ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24ටත්

72

වැස්සෙන් 55,780ක් පීඩාවට

වැඩිම බලපෑම බස්නාහිරට

1473ක් ආරක්‍ෂිත ස්ථානවල

ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24ක කාලය සඳහා තව දුරටත් දීර්ඝ කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් ඊයේ ඉහළ යමින් පැවති බවද හෙතෙම කීය.

එබැවින් එම ගංගා දෙපස සිටින ජනතාව සැලකිලිමත් විය යුතු යැයි ද ඔහු පැවසීය.

සමහර ප්‍රදේශවල මාර්ග ද ජලයෙන් යටවී වාහන ගමනා ගමනයට ද බාධා එල්ලවෙමින් පැවති බවද එම දෙපාර්තමේන්තුව කියයි.

මේ අතර දිවයින පුරා දිස්ත්‍රික්ක 12ක පුද්ගලයන් 55,780 දෙනකු පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ බස්නාහිර පළාතෙන් බවද එම මධ්‍යස්ථානය කියයි.

බස්නාහිර පළාතේ පුද්ගලයෝ 45,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති.

එසේම ගම්පහ හා මාතර දිස්ත්‍රික්කවල පුද්ගලයන් 1473 දෙනකු ආරක්‍ෂිත ස්ථානයක රඳවා සිටින බවද එම මධ්‍යස්ථානය පවසයි.

මේ අතර අද (07දා) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණ හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment