නාකොලගනේ යනු එතරම් ප්‍රසිද්ධ ගම් ප්‍රදේශයක් නොවේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගමටත් එපිටින් මහව-ගල්ගමුව මායිමේ අඹන්පොල පොලිස් බල ප්‍රදේශයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි නාකොලගනේ වන වදුලු වලින් සහ කෙත්වතු වලින් ගහන, වැව් බැඳී රටේ පිහිටි ගම් ප්‍රදේශයකි. මේ නිසාම නාකොලගනේ වටකරගනිමින් වැව් කිහිපයක්ම පිහිටා ඇත. මෙම වැව් විටෙක නාකොලගනේටත් වඩා ප්‍රකට වී ඇත්තේ එම වැව් තාවුළු සුප්‍රකට “වයඹ ඇතුන්” ඇතුළු වන අලින්ගේ පාරාදීස බවට පත්ව ඇති නිසාය. නිදසුනක් සේ මේ කියන ගමේ පිහිටි “පාලුකඩවල” වැව සලකා බැලුවහොත් එය අලි ඇතුන්ගේ රජදහනක් බවට පත්ව ඇති නිසාම නාකොලගනේ ගම් ප්‍රදේශයටත් වඩා අප දන්නේ “පාලුකඩවල” වැව ගැනය. නමුත් ඒ අතීතයේදීය. මේ වන විට නාකොලගනේ යනු රටක් හඳුනන ප්‍රදේශයක් බවට පත්වෙමින් පවතී. ඒ එම රජ මහා විහාරයට අයත් යැයි කියන “සන්නසක්” හා “නින්දගමක්” නිසා එහි සිදුවන ඉඩම් බෙදීමක් නිසා සහ වනාන්තර විනාශයක් නිසාය. නැතහොත් එම ප්‍රදේශයේ අණසක පතුරුවාලමින් අලි-ඇතුන්ගේ වාස භූමි නිරාවරණය කරන ශ්‍රමණ වේශධාරීයකු නිසාය. අප ඒ නමින් ඔහු හඳුන්වන්නේ හෙතෙම විසින් සිදුකරනු ලබන කටයුතු කිසිසේත් බුදුන්ගේ දහමට අනුකූල නොවන නිසාය.

නාකොලගනේ නින්දගම අලි-ඇතුන්ට පමණක් නොව…රටටම කොඩිවිනයකි

සැබැවින්ම මේ රටේ පවතින ඇතැම් “නින්දගම්” සහ ඉඩම් අයිතිය දක්වන්නේ යැයි කියන ඇතැම් “සන්නස්” තනිකරම රටට වාතයකි. නොහොත් කොඩිවිනයකි. අතීතයේ නින්දගම් වෙන්කර ඇත්තේ අදාළ විහාරස්ථානයේ හෝ දේවාලයේ දියුණුවට හා පරිසරයේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට මිස එහි ඇති ගස් කොළන් කපා අලෙවි කරගැනීමටත්, එකී දේපළ උකස් කර, බද්දට දී හෝ විකුණා මුදල් කරගැනීමටවත් නොවේ. රටේ නීතියටත් වඩා ඉහළින් ඒවා රැකගැනීම සඳහා අතීත රජවරු නින්දගම් පූජාකර ඇති නමුත් අද සිටින බොහෝ නින්දගම්කාරයන් විසින් කරනු ලබන්නේ මේ සම්පත් විකුණාගෙන කෑම හෝ සන්නස් යයි කියමින් හෝ රජයේ ඉඩම් අල්ලාගෙන ජාවාරමේ යෙදීමටය. මෙවන් නින්දගම් දෙකක අයථා ඉඩම් ගනු දෙනු ගැන අපි පසුගිය කාලයේ හෙළිදරව් කළෙමු. සොරගුණේ කුඩා කතරගම දේවාලයට අයත් යැයි කියන නින්දගමක් නිසා හල්දුම්මුල්ලේ අතිශය සංවේදී වනාන්තර ඉඩම් හානියට ලක්ව ඇති බව මීට පෙර අපි පෙන්වා දුනිමු. සොරගුණේට මුවාවී සොරකමේ යෙදෙන මෙම සොර ගුහාවට අමතරව මහා කතරගම දේවාලයේ නින්දගමක් කියමින් තණමල්විල කිවුල්ආර ප්‍රදේශයේ වනාන්තර ඉඩම්, දේවාලයේ ඉඩම් නිලධාරියකු විසින් ප්‍රදේශයේ නිලධාරීන්ට, දළ කාරයන්ට විකුණා අහිංසක ගොවි ජනතාවට සිදුකරන අකටයුත්තක් ගැනද අපි හෙළිදරව් කළෙමු.

මෙසේ සන්නස් හෝ නින්දගම් හිමි යැයි කියන දේවාලවල, පන්සල්වල පුද්ගලයන්, දේවාලයේ කපුවන්, නිලමේවරුන්, හෝ චීවරධාරීන් විසින් සිදුකරනු ලබන්නේ එම වරප්‍රසාද තමන්ගේ භුක්තියට ලැබුණු දෙයක් ලෙස සලකා “හෝල් සේල්” අලෙවි කිරීමය. එසේ වූ විට ඔහුට එම ඉඩම්වල තත්ත්වය කුමක්ද යන්න අදාළ නැත. එය කුඹුරක්ද, කැලයක්ද, අලින් ඇතුළු වන සතුන්ගේ වාසස්ථානයක්ද, අලිමංකඩක්ද, වැව් තාවුල්ලක්ද යන්න මේ කාලකණ්ණින්ට අදාළ නැත. ඔහු දකින්නේ ඉඩම්වල “මොණර නෝට්ටු” වටිනාකම පමණි. කොටින්ම අපට දැනගන්නට ලැබෙන පරිදි නාකොලගනේ රජමහා විහාරයට එවන් සන්නසක් හෝ නින්දගමක් තිබේද යන්නත් දැන් ප්‍රශනයක් වී ඇති නමුත් වනාන්තර විනාශයක් හා ඉඩම් ජාවාරමක් නම් එහි යහමින් සිදුවෙමින් පවතී. ඒ නාකොලගනේ බොහෝ ගම්වැසියන් ඊට තම විරෝධතාව ප්‍රකාශ කරද්දීය. නැතහොත්, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු මීට වගකිව යුතු නිලධාරීන් බකන් නිලාගෙන, බඩ උලාගෙන සිටියදීය.

රජමහා විහාරයට අයත් යැයි කියන සන්නසකින් අක්කර 4500 ක ඉඩම් අයිතියක් තමන්ට ලැබී ඇතැයි කියන අදාළ විහාරස්ථානයේ හිමිනමක් විසින් මේ වන විටත් ඉන් අක්කර 1500 ක් පමණ හිතවතුන් අතර බෙදා හැර ඇති බවත් එම ඉඩම්වල තිබූ වනාන්තර ඩෝසර් කර ඇති බවත් කියනු ලැබේ. පුදුමය නම්, මෙම ඉඩම් මුදල් ගෙවා ලබාගෙන ඇත්තේ ලොකු, ලොකු පොලිස් නිලධාරීන්, වෙනත් සිවිල් සේවා රාජ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන්, දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් වීම බවත්, ඊට එරෙහිව හඬ නගන ගම්වැසියන් මේ චීවරධාරියාගේ බලවත් උදහසට ලක්ව ඇති බවත් කියනු ලැබේ. මෙසේ වෙන්දේසියේ දමා ඇති ඉඩම් පිහිටා ඇත්තේ සුප්‍රකට වන අලි නිජබිමක් වන පෙර කී “පාලුකඩවල” වැව ඉස්මත්තේ වීමද පාලුකඩවලක් ගැන අප මෙහිදී සිහිපත් කරන්නට හේතු වූ කාරණාය.

නාකොලගනේ නින්දගම අලි-ඇතුන්ට පමණක් නොව…රටටම කොඩිවිනයකි
නාකොලගනේ නින්දගම අලි-ඇතුන්ට පමණක් නොව…රටටම කොඩිවිනයකි

එපමණක් නොව, මෙසේ සන්නස් හා නින්දගම් මාෆියාවකට ගොදුරුවෙමින් පවතින නාකොලගනේ අලි-ඇතුන් දිවිගෙවන වටිනා වනාන්තර බිම්, වැව් තාවුළු, සහ අලි මංකඩ විනාශයකට මුහුණ දී ඇති අතර, අහිංසක ගම්වැසියන් දිවි ගෙවන නිවාස, දේපළවලින් පවා පිටමං කිරීමේ පළිගැනීමේ මැර බලයක්ද එහි ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

පෙර කී ඉඩම් මුදලට ගත් දේශපාලකයන්, පොලිස් නිලධාරීන්, රජයේ ඉහළ නිලධාරීන්, ප්‍රකට වෛද්‍යවරුන් රැසක් මෙම ඉඩම් මිලදී ගෙන හෝ බද්දට ගෙන ඇති අතර ඔවුන් විසින් දැනටමත් ඒ වටා එල්ලෙන විදුලි වැට ගසා, අලින්ගේ සංක්‍රමණික මාර්ග අවහිර කර, ඩෝසර් දමා ඉඩම් හෙළි-පෙහෙළි කර ඇත. මේවාට එරෙහිව කටයුතු කරන ගම්වැසියන්ට සිදුව ඇත්තේ කළු ගල්වල ඔළුව ගසාගැනීමටය. එහෙයින් ඇතැම් ගම්වැසියන්ට පරම්පරා ගණනාවක් තමන් භුක්ති විඳින ඉඩම්වලින් යන තැනටම වැඩ සලස්වා ඇත.

නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස් මහතාගේත්, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේත් “යුක්තිය” මෙහෙයුම ක්‍රියාත්මක වන මේ අවස්ථාවේ පෙරකී අහිංසක ගම්වැසියන් තමන් පදිංචි ඉඩම්වලින් එළවා දමන්නට මැර බලය යොදවන එකී චීවරධාරියාගේ සහ විහාරස්ථානය අසලම පදිංචි, කැලේ නීතිය අතට ගෙන රඟන ඔහුගේ සුවච කීකරු “නේවි ………” නමැත්තාගේ කටයුතු වහා සොයාබලන ලෙස අපි එම දෙපළගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු. එසේම, නාකොලගනේ රජ මහා විහාරයේ නින්දගම යයි කියන කොටසෙන් ඉඩම් මිලදී ගෙන, චීවරධාරියාට වුවමනා විදිහට “රාජකාරිය නවන” පොලිස් ලොක්කන් කවුරුන්ද යන්නත් හෙළිදරව් කරන ලෙස අපි දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටින්නෙමු.

ඉකුත්දා “පරිසර යුක්ති කේන්ද්‍රය” මගින් සැලසුම් කරන ලද ක්ෂේත්‍ර මාධ්‍ය අධ්‍යයන චාරිකාවකට සහභාගි වී මේ පිළිබඳව කරුණු හදාරන්නට අපටද අවස්ථාවක් හිමිවූ අතර එහිදී වන අලින්ගේ සංක්‍රමණික මාර්ගයක පිහිටි “පාලුකඩවල” වැවේ තත්ත්වය සොයා බලන්නටද අපි එහි ගියෙමු. මෙම වැව හා වැව් තාවුල්ල වයඹ දිග කලාපයේ ප්‍රධාන අලි නැවතුම්පළක් වන අතර, මේ හරහා අලිමංකඩද පවතී. විල්පත්තුව හා තබ්බෝව ප්‍රදේශයේ අලි-ඇතුන් 300 කට ආසන්න ප්‍රමාණයක් මෙම “පාලුකඩවල” වැව වසරේ එක් කාලයකදී භාවිතයට ගනු ලබන අතර, තවත් කණ්ඩායමක් හබරණ-මින්නේරිය ප්‍රදේශයෙන් මෙහි පැමිණේ. එසේම පාලුකඩවල නිජබිම කරගෙන දිවිගෙවන අලි-ඇතුන්ද රැසක් සිටින බව අලින් පිළිබඳ කරුණු කාරණා හොඳින් දන්නා පරිසරවේදියකු අපට සඳහන් කළේය. නින්දගමක් යැයි කියා මෙසේ හෙළිකරනු ලබන්නේ එම වැව් තාවුල්ලේ ඉඩම්ය. මෙම හස්ති නිජබිම මේ දිනවල කතාකරන ප්‍රකට ඇතුන් කිහිප දෙනකුගේ නිජබිම් කලාපයකි. නාකොලගනේ හාමුදුරුවන්ගේ “නින්දගමට” යටවී ඇත්තේ මෙවන් වටිනා පරිසර නිකේතනයකි. පුදුමය නම්, සොරගුණේ ප්‍රාදේශීය ලේකම්වරිය මෙන්, තණමල්විල ප්‍රාදේශීය ලේකම්වරයා මෙන් මේ ගැන හාන්කවිසියක් ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම්වරයාද නොදැන සිටීමය. නොහොත් රට බුදින බවට අපි කොතරම් දේශපාලකයන්ට දොස් කිව්වත්, ඒ යට සිටින්නේ බොහෝ ප්‍රාදේශීය ලේකම්වරු බවය. ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම්වරයා නාකොලගනේ හාමුදුරුවන්ගේ දන් බත් බුදින බව අප කියන්නේ නැත. නමුත් එම ලේකම් කාර්යාලයේ කවුරුන් හෝ ඊට වඩා ජරාගොඩවල් බුදින බව මේ ඇදි, ඇදී යන නාකොලගනේ ඉඩම් මාෆියාවෙන් අපට කෙරේ. “යුක්තියේ” මෙහෙයුමක් නාකොලගනේටත් ඉතා ඉකමනින් අවැසි බව අප කියන්නේ ඒ නිසාය. නාකොලගනේට යුක්තිය ඉටුවන තුරු අපි බලාසිටින්නෙමු.

ජගත් කණහැරආරච්චි
(තොරතුරු සොයා යන්නට ඉඩහසර සපයා දුන් පරිසර යුක්ති කේන්ද්‍රයට ස්තුතිය)

advertistmentadvertistment
advertistmentadvertistment