මං ඉපදුන දවසවත් මගේ වයසවත් මම දන්නේ නෑ…

කන්නෙ බොන්නෙ නිදාගන්නේ ඉන්නේ හිටින්නේ පාරෙම තමයි..

වැස්ස දවසට මම කඩමණ්ඩියට යනවා කන්ද ආවට පස්සේ එතැන ඉන්නත් ටිකක් බයයි..

අයියා තමයි මට හිටපු එකම ශක්තිය, එයා මැරුණට පස්සේ මට තේරුණා මේ ලෝකේ මට කවුරුවත්ම නැහැ කියලා

ඉස්සර පහළ කඩුගන්නාව කොළ පාටයි, ලස්සනයි.. වන්දනාවෙ එන හැමෝම තමන්ගේ කුණු ටික දාලා යන්න පුරුදු වෙලා.. දැන් පල්ලෙහා පැත්තෙ අඩියක් ගහන්නවත් බෑ..

“මට මතක ඇති කාලෙක ඉඳලා මම වතුර අල්ලනවා…. උදේට ඇහැරෙන්නෙත් වතුර සද්දේ එක්ක…… කන්නේ බොන්නේ දවස ගෙවන්නේ රෑට නිදාගන්නේ කෙටියෙන්ම කිව්වොත් ජීවිතේම ගෙවන්නෙ වතුරත් එක්ක…….”

එඩ්වඩ් …, කී දේ මම උවමනාවෙන්ම ඇසුවේ ඔහු තරමක් ගොතගසන නිසාය. තරමක් විපරම් කර බලන විට ඔහු විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයකුගේ ලක්ෂණ පෙන්නුම් කරන බව දැනගන්නට ලැබිණි. නමුත් එසේ යැයි කියා ඔහු ජීවිතේ ජයගන්නට පසුබට වී නැති බවක් දක්නට ලැබිණි.. පාරෙම නිදාගෙන පාරෙම ජීවත් වෙන’ පාරෙම ඉඳන් වතුර අල්ලන එඩ්වඩ් ඉන්නේ පහළ කඩුගන්නාවේය. හිඟුලට ආසන්න වෙරළුගොල්ල පාර හන්දියේ කොළඹ නුවර මහ පාර අයිනේ ජීවත් වන එඩ්වඩ් සිය උපන් දිනයවත් දන්නේ නැත. ඒ නිසාම ඔහු තමන්ගේ වයස දන්නේද නැත. අනුමානයට ඔහු කියන්නේ වයස අවුරුදු හතළිහකට ආසන්නව ඇති බවය.

වතුර ඇල්ලීම

වතුර අල්ලන බව කිව්විට අප හිතන්නේ යමක් වතුරට අල්ලනවා කියාය. එසේත් නැත්නම් කුමකට හෝ වතුර දානවා කියාය..

නමුත් මේ වතුර ඇල්ලිල්ල එවැන්නක් නොවේ. දිනපතා පැය විසි හතරකින් පැය දහ අටක්ම පාහේ වාහනවලට වතුර ඇල්ලීමය. දැන් ඔහු ජීවත් වන්නේ වතුර අල්ලා ලැබෙන කීයක් හෝ මුදලකිනි. ඒ වග පසක් කරමින් එඩ්විඩ් මෙසේ කීය.

“මගේ පවුලේ අම්මා අයියලා අක්කලා ඉන්නවා. ඒ වුණත් මම ඒ අයට බරක් වෙන්නේ නෑ. මගේ අයියා දැන් ටික කාලෙකට කලින් මැරුණා. එයා තමයි මගේ ජීවිතේ වීරයා වෙලා හිටියේ. එයා හැම මොහොතකම මං ගැන හොයා බැලුවා. මං කෑවද බිව්වද මොකද කරන්නේ? කොහෙද ඉන්නේ හැම දෙයක්ම හොයලා බැලුවා. එයා මැරුණට පස්සේ මට හිතෙනවා මම ජීවිතේ තනිවෙලා කියලා. මගේ අම්මත් මේ ඉසව්වෙම කොහේ හරි ඇති. හිටපු ගමන් ඇවිල්ල මාව බලලා වෙලාවකට කන්න බොන්න දීලා යනවා. මම ඒ කාටවත් බරක් වෙන්න කැමති නෑ. පුළුවන් විදිහට හැමදේම මම හොයාගන්නවා. මට ඉන්න වහලයක් නෑ. අහවල් වෙලාවට කන්න බොන්න කියන්න මගේම කියල කවුරුත් එන්නේ නැහැ….” ඔහු හිස් අහස දෙස බලාගෙන කියා සිටියේය.

ජීවිතයේ ශක්තිය

එහෙත් ඔහු ජීවිතයේ පරාජය භාර ගෙන නැති බව පසක් විය. මන්ද ඔහුට දවස ගෙවන්නට රටාවක් වීය. එඩ්වඩ් අලුයමින් අවදිවන්නේ මහ පාරේ වාහන ගමනාගමනය වැඩිවන වග දැනෙන විටය. ඔහු කියන්නේ එසේ වාහන වැඩි වන්නේ හතර පසුවූ විට කියාය. ඒ මොහොතේ අවදි වන ඔහු ඉදිරිපස ඇති කඩේට ගොස් තේ බී මුහුණ කට සෝදා වැඩට යන්නට මෙන් පිළිවෙළකට අලුත් ඇඳුම් ලා ගනියි. පසුව වතුර අල්ලන තැන පිරිසිදු කරයි.

“ඉස්සර මුල් කාලේ මං මේ කන්ද පාමුලට එනකොට හරි ලස්සනයි. ගහ කොළ කොළ පාටයි. වටපිටාව පිරිසිදුයි. මේ පල්ලමට බැහැලා වුණත් ආපහු උඩට එන්න කිසි හිරිකිතයක් නැහැ. ඒත් දැන් මේ හරියේ නවත්තන වන්දනාවේ යන නඩ තමන්ගේ කුණු සේරම මෙතනට දාලා යනවා. මෙතන විතරක් නෙවෙයි පහළ කඩුගන්නාවෙ ගල විදපු තැන ඉඳන් පටන් ගත්තහම එතන ඉඳලා වංගුවට යනකම්ම වන්දනා නඩ වගේම ගමන් බිමන් යන අය කෑම කාලා ගිමන් ඇරලා තමන් ගාව තියෙන කුණු ටික ඔක්කොම බිම දාලා යනවා. ඒ නිසාම මේ පරිසරය දැන් ලස්සන නැහැ… මම මුලින් ආවේ පහළ කඩුගන්නාවේ කඩ පේළියට. පුංචිම කාලේ ඒ කඩෙන් මේ කඩේට මේ කඩෙන් එහා කඩේට මාරු වෙවී පුංචි පුංචි වැඩ කරා මට මතකයි. නෑවෙ කෑවේ ඇන්දේ නිදාගත්තෙ සේරම ඔය කඩ පේළියෙ කියලත් මට මතකයි.” එඩ්වඩ් කියයි.

කඩ පේළියම නෑදෑයෝ

පාරෙම නිදාගෙන… පාරෙම දවස ගෙවා… පාරෙම ඉඳන් වතුර අල්ලන පහළ කඩුගන්නාවේ එඩ්වඩ්

පහළ කඩුගන්නාවේ ගලවිදපු තැන සිට හිඟුල වංගුවට යනතුරු පාර දෙපැත්තේ ඇත්තේ කඩ පේළියකි. මේ කඩ පේළියේ සිටින්නේ, එකම පරම්පරාවක පිරිසකි. ඒ එඩ්වඩ්ගේ පරම්පරාවේ උදවියයි.

“ඔය කඩ පේළිය හැමතැනම ඉන්නේ එක්කෙනාට එක්කෙනා නෑදෑයෝ තමයි. කන්ද පහළට ආපු වෙලාවේ කඩ තිහ හතළිහක්ම වහලා දාන්න සිද්ධ වුණා. නමුත් හැමදෙනාම වගේ මොනවා හරි වැඩක් කළා. අදටත් සමහරු කුලී වැඩවලට පිටට යනවා. අපි හිතුවේ තිබුණටත් වඩා ලස්සනට මේ කඩ පේළිය හදල දෙයි කියලා. ඒ වුණාට ඒ ගැන කවුරුත් උනන්දු වුණේ නැහැ. හදල දෙනව තියා අන්තිමට තිබ්බ දේත් නැති වෙච්ච එක තමයි මිනිස්සුන්ට සිද්ධ වුණේ.

කඩේ නැතිවෙලා ආදායම් මාර්ග නැති වෙච්ච මල්ලි කෙනෙක් ගස් බඳින්න ගියා. නුහුරට වැඩ කරලා එයා ගහෙන් වැටිලා මැරුණා. මේවා දකිනකොට මට උහුලගන්න බෑ. මට තනියම ජීවත් වෙන්න හයිය තිබුණට හුඟක් මිනිස්සුන්ට ඒ හයිය නෑ කියලා මට තේරෙනවා. ඇල්ල ඇවිල්ල යටවෙලා ණය ගෙවා ගන්න බැරුව හැමෝම හිටියේ දුකෙන්. මම ඒ වෙලාවෙත් හිතුවා දුක්වෙලා වැඩක් නෑ ඒකට මුහුණ දෙන්න ඕනේ කියලා. මොකද මට දැනෙන විදිහට ලොකු මහත්තුරු අපිට සලකන්නේ නැහැ. අපි හොයාගත්තොත් තමයි අපේ බඩ පිරෙන්නේ….”

සොබා දහමේ මිනිසෙක්

එඩ්වඩ් කියනා කතාව ඇත්තකි. උපන්දිනේවත් නොදන්නා ඉස්කෝලෙකට අඩියක් නොතැබූ හය හතරවත් හරිහැට ඉගෙන නොගත් එඩ්වඩ් මේ හැටි සමාජය පිළිබඳව අවබෝධයෙන් කතා කරන්නේ කෙසේද..? ඔහු ජීවත් වන්නේ පරිසරය සමග දැඩි බැඳීමක් ඇතිවය. පහළ කඩුගන්නාවේ කන්දේ දිය සීරාව අඩු වැඩි වන්නේ නම් ඒ ගැන එඩ්වඩ් හොඳින් දනී. හිරු හැංගී යළි මතුවී වළාකුළු වෙනස් වෙයි නම් වහින්නේද නැද්ද යන වගද එඩ්වඩ් හොඳින් දනී. ඊටත් එහා ඔහු විශ්වාසය තබා ඇත්තේ ඔහු ගැනමය. වෙහෙස මහන්සි වී උපයනා දෙය සාධාරණ බවත් අනුන්ගෙන් අබැටක් ගත්තද එහි වගතුවක් නැති නොරැඳෙන එකක් බවත් එඩ්වඩ් කියන්නේය. ආගමද ජාතියද සියල්ල ඇත්තේ තමාගේ සිතිවිලි බවද ඔහු කියන්නේය.

“පොඩි කාලේ මං වහලයකින් බිමට වැටුනලු. දැන් මම මේ ගොත ගහන්නේ ඒ නිසාලු. මගේ වැඩවලට මට ඒක බාධාවක් නෙවෙයි. මගෙත් එක්ක හුඟක් ලොකු මහත්තුරු ඇවිල්ල කතා කරනවා. පුරුද්දටම වගේ එන කීප දෙනෙක් ඉන්නවා. වෙලාවකට ඒ අය මට සතුටට කියලා මොනවා හරි දීලත් යනවා. වැඩිපුරම මෙතන වාහන නවත්තන්නේ ලොරිවල බස්වල රේඩියේටරයට වතුර අල්ල ගන්න.. නිවාඩු දවසට ටිකක් කට්ටිය එනවා වාහන හෝදගන්න. මම උපරිම සාධාරණයට වැඩේ කරලා දෙනවා. ඉස්සර මම හිටිය උඩහා කඩ පේළිය දිහා.. කන්ද වැටිලා එතන නැති වුණාට පස්සේ එතන මට හදලා දුන්නේ අප්පේ මාමා. මලල්ගොඩවත්තෙ ගුණරත්න හාමු. ඒ මහත්තයට පින් සිද්ධ වෙන්න මම අදත් කාලා ඇඳලා මගේ වැඩ ටික කරගෙන ඉන්නවා.

වටේ පිටේ ඉන්න හැමෝම මාත් එක්ක හොඳයි. මෙතන ත්‍රීවිල් දෙකක් දාන මල්ලිලා ඉන්නවා ඇත්තටම මල්ලිලා කිව්වට ඒ අය පුතාලා. ඒ අය මෙතෙන්ට ඇවිල්ල කතා කර කර ඉන්නවා. ජීවිතයේ බොහොම සුන්දර එකක්. ඒක හරියටම පාලනය කර ගන්න අපි දැනගන්න ඕනේ….” එඩ්වඩ් කියාගෙන ගියේය.

ජීවත්වීම අපූරු දෙයක් වග කියනා එඩ්වඩ් ගේ හමුවීම හරහා අපටද ජීවත් වීමේ අපූරු බව පසක් විණි. ඔහුට ජීවත්වීම අපූරු වන්නේ බැඳීම් නැති නිසාය. දවස ගෙවන්නේ සතුටින් නිසාය. තමන්ගේ ජීවිතය ගත කරන්නට තමන්ම කැපවන නිසාය.

අද මේ සමාජයේ බොහෝ දෙනා කන්න බොන්න පවුල් නඩත්තු කරන්න ගෙවල් දොරවල් හදන්න යාන වාහන ගන්න නීතිකවත් අනීතිකවත් මුදල් රැස් කරයි. අනුන්ගේ දේ කඩා වඩා ගනී. යමක් ලබාගත නොහැකිව තැවෙයි. යමක් ලැබුණත් ඊට වඩා තවත් දෙයක් තවකෙකුට ඇති විට කනස්සල්ලට පත්වෙයි. එහෙත් එඩ්වඩ්ට මේ කිසිවක් දැනෙන්නේ නැත. ඔහුට දැනෙන්නේ වතුරේ සිසිලස පමණි. සොබාදහමේ මද පවනේ සිසිලස පමණි.. ගහකොලින් ලැබෙන සෙවණින් සෑහෙන ඔහු සොබාදහමේ ජීවියෙක් ලෙස ජීවත් වෙයි. ඔහු පිළිබඳව අප ඔබට කියන්නේ මෙවැනි මිනිසුන් සිටින බව පෙන්වා දෙන්නටය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment