගත වන සුදු මැස්සා පත්‍රවල යුෂ උරා බී තම වර්ගයා ඉතා ශීඝ්‍රයෙන් වගාව පුරාම පැතිරී යෑමට සලස්වති. එමෙන්ම පොල් ගසට දිලීර රෝග රැසක් බෝ කරන ඉතා විනාශකාරී මෙම සත්වයා කෘමි නාශක භාවිතයෙන් යම් තරමකට පාලනය කළ හැකි වුවත් එය ප්‍රායෝගික නොවන බව පොල් වගාකරුවන්ගෙන් කළ විමසීමකදී සඳහන් කළේය. සුදු මැස්සා පාලනය කර රට තුළ පොල් වගාව සුරක්ෂිත කිරීමට රජයේ අදාළ බලධාරීන් පියවර නොගන්නේ පොල් වගාව විනාශ වීමෙන් පසු අධික මිල යෑමත් සමග ඉන්දියාවෙන් පොල් ආනයනය කර කොමිස් ලබා ගැනීමටද යන කාරණය පිළිබඳ සැකයක් මතුවී ඇති බවද පොල් වගාකරුවන් පෙන්වා දුන්නේය. පොල් සංවර්ධන මණ්ඩලය විසින් සුදු මැස්සා හානිය පාලනයට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ප්‍රදේශයටම එක දියර ඉසින යන්ත්‍රයක් ලබාදීමට කටයුතු කර ඇතත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බවද ගොවීහු කියති. සුදු මැස්සා මර්දනය කළ හැකි පරපෝෂිතයන් කඩිනමින් වගාවන් වෙත ලබාදීමෙන් මෙම තත්ත්වය මර්දනය කිරීමට බලධාරීන්ගේ නෙත යොමු වේවා යන්න ගොවීන්ගේ ප්‍රාර්ථනයය.

තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු

advertistmentadvertistment
advertistmentadvertistment