නමින් නමට පෙළින් පෙළට ගිය දුලභ උඩවැඩියා මල

110

ශ්‍රී ලංකාවේ අසිරිමත් ශාක උරුමයට තවත් අලංකාර උඩවැඩියාවක් එක් කරන්නට දිවයිනේ පුරෝගාමී පරිසර සංවිධානයක් ලෙස පසුගියදා පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානය කේන්ද්‍රකර ගනිමින් පිහිටුවන ලද යොවුන් ගවේෂණ සංගමයේ අපට හැකිවී ඇත. ඒ කතාවේ ඉතිහාසය තරමක් ඈතට දිව යන්නකි. 1998 – 1999 කාලය තුළ අප සංගමය විසින් සිදු කරන ලද නකල්ස් ලෝක උරුම වන පෙතෙහි උතුරු අන්තය ආශ්‍රිත අධ්‍යයනය බොහෝ තොරතුරු අනාවරණය කරන්නට හේතු වූවකි.

( An ecological study on flora and fauna of Knuckles range northern region – 1999). මෙම අධ්‍යයනය කිරිමැටිය කන්ද (රිවර්ස්ටන්) සිට පල්ලේගම දක්වා සහ ඉළුක්කුඹුර සිට ඇලගමුව (නාඋල ඇලහැර මාර්ගය) තෙක් කලාපය තුළ වසරක් පුරා සිදු කෙරුණේ මෙය ඉතා සංවේදී පරිසර කලාපයක් වූ නිසයි.

එනම්, සාපේක්ෂව ඉතා කෙටි දුරක් තුළ ශ්‍රී ලංකාවේ ඇති සියලුම පාහේ ප්‍රධාන වෘක්ෂලතා දර්ශ මෙහි නියෝජනය වීම සහ ඒ නිසාම එහි ඇති වාසභූමි විවිධත්වය (Habitat Diversity) අධික වීම මෙම සංවේදී බවට හේතු වීම අපගේ අධ්‍යයනය සඳහා අවධානයට ලක්වුණු ප්‍රධාන හේතුවකි. ලග්ගල උදසිය පත්තුවට අයත් පුවක්පිටිය, දම්මන්තැන්න සිට ඇලගමුව දක්වා ගවේෂණයට ලක්වූ වන බිම් ඔස්සේ අඹන් ගඟේ අතු ගංගා කිහිපයක් ගලා යයි. ඒ දිය දහරා විසිරී යමින් නිර්මාණය කෙරෙන්නේ අතිශය සුන්දර පරිසරයකි. වනයෙන් වටවී හුදෙකලා වූ පොත්තටවෙල ග්‍රාමයෙහි සිට කඹරව තෙක් විහිදෙන කොටස මින් වඩාත් සුවිශේෂී වේ.

තරමක් වියළි ස්වභාවයෙන් යුත් නිවර්තන අර්ධ සදාහරිත (tropical semi evergreen) වන දර්ශයෙන් සමන්විත මේ බිමෙහි වැඩි වශයෙන් හමුවුණු Aerides ringens උඩවැඩියා විශේෂය අතර තරමක් වෙනස් උඩවැඩියාවක් නෙත ගැටුණේ අහම්බයෙනි. උඩවැඩියාවක් නිවැරදිව හඳුනාගැනීමට ඉවහල් වන මල් එහි දක්නට ලැබීම වඩාත් වැදගත් වුණි. මින් පෙර නොදුටු මේ වර්ණවත් මල අප තුළ ඇතිකළේ කුතුහලයකි. ඡායාරූප කිහිපයක් සමගින්, පසු විමර්ශන සිදු කළද අද මෙන් නොව, එවකට තොරතුරු හා මූලාශ්‍රයන් සොයා යෑමට තිබූ දුෂ්කරතාව නිසා අප එදා මෙම ශාකය ගැන වැඩි දුර පර්යේෂණ සඳහා රැගෙන ගෙන ගියේ නැත. එවක උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා සුපුරුදු ලෙසම අපට බොහෝ උපකාර කළ අතර ඉදිරි විමර්ශන සිදුරෙන්නට විය.

“1999 ජාතික රතු දත්ත ලැයිස්තුව” සැකසීමේ සැසියන්හිදීද අප ඉදිරිපත් කළ තොරතුරු අනුව අවසානයේදී නිගමනය වූයේ මෙය වසර ගණනාවකට පෙර වාර්තා වුණු නමුත් බොහෝ කලෙකින් හමු නොවූ Pteroceras viridiflorum විය හැකි බවයි. ඒ අනුව, 1999 දී එළිදැක්වුණු අපගේ අධ්‍යයන වාර්තාවට මෙය ඒ නමින් එක්වී නිහඬ විය. අප සාමාජික නදීර වීරසිංහ සහ ආචාර්ය දර්ශනී සිංහලගේ විසින් රචිත 2018 වසරේදී බි්‍රතාන්‍යයෙහි ප්‍රකාශයට පත් වූ A Naturalistzs Guide to the Flowers of Sri Lanka පොතටත් අපගේ ඡායාරූප ඇතුළත් වුණේ ඒ නමින්මය. පසුකලෙක උඩවැඩියා විශේෂය ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන කිහිපයකින් වාර්තා කිරීමට පර්යේෂකයන් කිහිපදෙනකු සමත් වී තිබුණි. ඒ, වැල්ලවාය, නාඋල වැනි ස්ථාන ආශ්‍රිතවය.

නමින් නමට පෙළින් පෙළට ගිය දුලභ උඩවැඩියා මල

වසර 150 කට පමණ පසු 2019 දී නැවතත් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් Pteroceras viridiflorum වාර්තා වීම අප මේ පිළිබඳව නැවතත් අවදි කරන්නට හේතුවක් විය. තොරතුරු ඉතා අල්පව රූ සටහන්වලට පමණක් සීමාවී තිබුණු එහි ඡායාරූපයක් පළමු වරට දකින්නට ලැබීමෙන් මෙතෙක් අප දැරූ නිගමනය වෙනස් විය. එනම්, අපගේ විශේෂය Pteroceras viridiflorum නොවන බවත් එය Gastrochilus විශේෂයක් බවත් අප විසින් නිගමනයට පැමිණීමට හැකිවීමයි. යුහුසුළුව ක්‍රියාත්මක වුණු අප නැවතත් එය හමුවූ පොත්තටවෙල බලා නික්මුණේ අපේ උඩවැඩියා ශාකය නැවත දැකගන්නටය. ඒ එය මුලින් හමුවී වසර 21 කට පසුව. නොසිතූ ලෙස අපගේ බලාපොරොත්තු සුන් කරමින් ඒ සුන්දර වන බිම වසාගෙන විශාල ජල කඳක් අප ඉදිරියේ දිස් විය. මොරගහකන්ද, කුලසිංහ ජලාශය විසින් සියල්ල යටකර ගෙන ඇති බව දක්නට ලැබීමෙන් අප අන්ද මන්ද විය.

දින කිහිපයක ගවේෂණයකින් අනතුරුව ආසන්න වෙනත් ස්ථානයකින් එය සොයාගන්නට අපට හැකි වීම කියා නිමකරන්නට බැරි සතුටක් අපට ගෙන දුන්නේය. මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා, ආචාර්ය පන්කජ් කුමාර් (ඉන්දියාව), ආචාර්ය ෆිලිප් වොජ්ටාස් (ජර්මනිය) ආචාර්ය Qiang Liu (චීනය) වැනි විද්වතුන්ගේ සහාය ඔස්සේ සිදුකළ දීර්ඝ විශ්ලේෂණයන්ට අනුව මෙය ශ්‍රී ලංකාවේ උඩවැඩියා නාමාවලියේ මෙතෙක් නොතිබුණු, එමෙන්ම ලැයිස්තුවට අලුතින් එක්වන Gastrochilus flabelliformis උඩවැඩියා ශාකය බව තහවුරු කරගන්නට අපට හැකි විය. එතෙක් ඉන්දියාවේ බටහිර ගාට්ස් පෙදෙසට පමණක් ආවේනිකව තිබුණු එයට උරුමකම් කියන්නට ශ්‍රී ලංකාවට හැකි වූයේ ඒ අයුරින්. එමෙන්ම, කාලයක් පුරා උප්පැන්නයන් කිහිපයකටම හිමිකම් කියූ මේ “අවන් හැඩැති උඩවැඩියාව” (Fan Shaped Orchid) ට ශ්‍රී ලංකාව තුළ නිසි තැන ලැබුණේ ඉන් අනතුරුවය. අනාදිමත් කාලයක සිට අපට මාර්ගෝපදේශකත්වය ලබාදෙන ආචාර්ය මැග්ඩන් ජයසූරිය මහතාගේ සහායද මීට නොඅඩුව ලැබුණි. එමෙන්ම, ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ, ෂෙලෝමි ක්‍රිෂ්ණරාජා මෙනෙවිය ඇතුළුව රාජකීය උද්භිද උද්‍යාන සහ ජාතික ශාකාගාරයේ කාර්ය මඩුල්ල ඉමහත් දායකත්වයක් සපයා දෙන ලදී.

අප සාමාජික ආචාර්ය දර්ශනී සිංහලගේ මහත්මිය, බෝධි ජයකොඩි මහත්මිය, තිලංක රණතුංග මහතා, කසුන් මුණසිංහ මහතා, ලසන්ත අබේරත්න මහතා ඇතුළු සාමාජිකයන් මෙන්ම ආචාර්ය තරංග විජේවික්‍රම මහතා ද මෙම සොයාගැනීමට තම දායක ලබාදුන්නේය. මෙම පර්යේෂණ පත්‍රිකාවෙහි කතුවරයකු වන චම්පික බණ්ඩාර මහතා ගේ රූ සටහන් හා ඡායාරූප ඇතුළත් නිර්මාණශීලී දායකත්වය සහ පුළුල් විෂයය දැනුම මෙම පර්යේෂණය සඳහා එක් කරනු ලැබුවේ ඉහළ අගයකි.

මේ අතර, මේරීමට මාස 10 ක පමණ කාලයක් ගතවන මෙහි කරල් කිහිපයක් නළස්ථ රෝපණය කරන්නට ලැබීමත්, අත්හදා බැලීම් රැසකට පසු ප්‍රරෝහයන් දක්නට ලැබීමත් සුවිශේෂී කාර්යයකි. හෝමාගම TC Plant Laboratories ආයතනයේ A. H. S. දිසානායක සහ H. M. S. K. හේරත් යන මහත්වරුන් මේ කාර්යය සිදුකළ අතර දුර්ලභ උඩවැඩියා විශේෂයක් වන මෙහි ඉදිරි සංරක්ෂණ කටයුතු සඳහා එය වැදගත් වනු ඇති.

කතුවරුන් ලෙස මෙයට එක්වූ අප සාමාජික නදීර වීරසිංහ සහ මුදිත අබේසිංහ ඇතුළුව, 1998-1999 අප අධ්‍යයන කණ්ඩායමට එක්වූ සරත් විජේවර්ධන, නිමල් රත්නායක, හිරාන් විජේසිංහ, චින්තක ගම්ලත්, ඩෙන්සි රත්නායක, ප්‍රභාත් සමරසූරිය සහ චාමර ඉරුගල්රත්න මෙම උඩවැඩියා නව විශේෂයේ සාඩම්බර හිමිකරුවන් වේ. ජර්මනිය මූලික කොටගත් අන්තර්ජාතිකව නමගිය උද්භිද විද්‍යාත්මක ජර්නලයක් වන Feddes Repertorium හි මෙය පළවීම අප ලද භාග්‍යයක්. වසර 25 කට පමණ පසු අවසානයේදී මෙය මෙසේ එළිදක්වන්නට ලැබීම, දුෂ්කර වුවත් අතිශය සුන්දර, අතිශය වැදගත් කටයුත්තක් බව කිව යුතුය.

කුමුදු අමරසිංහ
ශ්‍රී ලංකා යොවුන් ගවේෂණ සංගමය
සකස් කළේ – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment