වැඩ භාර ගැනීමටත් පෙර පූගොඩ ඕඅයිසීට දේශපාලන අනුහසින් මාරුවක්

324

පූගොඩ පොලිසියේ නව ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අජිත් සේනානායක මහතා සිය තනතුරේ වැඩ භාර ගැනීමට සූදානමින් සිටියදී ගම්පහ දිස්ත්‍රික්කයේ රජයේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකු දැඩි බලපෑම් එල්ල කර ඒ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීමට කටයුතු කර ඇත.

පූගොඩ පොලිසියට අලුතින් පත්කර සිටි අජිත් සේනානායක මහතා සිය දේශපාලන කටයුතුවලට සහාය නොදීම නිසා දේශපාලන බලය පාවිච්චි කර ඒ මහතා වහාම මාරුකර යැවීමට මෙම දේශපාලනඥයන් කටයුතු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පූගොඩ පොලිසියේ නව ස්ථානාධිපති ලෙස වැඩ භාරගැනීමට පොලිස් පරීක්‍ෂක අජිත් සේනානායක මහතා නැකැත් පවා සකස් කරගෙන සිටියදී එම දේශපාලනඥයන් දෙදෙනා පොලිසියේ ඉහළ නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට බලපෑම් කර ඒ මහතා මෙසේ මාරුකර යවා ඇති බව පැවසේ.

ඒ ඒ පොලිස් බල ප්‍රදේශවල දේශපාලනඥයන්ගේ ලියුම්වලට සහ ඔවුන්ගේ කැමැත්ත මත පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම ගෝඨාභය රාජපක්‍ෂ රජය සමයේ ක්‍රියාත්මක කෙරිණි. පසුගිය දිනවල දේශපාලනඥයන්ගේ නිවාස ගිනි තැබූ අවස්ථාවේ පොලිස්පතිවරයා කියා සිටියේ එම සිද්ධීන්වලට අදාළ පොලිස් ස්ථානවලට ස්ථානාධිපතිවරුන් පත් කළේ එම කොට්ඨාසයේ දේශපාලනඥයන්ගේ ඉල්ලීම මත බවය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සම්මුඛ පරීක්‍ෂණයක් හරහා ක්‍රියාත්මක කෙරිණි. එසේ තිබියදී පොලිස් මූලස්ථානය විසින් පත්කර එවූ පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා දේශපාලන බලපෑම් මත මෙසේ මාරුකර යැවීම පිළිබඳ නීතිගරුක පොලිස් නිලධාරීන් මෙන්ම පුරවැසියෝ ද දැඩි අප්‍රසාදය පළකර සිටිති.

හේමන්ත රන්දුණු

 

advertistmentadvertistment
advertistmentadvertistment