හින්දූන්ටත් වඩා බෞද්ධයන් අතර ජනප්‍රිය කතරගම දෙවියෝ කඳදෙව් සිරිත

503

කතරගම දේව මංගල්‍යය ඇරැඹෙයි. දෙවොල අබියස පොල් බිඳින හඬ නොනැවතී ඇසෙයි. හින්දු ආගමික සිරිත් අතර දෙවියන් උදෙසා පොල් ගැසීම අනිවාර්ය සිරිතක් වේ. සෑම සුබ කටයුත්තක දීම දෙපලු වන සේ පොල් බිඳීමක් හෝ ගලේ ගසා බිඳීමක් හෝ සිදුකෙරේ. අදාළ කාර්යය සාර්ථක විය යුතුය යන චේතනාවෙන් මෙය සිදු කරති.

සියලු දෙවිවරුන්ට ප්‍රථම ගණ දෙවියන් උදෙසා පොල් ගෙඩිය බිඳ අවසර ගැනීම අතීතයේ සිට පැවත එන සිරිතයි. එය කතරගම දෙවොලට පමණක් නොව, ඓතිහාසික සෙංකඩගල නුවර රන්දෝලි මහ පෙරහැර සඳහා ගණදෙවි අවසරය ලබාගැනීමේදී ද දක්නට ලැබේ. රුහුණු මහ කතරගම දෙවොලේ සියලු කටයුතු ආරම්භ වනුයේ ඊට යාබදව පිහිටි ගණදෙවි කෝවිලේ පැවැත්වෙන වතාවත්වලින් පසුය.

අපේ පැරැණි ජන කවියා, කතරගම දේවාලය හඳුන්වා දී ඇති අයුරු අපූරුය.

කමක් නැතිව මේවා කියනවා නොවෙයි
ත. දේ. වතුර එනවා ගඟ දෙගොඩ තලයි
ර. වා. ලා බලමු මිතුරෝ සතුරු නොවෙයි
ග. ලේ. ගා බලමු මුලකුරු අට කදිමයි

මේ කවියේ අකුරු ගළපා බලන කල්හි කතරගම දේවාලේ යනුවෙන් ලියැවී ඇති අයුරු කදිමයි නේද?

මුරුගා, මුරුගා, ඕම් මුරුගා හඬ නොනැවතී ඇසෙයි. දිවා රාත්‍රී දෙක්හි ඒ හඬ රාව ප්‍රතිරාව නංවයි.

‘මුරුගු’ යන්නෙහි අර්ථය .
ළා බාලතම අලංකාර සිරුරක් ඇත්තා යන්නයි.

මු . මුකුන්ද හෙවත් විෂ්ණු

රු . රුද්‍ර හෙවත් ශිව

ක . කමල හෙවත් බ්‍රහ්ම

මුරුක . යන්න භාවිතයේ පහසුව පිණිස මුරුග . මුරුගා විය.

හින්දු සම්ප්‍රදායට වඩා උසස් ජනප්‍රියත්වයක් මේ දෙවියන් සඳහා හිමිවන්නේ බෞද්ධයින් අතරය. එම නිසා ස්කන්ධ කුමාර දෙවිඳු හින්දු දෙවියකුට වඩා බෞද්ධ දෙවියකු වශයෙන් සැලකීමට පුරුදුවී තිබේ.

කතරගම දී බුහුමන් ලබන මේ දෙවියන්, බොහෝ උදවිය සිතන ආකාරයේ පටු ආකල්ප මත තම තමන්ගේ වාසිදායක තත්ත්වයන් අනුව සත්‍යය වසං කරමින් හරයක් නැති පුහු තර්කමත සාකච්ඡාවට භාජනය වන දෙවියකු නොවේ. ඒ උත්තරීතර බලවේගය පැවත එන්නේ වසර ලක්‍ෂ ගණනකට පෙර සිටය. ඒ බව . ලලිත විස්තරය ශ්‍රී විෂ්ණු පුරාණය, මහා භාරතය, රාමායනය, බගවත් ගීතාව, කුමාර සම්භවය, මේඝ දූතය, ශිව පුරාණය, අග්නි පුරාණය, ස්කන්ධ පුරාණය ආදී ඉන්දීය සංස්කෘත සාහිත්‍යය තුළින් ගම්‍ය මානවේ. ක්‍රි.ව. 1070 දී රචනා වී ඇති ‘කථා සරිත් සාගරය’ නම් වූ ග්‍රන්ථයෙහි ද මේ දෙවිඳුගේ සම්භවය පිළිබඳ විසිතුරු කථා ඉදිරිපත් කර ඇත්තේය. ක්‍රි.ව. හයවැනි සියවසට අයත් ප්‍රසිද්ධ පඬිවරයකු වන . වරාහ මිහිර විසින් රචිත වෘහත් ජාතක කෘතියෙහි, ස්කන්ධ කුමාර දෙවිඳුගේ බාහිර ස්වරූපය මෙන්ම නාමය ද හඳුනාගත හැකිය.

“පූජාව දීපු බැතිමතුන් පැන් පරහද ලබාගන්න.”

ඒ හඬ ඇසෙන්නේ කතරගම මහ දේවාලය තුළින්ය. පරහද හෙවත් විභූති ගැල්වීම හින්දු චාරිත්‍රයකි. විශේෂයෙන් ශිව ආගමට අයත් සිරිතකි. තීර්ථම් හෙවත් සුද්ධ වූ පැන් පානය ද එසේය. විභූති නම් වූ (හෝම අළු) සංස්කෘත වචනය දමිළ භාෂණයේ දී ‘තිරු නූරු’ විය.

තිරු . දිව්‍යමය, නූරු . අළු දිව්‍යමය සුද්ධවූ අළු . තිරු නූරු විනා තින්නෝරු නොවේ. ‘තින්නෝරු’ යනු වැරැදි ව්‍යවහාරයකි.

බැතිමතුන්ගේ නළලත තබන තිලකය තිරු නූරුය. කුංකුම තිලකය හෙවත් රතු පැහැති තිලකය තබන්නේ ගණදෙවි කෝවිලේදීය. ‘තිලකම් පොට්ටු බින්දි’ යනුවෙන් ද මෙම කුංකුම තිලකය හැඳින්වේ.

මහාසේන . ස්කන්ධ . කාර්තික . ෂණ්මුඛ . මුරුගන් . ආදී පර්යාය නාම රාශියකින්ද ප්‍රචලිතව සිටින මෙම දෙව් කුමරුවන් පිළිබඳ හෙළදිව අභිදාන වතෙහි සඳහන් වන්නේ මෙසේය.

දෙව් සෙනෙවි . කුමර . සරයොන් සවන් කඳ
මහසෙන් . සිකි යහන් . බර අත් කොතා යුද
අඩයටි දර . හුතැස්යොන් . ගුරු බරනෙත්ද
මෙකී තෙළෙස් නම් වේ . කුමරු හට කඳ

දෙස් විදෙස් පතළ කීර්තිමත් ඉතිහාසඥයකු වන හෙන්රි පාකර් සූරීන්ගේ මතය නම් . මෙම දෙවියන්ගේ ඇදහීම . කතරගමදී . ආරම්භවී තිබෙනුයේ, සිංහල වංශය ආරම්භයටත් පෙර සිටය. ඒ මතය සනාථ කළ හැකි මහා බෞද්ධ ග්‍රන්ථය වන්නේ, ශ්‍රී ලලිත විස්තරය නම්වූ සංස්කෘත මහා කාව්‍යයයි. එහි සිංහල පරිවර්තනය කියවා බලන්න.

“මහාවංශයෙහි ඇතුළත් කඳදෙවි පුවත” කතරගම දෙවිඳුන් පිළිබඳ අඛණ්ඩ ඉතිහාසයක් පැහැදිලි කිරීමේ සාකච්ඡාවක යෙදෙන මොහොතක මේ විස්තරය ද නොකියා බැරිය.

මහ විජයබාහු රජතුමාගේ පරම්පරාවෙහි ආදිතම වීරයකු වන මානවම්ම කුමාරයා දඹදිව විසූ කාලයෙහි යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ආදී ගුප්ත විiාවන් මැනවින් හදාරා ඇත.

යළිත් මවුබිමට පැමිණ . ගෝකණ්ණ සමුද්‍ර තීරයේ ලැගුම් ගෙන ස්කන්ධ කුමරුට ආරාධනා කිරීම පිණිස මන්ත්‍ර ජප කළේය. එසේ සිටිය දී දෙවියන්ගේ මයුර වාහනය පැමිණි අයුරු, මහාවංශයේ පනස් හත්වැනි (57) පරිච්ඡේදයේ සඳහන්ය.

“මොනරා ජලය සොයයි, තැඹිලි . ගෙඩිය දිය සිඳී හිස්ය. මානවම්ම කුමරු මොනරාට තමන්ගේ එක් ඇසක් පෑවේය. මොනරා ද ඇස බිඳ වහා බීවේය. එයින් සතුටු වූ කඳ කුමර දෙවියන්, කුමාරයා පැතූ වරය ද ලබාදී මණ්ඩපයෙන් ඉවත්ව ඉගිලී ගියේය.

කරුණු එසේවී නම්, මෙම දෙවියන් ක්‍රි.ව. 7 වැනි සියවස අවට කාලපරිච්ඡේදය තුළ සමාජයේ බුහුමනට ලක්වී සිටි බව විශ්වාස කිරීමට සිදුවේ. තම බලාපොරොත්තු පිළිබඳ ඉල්ලීම බොහෝ විට සිදුකරනුයේ ජනප්‍රියත්වයට පත්වී සිටින දෙවිඳකු ගෙන්ය. මේ පිළිබඳ තව දුරටත් විමසා බැලීමේදී “ජානකී හරණය” නම් වූ විශිෂ්ට සාහිත්‍ය කෘතිය මතකයට නැඟේ. ක්‍රි.ව. 07 වැනි සියවසේ ජීවත් වූ කුමාරදාස රජු විසින් රචනා කළ ‘ජානකී හරණය’ කෘතියෙහි විවිධ නම්වලින් ස්කන්ධ කුමාර දෙවිඳු හඳුන්වා තිබේ. ක්‍රි.ව. 1482 කාලයේ රචිත “කහ කුරුලු’ සංදේශය කතරගම දෙවිඳුට යවන ලද ප්‍රථම සංදේශය ලෙස හඳුනාග හැකිය.

සිංහල බෞද්ධ ව්‍යාපාරික ප්‍රජාවගේ දහසකුත් එකක් ප්‍රාර්ථනා සඵල කර දෙන්නේ සහ ඔවුන්ගේ පවුල් පිටින් රැක දෙන්නේ කතරගම දෙවිඳුන්ය. ඔවුන්ගේ සියලු ජඩකම්වලදී නීතියෙන් ගැලවීම පතා කඩිනමින් දිව එන්නේ ද කතරගමටය.

එහෙත් . මේ කිසිදු බලවතකු කන්ද ෂෂ්ටි සීලයෙහි හෝ උපවාස සීලයෙහි යෙදී සිටිනු අප දැක නැත. දුප්පත් දමිළ වන්දනාකරුවන් කතරගමට පැමිණ දින හයක් තිස්සේ නිරාහාරව ස්කන්ධ ෂෂ්ටි වෘතය රැකීමට පුරුදු වී සිටිති. වසරකට වරක් එළැඹෙන මේ සතිය ගත කළ හැකි පොහොසත් මිනිසුන් සොයාගත නොහැකිය. මරණ බිය දැනෙනුයේ යමක් කමක් ඇති ධනවතුන්ටය. දිළිඳු අහිංසක වන්දනාකරුවෝ මැණික් ගඟ අසල සිට දේවාලය දක්වා බිම දිගේ පෙරැළි පෙරැළී එති.

බුදුන් වහන්සේ ද භාරතීය පුත්‍රයෙකි. මිහිඳු මහරහතන් වහන්සේ ද එසේම ය. ශ්‍රී මහා බෝධින් වහන්සේ ද සඟමිත් මහ තෙරණිය, මහා බෝධි සංස්කෘතිය ද සියලු වේද විiාවෝ ද මෙහි පැමිණියේ භාරත දේශයෙනි.

එහෙත් අප පිළිගැනීමට අකමැති සත්‍ය නම් කතරගම දෙවිඳුන් යනු ඉන්දියානු සම්භවයක් ඇත්තේය යන මතයයි. බුදුන් වහන්සේගේ දහම අදහනු ලබන සිංහල බෞද්ධයාට උන්වහන්සේ භාරතීය යෙක්ය යන පැනය පැන නොනැඟීමට ‘තරම් බුදු සමය’ දේශීයත්වයට පත්ව ඇත.

දේශීය සමාජය තුළ කතරගම දෙවියන් ජනප්‍රිය වී ඇත්තේ ද එසේය. මේ දෙවියන් භාරතයේ ප්‍රභවය ලබා දේශීය සමාජය තුළ කදිමට සමාරෝපිත වූවෙකි.

ඒ කෙසේද යත් මෙම දෙවියන් බුදු බණ අසා සෝවාන් වූ බෞද්ධ ශ්‍රාවකයකු බවට පත්කොට අපේම අයකු බවට පත්කරගෙන ඇත.

ලොව පැරැණිම ආගම හින්දු දහම බවට විවාදයක් නැත. අප මේ ගත කරනුයේ බුදුන් වහන්සේ ලෝ පහළවී වදාළ කලියුගයේය.

ශිව, පාර්වතී, ස්කන්ධ ආදී දෙවිවරුන් පහළ වූයේ නේත්‍රා යුගයේය. කලියුගයට පෙර වසර 8,64000ක් පුරා පැවතියේ ද්වාපර යුගයයි. ඊට පෙර වසර 12,96000ක් පැවතියේ නේත්‍රා යුගයයි. මේ කරුණු භගවත් පුරාණය සහ ශ්‍රී විෂ්ණු පුරාණය පෙන්වා දෙයි. එකල තිබූ ගොඩනැඟිලි කිසිවක් නොමැති හෙයින් රාමායනයට සම්බන්ධ ශිෂ්ටාචාරයක් නොතිබුණේ යැයි අපට නිගමනය කළ හැකි දැයි යනුවෙන් පුෂ්කර් භාත්නගර් නමැති ඉතිහාසඥයා විමසා සිටී.

මාතෘ දේව සංකල්පයේ එන “සුන්දර වල්ලි” දෙවඟනකි. දෙවියන්ගේ පාද පරිචාරිකාව වනුයේ දෙවඟනක් විනා වැදි තරුණියක් නොවේ.

එදා කඳකුමරු . සිරිවල්ලි යුවළට සැපයූ සිසිලසින්ම අදත් මැණික් ගංගා ලාලනිය . නිහඬව ගලා යන්නීය.

ඇම්බැක්කේ වර්ණනාවෙහි අඩංගු කවියකින් මෙම ලිපිය අවසන් කරමි.

අමර සෙන් පිරිවරා පෙර පසු
පසඟ තුරු ගොස කර උපුල්
මයුර වාහන පැන නැඟී සිට
අතින් ගෙන දදයද සැවුල්
සයුර වට නිරතුරුව වැඩලා
කරන කරුණා යුතු නිමල්

කතරගම් පුර කුමර දෙවියනි ඔබට වේවා සුබ මඟුල්

නිමල් කුඩාතිහි
කතරගම ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය

advertistmentadvertistment
advertistmentadvertistment