මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය පිළිබඳ දෙසා බාමින් ඒකාධිපති ගමනක් යන බවට විවෘත චෝදනාවක් තිබේ. විපක්‍ෂවල පමණක් නොව, සිවිල් සංවිධාන, විවිධ වෘත්තිකයන් හා විද්වතුන් විසින් ද ‘භාෂණයේ නිදහසේ මළගම’ ලෙස හඳුන්වන ලද ඔන්ලයින් පනත හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිත භාවය පිළිබඳ පනත සම්මත කර ගැනීම ඒ ගමන පිළිබඳ අනතුරු ඇඟවීමක් බව ද කියනු ඇසුණි. නිසැකයෙන්ම මෙම පනත සම්මත කර ගත් ආකාරය අතිශය විවාදාත්මකය. මෙහිදී පනතට පක්‍ෂව ඡන්ද 108ක් ද විපක්‍ෂව ඡන්ද 62ක් ද ලැබුණත් එහි සුවිශේෂ සිදුවීම වූයේ පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ 54ක් එම පනතට අත එසවීමෙන් වැළකී සිටීමය. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ සංවිධායක සමඟ ඒ පනත වෙනුවෙන් පෙනී සිටි අය අතර වුවද පොහොට්ටුවේ ඇතැම් ප්‍රබලයන් නොවූ බව ද පෙනුණි. පනත විවාදයට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඇතුළත සිදු වූ ක්‍රියාදාමය තුළින් ද පැහැදිලි වූයේ පනත මොන ක්‍රමයකින් හෝ සම්මත කර ගැනීමට ආණ්ඩුවට තිබුණු වුවමනාවය. විපක්‍ෂ නායක සජිත් දැඩිව අවධාරණය කළෙත් පනත යළි සකසා සභාවට ඉදිරිපත් කළ යුතු බවය. දෙමළ සන්ධානයේ සුමන්තිරන් මෙන්ම ජා.නි.පෙ. විමල් වීරවංශ ද දිගින් දිගටම පෙන්වා දුන්නේ පනත පසුව නිසි පරිදි ඉදිරිපත් කිරීමේ යෝග්‍යතාවය. නීති තර්ක, ව්‍යවස්ථා විධි විධාන කුමක් වුවත් පනත විවාදයට ගත්තේ ද ආණ්ඩුවේ බහුතර ඡන්දවල බලයෙනි.

පනත සූදානම් එහෙත් මැතිවරණ අවදානම්!

අද තිබෙන ජනතා ප්‍රශ්න – සමාජ දේශපාලන කැළඹීම් සියල්ලම පසෙකට දමා ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්ය ලෙස මේ පනත ඉදිරිපත්වීම ද පුදුම සහගතය. මෙයින් ඒ කිසිවකට මද හෝ විසඳුමක්, පිළිතුරක් නොලැබෙන බව ආණ්ඩුවේ බලකාමී ඔළුගෙඩිවලට වුවද දැනෙන්නකි. එහෙත් මෙහි දේශපාලන ප්‍රතිලාභය ආණ්ඩුවේ පැවැත්මට දෙන අනුබලය අනුග්‍රහය කෙබඳු දැයි ඔවුහු දනිති. මෙයට පෙර ආණ්ඩුව රැගෙන ඒමට අදහස් කළ මාධ්‍ය නියාමන පනත ද පස්සට ගැනීමට ඔවුන්ට සිදුවිය. මේ පනත විපක්‍ෂයේ සහාය ද එකඟතාව ද ලබාගෙන සම්මත කර ගැනීමට ඉඩ තිබුණි. මක්නිසාද යත් මේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් විපක්‍ෂයට ද බරපතළ ගැටලු තිබිණ. සිවිල් සංවිධාන මෙන්ම පුරවැසියන්ගේ බහුතර අදහස වූයේ ද මේ මාධ්‍ය නියාමනයකට ලක් විය යුතු බවය. කිසිදු වගකීමට යටත් නොවන වල්බූරු නිදහසක් සමාජ මාධ්‍යයට හෝ වෙනත් විiුත් හා මුද්‍රිත මාධ්‍යවලට තිබිය යුතු නැති බව අපගේ ද අවධාරණයයි. එහෙත් මේ පනත ආණ්ඩුවේ දූෂණ, මගඩි, වංචා, දුබලතා වසා ගැනීමේ වුවමනාව තීව්‍ර කරන්නක් බව සැඟවිය නොහැකිය.

රටේ පුරවැසියන් රැකීමට මෙන්ම ළමයින් හා කාන්තාවන්ගේ ආරක්‍ෂාවට ද අවශ්‍ය නීති රීති විධි විධාන තිබිය දී මේ පනත ඒ සඳහා යැයි මොරදීම මොනතරම් ව්‍යාජයක් ද? නිදහස මෙන්ම වරප්‍රසාද වැනි හැම දෙයක්ම සමාජයට පීඩාවක් වන පරිදි භාවිත කරන සුළු පිරිසක් වෙති. ඒ අය තෝරා ඔවුන්ට දඬුවම් දෙන විනිවිද භාවයෙන් යුත් නීති පද්ධතියක් සකසා ගැනීම වෙනුවට මුළු සමාජ මාධ්‍ය ක්‍ෂේත්‍රයටම දරදඬු නීති පැනවීමේ යුක්තිය කුමක්ද? මෙහිදී අපට සිහිවන්නේ ජනවහරේ එන “එක මකුණයි කන්නේ – ඇයි ඔක්කොම මකුණෙ මරන්නේ” යන උපහරණයයි. යහපත් සමාජයකට, පුරවැසියන්ගේ යහපතට නීති රීති වුවමනා ය. එසේම කිසියම් නීතියක් සම්මත කළ පමණින් ම සමාජයක් සුරක්‍ෂිත හෝ සංවර්ධනය වෙතැයි හෝ සිතිය හැකිද?

අද මෙන් මාධ්‍ය සාක්‍ෂරතාවක් නොතිබුණු දශක කීපයකට පෙරත් මෙරටේ ‘කැලෑ පත්තර’ නමින් ජනතාව අතරට එන කඩදහියක් තිබුණි. එය දූෂිතයන්, හොරුන්, අශිෂ්ට ක්‍රියාකාරකම් හෙළිකළ ප්‍රබල අංගයක් බවට ද පත්ව තිබුණි. එහෙත් ඒ කැලෑ පත්තර හුදු පුද්ගලයන්ට අපහාස කිරීමට යොදා ගත්තේ ඉතා අඩුවෙනි. කැලෑ පත්තර මෙන්ම කටකතා, ඕපාදූප වැනි දේවල් ද අදත් සමාජයෙහි තිබේ. අවාසනාවකට මෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරන අය අතර සුළු පිරිසක් ඒ කැලෑ පත්තර හා ඕපාදූප නඩත්තු කරන්නෝ බවට ද පත්ව සිටිති. අපට හැඟෙන ආකාරයට නම් නීතියෙන්, දණ්ඩනයෙන් පමණක් සුසංවේදී සමාජයක් ගොඩනැංවිය නොහැක. ඒ සඳහා රටේ ඉහළම තැනින් ද ආදර්ශ දිය යුතුය. බුදුගුණ අලංකාර කවියා පැවසූ පරිදිම රජුන් අදිමිටු වේ නම් බමුණු ග්‍රහපති මැති ඇමැති සියල්ලෝ ම අදිමිටුවෝ බවට පත්වන්නාහුය.

අනෙක් අතට මේ වසරේ අග භාගයේදී ප්‍රධාන මැතිවරණ දෙකක් පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්‍ෂා කරති. එසේ නම් එබඳු මැතිවරණයක් සඳහා වුවමනා මාධ්‍ය බලය තමන් සතුකර ගැනීමට මේ ආණ්ඩුවට අවශ්‍යතාවක් තිබේද? විපක්‍ෂ පමණක් නොව, සිවිල් සංවිධාන හා වෙනත් වෘත්තිකයන් විසින් පවසනු ලබන්නේත් ආණ්ඩුවේ ජනප්‍රියතාවය ගිලිහී යමින් තිබෙන නිසා ඔවුන්ට එල්ල විය හැකි විවේචන වළක්වාලීමට සමාජ මාධ්‍ය පාලනයට නීති සම්මත කළ බවය. තවත් අයෙක් පවසන්නේ මැරයන්ගේ තුවක්කු කට වැසීමට අසමත් ආණ්ඩුව ජනතාවගේ කට වැසීම දේශපාලන මෝඩකමක් පමණක් බව ය.

මෙරටේ දේශපාලනය සම්බන්ධයෙන් පොදුවේ තිබෙන ආකල්ප වන්නේ ද එය දූෂණ, මගඩි, හොර, වංචාවලින් ගහන වූවක් බව ය. අල්ලස, පගාව සාමාන්‍ය දෙයක් ලෙස සමාජගත වී තිබෙන බවය. සමාජ මාධ්‍ය මේ දූෂිත දේශපාලන සංස්කෘතියට අභියෝගයක් විය. පාලකයන්ට, ඇතැම් ප්‍රභූවරුන්ට පමණක් නොව විවිධ සමාජ තාරාතිරම්වලට අයත් එය ඉලක්ක කරගත් සමාජ මාධ්‍ය ප්‍රතිචාර ද බොහෝ විය. එහෙත් ඒ බොහෝ විවේචන විමසා බලා, පෙරා ඇත්ත නැත්ත වටහා ගන්නා බහුතරයක් ද අද සිටිති. විශේෂයෙන් සමාජ මාධ්‍ය බහුලව යොදාගනු ලබන්නේ ද තරුණ පරපුර විසිනි. කුමක් වුවත් සමාජ මාධ්‍ය නිදහස අහුරා ඒ තරුණයන් දිනාගත නොහැක. විපක්‍ෂ නායක සජිත් ඍජුවම සඳහන් කළේ මේ පනත තරුණ අයිතිය උදුරා ගන්නා භාෂණයේ නිදහසට හරස් වන්නක් බව ය. මෙහිදී කුමාර වෙල්ගම පළකළ අදහස නිවැරදි මෙන්ම ගැඹුරු දේශපාලන සත්‍යයක් ද විදහා දක්වයි. ඔහු ප්‍රකාශ කළේ “අපේ කාලය ඉවරයි. දරුවන් ගැන සිතා මෙම පනත සංශෝධනය කළ යුතු බව ය. එහෙත් මේ දේශපාලන විකෘතිය තුළ බොහෝ නායක කාරකාදීන් කල්පනා කරන්නේ ජනතාවගේ දරුවන් ගැන නොව තම තමන්ගේ දරුවන් ගැනත් පවුල් ගැනත් බව ද අපි දනිමු.

පනත සූදානම් එහෙත් මැතිවරණ අවදානම්!

කුමක් වුවත් දැන් පනත සම්මතය. විවේචකයන් කියන පරිදි අසිපත සූදානම් ය. එසේ වුවද අදාළ ඇමැතිවරයා නම් පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළ සංශෝධන සහිතව පනත සකසා කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කර යළි පාර්ලිමේන්තුවට ද ගෙන එන බවකි. එහෙත් එදා පනත සම්මත කරද්දී විපක්‍ෂය චෝදනා කළේ සංශෝධනවලට අලුත් දේවල් ද ඇතුළත්ව තිබෙන බව ය. දෙමළ සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඒ බව දැඩිව පැවසුවත් ආණ්ඩුව ඒවා තඹයකට හෝ මායිම් කළේ ද නැත. පසුව ජනමාධ්‍ය අමතා වාසුදේව මන්ත්‍රීවරයාත් කියා සිටියේ ආණ්ඩුව මුලින් ගෙනා පනතේ වූ භයානක චිත්‍රය කෙතරම් දුරට වෙනස් වී ඇද්ද යන්න අනාගතයේදී දැකගත හැකි බව ය. මේ අතර විපක්‍ෂයේ ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේත් තමන් බලයට පත් වූ වහාම මේ නීතිය ඉවත් කරන බව ය.

මෙහිදී අපට විශේෂයෙන් සිහිපත් කළ යුතු කරුණක් ද ඇත. එනම් රාජ්‍ය බලය හා මාධ්‍ය භාවිත කරමින් වුව ද මහජන ප්‍රසාදය නොමැතිව කිසිදු පක්‍ෂයකට හෝ සන්ධානයකට බලය ලබා ගත නොහැකි බව ය. පසුගිය දශකවල රාජ්‍ය මාධ්‍ය සියල්ල තිබියදීත් ඒ පාලකයන්ට ගෙදර යෑමට සිදු වූ බව ද අපි දනිමු. අදත් පාලකයන්ට අයිති මාධ්‍ය ධාරාවක් තිබේ. ඒවා මෙහෙයවනු ලබන්නේ ද ආණ්ඩුවට හිතවත් අය විසිනි. එහෙත් ආණ්ඩුවේ රූපවාහිනි මෙන්ම ඔවුන්ගේ පුවත්පත් සම්බන්ධයෙන් ද ජනතාවට ඇත්තේ අප්‍රසාදයක් හා අවිශ්වාසයක් පමණි. රාජ්‍ය මාධ්‍යවල අසාර්ථකත්වය පාලකයෝ ද දනිති. එනිසා ඔවුහු සමාජයේ බහුතර අවධානයකට ලක් වූ මාධ්‍ය දෙස වපර ඇසින් බැලීම ද පුදුමයක් නොවේ. ඇතැම්විට එවන් පසුබිමක් යටතේ මොන ආකාරයක හෝ මාධ්‍ය පාලනයක් ඒ සඳහා ඔවුහු පෙළෙඹෙත් නම් එහි අමුත්තක් ද නැත. කොහොමටත් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතිය යනු දේශපාලන කෞටිල්‍යයන්ට රිංගා යා හැකි සිදුරු මෙන්ම හිඩැස්වලින් ද යුතු බව අපි දනිමු. ඉතිහාසයේත් වර්තමානයේත් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදෙවියන් ලෙස පෙනී සිටින අය අතර කෙතරම් ව්‍යාජ හා වෘකයෝ ද වූහ.

කුමක් වුවත් මෙම පනත සම්මත වූ ආකාරය මෙන්ම එයට තිබෙන ප්‍රතිචාර ද මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් බව විවිධ අය දක්වති. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චංග් සිය පෞද්ගලික විiුත් ගිණුමක ලියා තිබුණේ මේ පනත සම්බන්ධයෙන් ඇමෙරිකාව කනස්සල්ට පත්ව සිටින බව ය. එය ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරුදායක බව ද ඇය දක්වා තිබේ.

මේ අතර ෆැපරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ ජනතාව බලාපොරොත්තුවන මැතිවරණ පැවැත්වීම අඩමාන බව ය. මේ ආණ්ඩුව කුමක් හෝ උපක්‍රමයකින් ඒ මැතිවරණ මඟහැරීමට ඉඩ තිබෙන බව ද ඔහු පවසයි. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට තමන් ඇතුළු සිවිල් සංවිධාන ගත් සෑම ප්‍රයත්නයක් ම අසාර්ථක වී ඇති බව ද ඔහු කියයි. ඇත්ත වශයෙන්ම මේ ජනාධිපති රනිල්ගේ දේශපාලන ප්‍රතිචාර දන්නා ඕනෑම පුරවැසියකුට මැතිවරණ පැවැත්වීම පිළිබඳ සැක කිරීමට ඕනෑ තරම් හේතු ද තිබේ. ජනාධිපති රනිල් විසින් පළාත් පාලන මැතිරවණය කල් දැමීම සඳහා ඉතා සියුම් ක්‍රියාන්විතයක් දියත් කරන ලද බව රහසක් නොවේ. මැතිවරණ කොමිසම පවා ජනතාවගේ හාස්‍යයට ලක්විය. මැතිවරණය ලබා ගැනීමට අධිකරණයට ද ගියහ. එහෙත් අද වන තෙක් ඒ ඡන්දයට සිදු වූ දෙයක් නැත.

අද පවතින දේශපාලන වාතාවරණය කෙබඳු දැයි ජනාධිපති රනිල් මෙන්ම ඔහුට සහාය දෙන පොහොට්ටුවේ නායක මහින්දත් දනිති. ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු මැතිවරණයක් වුවද අවශ්‍ය නම් කල් දැමීමට එම ව්‍යවස්ථාවේ ම විධි විධාන තිබෙන බවත් මේ නායකයෝ දනිති. එළැඹෙන කවර මැතිවරණයක දී වුවද, ස.ජ.බ හා ජා.ජ.බ. ඉදිරියෙන්ම සිටින ආකාරය ද ඔවුහු දනිති. රනිල් පොදු අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත් කිරීමට එජාපයට අවශ්‍යය. මහින්දගේ පොහොට්ටුවේ ද රනිල්ට සහාය දෙන අය සිටිති. ප්‍රසන්න රණතුංග ද පසුගිය දිනක කියා තිබුණේ රනිල්ට තව අවස්ථාවක් දියයුතු බව ය. ඒ මතය සමහර ඇමැතිවරු ද දරති. එහෙත් මැතිවරණයේ තුන්කොන් සටන තුළ රනිල්ට තිබෙන ස්ථානය කුමක් ද? ඔහුට ජාම බේරා ගතහැකි ද? සමාජ මාධ්‍ය බෙලහීන කළත් ජනමතය පෙළගැසෙන ආකාරය ඔහුට වඩා අනෙක් නායකයන්ට හිතකර නම්, සිදුවිය හැක්කේ කුමක් ද?

රනිල්ගේ දේශපාලන ගුරුවරයා මෙන්ම ඔහුගේ පක්‍ෂයේ නායකයා ද වූ ජේ. ආර්. ජයවර්ධන විසින් දෙන ලද දේශපාලන ආදර්ශයක් ද තිබේ. ඒ අවාසිදායක පසුබිමක සටන් කිරීම මෝඩකමක් බව ය. ජේ. ආර්. එදා ජනාධිපතිවරණය දිනා ගත්තේ තමන්ට එරෙහි වූ ප්‍රබල අපේක්‍ෂිකාව විය හැකිව තිබුණු සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කර ඇය දේශපාලනයෙන් ද ඉවත් කරමින් ය. රාජ්‍ය බලය මැර බලය හා මැතිවරණ දූෂණ මැද්දේ ජේ. ආර්. ජය ගත්තේය. ඊළඟට ඔහු කල්පනා කළේ 1983 මහ මැතිවරණය ගැන ය. ඔහු මුලින් ම කළේ එවකට කැපී පෙනුණු දේශපාලන චරිත පාර්ලිමේන්තුවට ඒමට තිබුණු අවකාශය වසා දැමීමට ය. එසේම ජනතාවට කියා සිටියේ 1977 හා 1982 යන අවස්ථා දෙකේ දීම ජනතාව දුන් වරම ක්‍රියාත්මක කිරීමට තමාට තව කාලයක් අවශ්‍ය බව ය. ඒ නිසා යළිත් මහ මැතිවරණයක් නොපවත්වා ඒ ජනවරම හය වසරකින් (06) දීර්ඝ කළ හැකිද යන්නට ජනතාවගෙන්ම පිළිතුරක් ලබාගැනීම තම අදහස බව ජයවර්ධන කියා සිටියේය. ඒ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදීව විමසීමට ජනමත විචාරණයක් පැවැත්වීම සුදුසු බව ද ඔහු කීවේය.

ජනමත විචාරණයට පෙර ශ්‍රී.ල.නි.ප මහ ලේකම් රත්නසිරි වික්‍රමනායක හා එවකට උප ලේකම්ව සිටි විජය කුමාරතුංග ඇතුළු පිරිසක් නැක්සලයිට් චෝදනා යටතේ අත්අඩංගුවට ගත්හ. වමේ පුවත්පත් වූ ජනදින, ඇත්ත දෙකටම සීල් තැබුණි. එමගින් ජනමත විචාරණයේ විරුද්ධ පිරිස් දුර්වල වූ අතර ජයවර්ධනගේ අදහසට අනුමැතිය ලබාගත හැකි විය. ඒ ජනමත විචාරණය මේ රටේ මැතිවරණ ඉතිහාසයේ කළු පැල්ලමක් බව එය මෙහෙය වූ ඡන්ද කොමසාරිස් චන්ද්‍රානන්ද ද සිල්වා ද පසුව ලියා ඇත. ජයවර්ධනගේ ‘ලාම්පු කළගෙඩි සෙල්ලම’ වත්මන් ජනාධිපති රනිල් ද හොඳින් දනී. ජයවර්ධන ආදර්ශය අනුව මෙම ජනාධිපතිවරණය කල් දැමීමට ඔහු පෙළැඹිය හැකිද? පැෆරල් සංවිධානය අනුමාන කරන පරිදිම එබඳු කුමක් හෝ ගැටයක් ගසා ජනාධිපතිවරණය කල් දැමීමට ක්‍රියාකරනු ඇද්ද?

මේ එකක්වත් පිළිබඳව අපට අනාවැකි කිව නොහැක. එහෙත් මේ වනවිටත් ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන පැරණි තේමාව ද සමාජය තුළ සංවාදයට ලක්ව තිබේ. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය යළිත් මෙම විධායක ක්‍රමය අහෝසි කිරීම සඳහා ක්‍රියා කළ යුතුය යන පැරණි යෝජනාව අතට ගෙන ඇති බවක් ද වාර්තා වේ. ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත්වීමට නියමිත රනිල්, සජිත් හා අනුර යන තිදෙනාම විධායක ක්‍රමය අහෝසි කළ යුතුය යන දේශපාලන ස්ථාවරයේ සිටින නිසා ඔවුන් තිදෙනාගේම සහාය ලබාගෙන මෙම විධායක ක්‍රමය අවශ්‍ය ද? නැද්ද? යන්න ගැන ජනමත විචාරණයකින් තීන්දු කළ හැකි බව ද ඒ වෙනුවෙන් පෙනී සිටින අයගේ යෝජනාවකි. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට නම් සුදුසුම පුද්ගලයා මේ ජනාධිපති රනිල් බව ද තවත් පිරිසක් කියති. මේ තිබෙන දේශපාලන වාතාවරණය තුළ සජිත් – රනිල් සම්මුතියකට ද ඉඩක් නැත. සජිත් පවසන්නේ තම පක්‍ෂයේ අය බිලිබා ගැනීමේ පහත් මෙහෙයුමක් ද ජනාධිපති වෙනුවෙන් සිදුවන බව ය. අනුර කුමාර කිසිසේත් මේ ජනාධිපති සටනින් ඉවත් වන්නේ ද නැත. මේ වනවිට සිදු වී තිබෙන ඇතැම් සමීක්‍ෂණ වාර්තාවලින් හෙළි වී ඇත්තේ ද අනුර කුමාර වැනි අලුත් ජන බලවේගයක් රටට අවශ්‍ය බව වැඩි පිරිසකගේ අදහස බව ය. මෙරටේ පාලන බලය හිමිකර ගත් මහින්දගේ කඳවුර හා රනිල්ගේ කඳවුරට අයත් කිසිවෙක් අනුර කුමාරලා අතට රාජ්‍ය බලය පත්වීම අනුමත නොකරති. එහෙත් අනුර කුමාරගේ ජන බලවේගය පසුබැස් විය හැක්කේ කෙසේද යන උභතෝකෝටිකය ද ඔවුන්ට තිබේ. මේ සියල්ල පෙළ ගස්වා බලනවිට හෙට එළැඹෙන දේශපාලන වාතාවරණය අතිශය සංකීර්ණ එකක් වනු නොවැළැක්විය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment