කොමිසම දෙබිඩි පිළිවෙතක: ගෙදරකට ලයිට් ගන්න විට ලෙකෝට වඩා ලංවිම රු. 10900ක් වැඩිපුර ගන්නවා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

172

ලයිට් කපපු ගෙදරකට යළි ලයිට් දෙන්න මණ්ඩලයට වඩා ලෙකෝ රු. 2100ක් ගන්නවා

මෙම වසරේදී (2024) නව විදුලි සබඳතා නිවාසවලට ලබා ගැනීමේදී ලංකා විදුලි බල මණ්ඩලය අය කරන ගාස්තුව ලෙකෝ සමාගම අය කරන ගාස්තුවට වඩා රුපියල් දහදහස් නවසීයක් වැඩි යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (19දා) පැවසීය.

කොළඹ විනයාලංකාර මාවතේ අංක 49 ස්ථානයේ ඊයේ (19 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළේය. ඒ මහතා එහිදී මෙසේද කීවේය.

2024 වර්ෂයට අදාළව විදුලි බල මණ්ඩලයේ අනුමත ගාස්තු ක්‍රමවේදය මහජන උපයෝගීතා කොමිසමේ අත්සනින් යුතුව මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. ඒ අනුව 2024 දී මාර්තු 5 වැනිදා සිට නිවසකට නව විදුලි සබඳතාවක් ලබාගන්නවා නම් විදුලි බල මණ්ඩලය අයකරන ගාස්තුව රුපියල් හතළිස් පන්දහස් පන්සීයයි. නමුත් ලෙකෝ සමාගමේ අය කරන්නේ රුපියල් තිස් හතරදහස් හයසීයයි. ඒ අනුව ලෙකෝ සමාගමට වඩා මණ්ඩලය රුපියල් දහදහස් නවසීයක් වැඩිපුර අය කරනවා. මේක ජනතාව හූරාගෙන කෑමක්. එකම කටයුත්තකට මෙහෙම ගණන් දෙකක් අය කරන එක වැරදියි. ලොකෝ එකේ ඉන්නෙ අඩු පාරිභෝගිකයන් සංඛ්‍යාවක්. ඒ නිසා ඔවුන් බඩු ‘ඕඩර්‘ කරනවා ඇත්තෙත් අඩුවෙන්. නමුත් විදුලි බල මණ්ඩලයට විශාල විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාවක් ඉන්නවා. ඔවුන්ට වයර්, මීටර් ආදිය වැඩි වශයෙන් ‘ඕඩර්‘ කරන්න පුළුවන්. එවිට අඩු මුදලකට ගන්න පුළුවන්. ඒ නිසා විදුලි බල මණ්ඩලය හරි නම් ලෙකෝ සමාගමෙන් අය කරනවාට වඩා අඩු

ගාණනකට නව විදුලි සබඳතා ලබාදිය යුතුයි. ලයිට් කැපිල්ලෙදි වෙලා තියෙන්නේ මේකේ අනිත් පැත්ත. ලයිට් කපපු ගෙදරකට නැවත විදුලි සම්බන්ධතාවය ලබාගන්නා විට මෙච්චර කල් අය කළ රුපියල් තුන්දහසක ගාස්තුව විදුලිබල මණ්ඩලය රුපියල් 800 දක්වා අඩු කර තිබෙනවා. නමුත් ලෙකෝ සමාගම ලයිට් කපපු ගෙදරකට යළි විදුලි සබඳතාව ලබාදීමේදී රු. 2900 ක මුදලක් අය කරනවා. ලෙකෝලා ගන්න ගාණ රුපියල් 2100ක් වැඩියි. 2024 වසරට අදාළව මෙසේ ගාස්තු අය කරන්න මහජන උපයෝගීතා කොමිසම අවසර දීලා තියෙනවා. මේක මහා දෙබිඩි පිළිවෙතක්. මරු නියාමනයක් තමයි මේක. මහජන උපයෝගීතා කොමිසම සාධාරණ පිරිවැය මෙහෙමද ගණනය කරන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment