විනාඩි දෙකෙන් මෙලොව එළිය දුටු අක්කල මල්ලිලා නංගිලා හයදෙනා

1601

වැලේ ගෙඩි වැලට බර නැතුවාක් මෙන් ප‍්‍රභාත් උදයංග මරවනාගොඩට සහ දිලිණි වාසනාට පළමු දරු ප‍්‍රසූතියේදීම ලද සය නිවුන් දරු උපත ගැන ඔවුන් පසු වන්නේ අසීමිත සතුටකිනි.

ඉකුත් 21 වැනිදා රාත‍්‍රි 12-16 ට මෙම දරුප‍්‍රසූතියේ පළමු දරුවා මෙලොවට ගැනීමට ඒ සම්බන්ධව කටයුතු කළ ප‍්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතා සමත්විය.

ඉන්පසු රාත‍්‍රී 12.17 ත් 18 ත් අතර විනාඩි දෙකක කාලයක් තුළ සෙසු දරුවන් පස් දෙනා ද මවුකුසින් නිරුපතද්‍රිතව ගැනීමට වෛද්‍යවරයා සමත් විය.

දියණියන් තිදෙනෙක් සහ පුතුන් තිදෙනෙක් ලෙසින් සම සමව මෙම දරු උපත සිදුව තිබීම ද ආශ්චර්යයකි.

පවතින කොවිඞ් වසංගතය හමුවේ දරුවන් හැදීම පස්සට දාන ලෙස ඇතැම් වෛද්‍යවරු උපදෙස් දෙද්දී දිලිණි සහ ප‍්‍රභාත් එම අභියෝග මැද විවාහයෙන් පසු තම පළමු දරු ප‍්‍රසූතිය මෙලෙස ජයගත්හ.

ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලකදී සිදු කළ පළමු සය නිවුන්දරු ප‍්‍රසුතිය ලෙසට සනිටුහන් කරමින් නාරාහේන්පිට නයින්වේල්ස් රෝහලේදී මෙම දරු ප‍්‍රසුතිය සිසේරියන් සැත්කමක් මගින් සිදුකර තිබුණි.

ඒ සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය 40 ක් සහභාගී වී ඇත.

එක් දරුවකුට වෛද්‍යවරයෙක් සහ හෙදියන් දෙදෙනෙකු බැගින් වෙන් කරමින් මෙම දරු ප‍්‍රසූතිය සාර්ථකව සිදුකර ගැනීමට මහාචාර්ය ටිරාන් ඩයස් මහතා සැලසුම්කර තිබුණි.

මීට පෙර මම නිවුන් දරු උපත් සිසේරියන් සැත්කම් මගින් ලබා ගැනීමට කටයුතුකර තිබුණි. නමුත් මෙවැනි සයදරු උපතක් ලබා ගැනීමට කටයුතු කළ පළමු අවස්ථාව ලෙස මගේ වෛද්‍ය වෘත්තියේ සටහන් වෙනවා. මෙම දරු ප‍්‍රසූතිය සඳහා කටයුතු කිරීම ගැන මහාචාර්ය ටිරාන් ඩයස් මහතා සිය අදහස් දක්වමින් පැවසීය.

මෙවැනි දරු උපතක් සිදු කිරීම සම්බන්ධව මීට පෙර අපට අත්දැකීම් තිබුණේ නැහැ. මෙවැනි දරු උපත් සිදුවන්නේ කලාතුරකින්. සාමාන්‍ය දරු උපතක් සති 38කින් පමණ සිදු කරනවා.

නිවුන් දරුවන් දෙන්නෙක් හෝ තුන් දෙනෙක් නම් සති 35 න් ගැනීමට කටයුතු කරනවා.

නමුත් සය නිවුන් දරුවන් ප‍්‍රසූත කරන කාලය ගැන කිසිම වාර්තාවක් නැහැ. ඒනිසා අපි මවගේ සෞඛ්‍ය තත්ත්වයත් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයත් ගැන සිතා දරු ගැබට සති 31 ක් සම්පූර්ණ වූ විට සිසේරියන් සැත්කමකින් ලබාගන්න තීරණය කළා. ඒ අනුව තමයි ඉකුත්් 21 දා රාත‍්‍රී 12.16 ට මෙම දරු ප‍්‍රසූතිය සිදු කළේ. මහාචාර්ය ටිරාන් ඩයස් මහතා මෙම සුවිශේෂී අත්දැකීම විස්තර කළේ එලෙසිනි.

මවක් ගැබිනියක් වූ විට ඇයගේ සිරුරේ බර වැඩි වීම සාමාන්‍ය දෙයකි. එය කිලෝ තුන හතරකින් වැඩි විය හැකිය. නමුත් දිලිණිගේ දරු කලලයට සති 28 ක් වනවිට ඇයගේ සිරුරේ බර කිලෝ ග‍්‍රෑම් 30 කින් වැඩි වී තිබේ.

එපමණක් ද නොව සිරුරේ වතුර ප‍්‍රමාණයත් ඉහළ යන්නට පටන්ගෙන ඇත. රුධිර පීඩනය ද වැඩි වී තිබේ. මුත‍්‍රා සමග පිටවන ප්‍රෝටීන් ප‍්‍රමාණය ද ඉහළ ගොස් ඇත.

මෙහිදී කායික රෝග විශේෂඥ වෛද්‍ය ප‍්‍රියංකර ජයවර්ධන මහතා තම වෛද්‍ය වෘත්තියේ ලබා ඇති අත්දැකීම් අනුව දිලිණිගේ මතුව ඇති ජීවිත අවදානම අවම කරන්නට පියවර ගෙන තිබුණි.

විනාඩි දෙකෙන් මෙලොව එළිය දුටු අක්කල මල්ලිලා නංගිලා හයදෙනා

වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වන ප‍්‍රභාත්ගේ උපන් ගම වවුනියාව ය. දිලිණි ද වවුනියාවේ උපත ලබා ඇති අතර සිය පියාගේ පොලිසියේ රාජකාරී අනුව අනුරාධපුරයට පදිංචියට පැමිණ ඇත.

ප‍්‍රභාත්ගේ පියා ගොවියෙකි. මව ගෘහණියකි. අනුරාධපුරය ශාන්ත ජෝෂප් විදුහලේන අධ්‍යාපනය ලැබූ ඔහු ඉංජිනේරුවකු වීම සඳහා පේරාදෙණිය විශ්වවිiාලයට ඇතුළත් වීමට වරම් ලබා ගත්තේය. එකම ගමේ ඉපදුණ ද දෙදෙනා හඳුනන්නේ නැත. ඒනිසා මංගල යෝජනාවකට අනුව 2019 වසරේදී විවාහ වී ඇත.

වෘත්තියෙන් ඉංජිනේරුවකුවීමත් සමග ප‍්‍රභාත් 2012 වසරේ සිට පදිංචිව සිටින්නේ කොළඹ අයි. ඞී. එච්. ප‍්‍රදේශයේය.

මගේ නෝනට සය නිවුන් දරු කලලයක් කියා දැනගත් විට මට දරාගන්න බැරි සතුටක් ඇති වුණා. නමුත් දරු ප‍්‍රසූතියට සතියකට පෙර ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අනුව රෝහල් ගත කරන්නට වෛද්‍ය උපදෙස් ලැබුණු විට මට පුදුම බියක් දැනුණා. රෝහල් ගත කළ දා සිට දරු ප‍්‍රසූතිය සිදු වූ දිනය දක්වා මම සිටියේ දැඩි මානසික පීඩනයකින්. ඒ පීඩනය දුරු වී මගේ හිතේ උපත් සතුට දෝරේ ගලා

ගියේ ඉකුත් 21 දා අලූයම මට මගේ දරුවන් හය දෙනාගේ මුහුණ බලන්න ලැබුණ විටදී යැයි ප‍්‍රභාත් සය නිවුන් දරු උපතේ සිය අත්දැකීම් පැවසීය.

මෙම අභියෝගාත්මක දරු ප‍්‍රසූතියේ වගකීම නයින්වේල්ස් පෞද්ගලික රෝහලට පැවරුණුවිට එහි කළමනාකාරීත්වය ඊට මුහුණ දෙමින් මේ සඳහා අවශ්‍ය සියලූ පහසුකම් සකස්කර ඇත.

ඒ සම්බන්ධව එහි ප‍්‍රධාන මෙහෙයුම් අධ්‍යක්‍ෂ වෛද්‍ය විභාෂ් විජයරත්න මහතා පැවසුවේ අපි රුපියල් මිලියන ගණනක් වැයකර මෙම දරු ප‍්‍රසූතියට අවශ්‍ය සියලූ පහසුකම් සකස් කළා යැයි කියාය.

මෙම දරු ප‍්‍රසූතියේදී දිලිණි අර්ධ වශයෙන් නිර්වින්දනයකර සිසේරියන් සැත්කම මගින් සිදු කිරීමට නිර්වින්දන වෛද්‍ය විශේෂඥ රංජිත් දිසානායක මහතා කටයුතුකර ඇත.

දරුවන් සය දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය විමසා බලන්නේ නව ජන්ම දරු උපත් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමතිගේ සහ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ මහත්වරුය.

මේ වනවිට දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරෝගී බවත් තව සති තුනක් පමණ දැඩි සත්කාර ඒකකයේ සිට රෝහලින් පිටව යා හැකි බවත් වෛද්‍ය නලින් ගමතිගේ මහතා විශ්වාසය පළ කරයි.

මෙම දරුවන් සය දෙනාගේ බර විවිධය. පළමු දරුවාගේ බර කිලෝ එකයි ග‍්‍රෑම් 600 ක් වී ඇත. අවසානයට ප‍්‍රසූත කළ දරුවාගේ බර ග‍්‍රෑම් 830ක්ව පැවැත තිබේ.

කෙසේ හෝ දැන් මෙම දරුවන් සය දෙනා නීරෝගීව මෙලොව එළිය දැකීමට වාසනාව උදාකර ගෙන සිටිති.

මතු දිනෙක ඔවුන් අප රටේ ඉදිරි අනාගතය සරු කරන දරු පරපුරක් බවට පත් වේවා යැයි කියා අපි ප‍්‍රාර්ථනා කරමු.

උපාලි ද සේරම්
පිංතූර – නිශාන් එස්. ප‍්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment