රුපියලේ වැටීම සහ නැගීම…

4658

හෙට දවසේ රුපියලට කුමක් වෙයි ද? රුපියල තවත් ශක්තිමත් වෙයි ද? මේ ගැන යම් යම් අයට නොයෙකුත් උපකල්පන මත අදහස් හෝ මත ප්‍රකාශ කිරීමක් කළ හැකිය. මේ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගිය දා වරෙක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් ශක්තිමත් වීමට ඉඩ ඇති බවට අදහසක් පළ කර තිබිණි. ආනයන සීමා ඉවත් නොකරන අතරම, අයිඑම්එෆ් මුදල් කොටස් වශයෙන් ලැබීමත් ඒ සමග වෙනත් බහු පාර්ශවීය ආයතනවලින් සහ වෙනත් රටවලින් තවත් විදේශ මුදල් පහසුකම් ලැබීමට නියමිතව තිබීමත් නිසා ඉදිරියේ දී රුපියල පිළිබද තව බොහෝ දේ කතාකිරීමට සිදුවනු ඇත ඒ සියල්ල අනාගතය මත රඳා පවතී.

ඉතිහාසය පුරාම සමස්තයක් ලෙස සිදුව ඇත්තේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය දිගින් දිගටම පිරිහීමයි. එනම් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය බාල්දු වීමයි. එහෙත් ගිය වසරේ (2022) නම් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මස්ත බාල්දු වූ බව සඳහන් කළ හැකිය. මේ අතරම පසුගිය දිනවල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සැලකිය යුතු ලෙස ඉහළ යෑමක් සිදු විය. ඒ ගැන නොයෙක් අය නොයෙක් අදහස් දක්වන්නට පටන් ගත්තේය. එය මහ බැංකුව විසින් කෘතීම ලෙස කළ දෙයක් බව ද ඇතැම් අය කියා සිටියේය. එය තාවකාලික දෙයක් විය හැකිය. කෙසේ හෝ මේ වන විට එම ඩොලරය සහ රුපියල අතර විනිමය හුවමාරු අගයෙහි කිසියම් ස්ථාවර බවක් ඇතිව සුළු ගණන්වලින් එම අගය ඉහළ සහ පහළ යමින් තිබෙන බව පෙනේ.

සමස්තයක් ලෙස ගත් විට මේ වසර (2023) මුල සිට පසුගිය මාර්තු 31 දක්වා වන මාස තුනක කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 10.9 කින් අධිප්‍රමාණය වී ඇත. එනම් රුපියල සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇත. ගිය වසරේ (2022) දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 44.8 කින් පිරිහීමට ලක් වූ බව ද කිව යුතුය. 2021 වසරේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පිරිහීමට ලක් වූයේ සියයට 7.0 කින් පමණකි. මේ අනුව 2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල පෙර නොවූ විරූ ලෙස කෙටි කාලයක් තුළ විශාලතම පිරිහීමකට ලක්ව එය බඩු මිල විශාල වශයෙන් ඉහළ යෑමට ද හේතු වූ බව රහසක් නොවේ.

ගිය වසරේ (2022) රුපියලට වූ දෙය කුමක් ද? ඒ දෙය අපට හොඳටම මතකය. රුපියල සහ ඇමෙරිකානු ඩොලරය අතර විනිමය අනුපාතිකය බොහෝ කාලයක් රු.203 ක ස්ථාවර අගයක පවත්වාගෙන යෑමෙන් සිදු වූ විපාක ගැන මේ වන විට බොහෝ සාකච්ඡා සිදුව ඇත. මේ නිසා රටේ තිබුණු විදේශ සංචිත ටිකත් විනාශ වී අන්තිමට රුපියල ද පා කිරීමට සිදු විය. ඒ නිසා එම පිළිවෙත නිසා අවසාන වශයෙන් සංචිත නැත වී රුපියල රැකුණේ ද නැත. රුපියල පා කිරීමෙන් පසු රුපියල නූල කැඩුණු සරුංගලයක් මෙන් පාවී ගොස් අන්තිමට නතර වූයේ රු.380 ගණන්වලය. මේ නිසා තෙල් මිල, ගෑස් මිල ඇතුළු සියලු ආනයනික භාණ්ඩ මිල ගණන්වලට සිදු වූ අතිවිශාල බලපෑම අපි දනිමු. සෑම සියලු දෙයකම මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගියේය. තෙල් මිල ඉහළ නගින විට ප්‍රවාහන ගාස්තු ඉහළ ගොස් සමස්තයක් ලෙස සියලුම දේශීය භාණ්ඩ හා සේවාවල මිල ගණන් ද ඉහළ යන බව අපට රහසක් නොවේ. තෙල් මිල ගණන් පසුව අඩු වුණත් එම භාණ්ඩ මිල ඉහළ ගිය වේගයෙන් බඩු මිල අඩු නොවෙන බව හැම විටම පාරිභෝගික ජනයාගේ අත්දැකීමයි.

● රුපියලේ නැගීම

පසුගිය දිනවල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් ශක්තිමත් වූයේ කෙසේ ද? සාමාන්‍යයෙන් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ විදේශ විනිමය සැපයුම ඉහළ ගිය විට එය ඩොලරයේ අගය පිරිහීමට හේතුවේ. එසේ වීමට නොයෙකුත් හේතු බලපාන ලදී. ආනයන සීමා ද තවමත් බලවත් ලෙස පවතින බව ද රහසක් නොවේ. එනම් අප විසින් මේ අවස්ථාවේ ඩොලර් රටින් පිටට ගලා යෑම විශාල ලෙස සීමා කර තිබේ. එසේ තිබියදී නොයෙකුත් මාර්ගවලින් රටට ගලා එන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිය විට රුපියල ශක්තිමත් වේ. කෙසේ හෝ මේ රුපියල ශක්තිමත් වීම සම්බන්ධයෙන් පසුගිය දා නිකුත් වූ මහ බැංකුවේ නවතම වාර්තාවක මෙසේ සඳහන්ව තිබිණි. ඒ මෙසේයි. ‘වර්ධනය වූ වෙළඳපෙළ අපේක්ෂාවන් හමුවේ

මාර්ගෝපදේශ පරාසයක් සැපයීම සහ අනිවාර්ය විකුණුම් අවශ්‍යතා ඉවත් කිරීමත් සමඟ 2023 වසරේ මාර්තු මාසයේ දී සැලකිය යුතු ලෙස අතිප්‍රමාණය වීමට පෙර, විනිමය අනුපාතිකය 2023 වසරේ පෙබරවාරී මාසය දක්වා අඛණ්ඩව ස්ථාවරව පැවතුණි. මේ අතර පරිවර්තනය කරනු ලබන අපනයන ආදායමෙන් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවලින් බලපත්‍රලාභී බැංකු විසින් මහ බැංකුව වෙත විකිණිය යුතු අනිවාර්ය විදේශ විනිමය අවශ්‍යතාව ක්‍රමයෙන් ලිහිල් කිරීමත් ඉන් පසුව ඉවත් කිරීම සහ විනිමය අනුපාතිකය පිළිබද දෛනික

මාර්ගෝපදේශ සැපයීම අත්හිටුවීමත් සමග දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි විදේශ විනිමය ද්‍රවශීලතාවයේ වර්ධනයක් නිරීක්ෂණය විය. ඒ අනුව 2023 වසරේ මාර්තු 31 වන දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 10.9 ක අතිප්‍රමාණය වීමක් වාර්තා කර ඇත.’

මේ පසුබිම තුළ හෙට දවසේ රුපියලට කුමක් වෙයි ද? රුපියල තවත් ශක්තිමත් වෙයි ද? මේ ගැන යම් යම් අයට නොයෙකුත් උපකල්පන මත අදහස් හෝ මත ප්‍රකාශ කිරීමක් කළ හැකිය. මේ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගිය දා වරෙක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් ශක්තිමත් වීමට ඉඩ ඇති බවට අදහසක් පළ කර තිබිණි. ආනයන සීමා ඉවත් නොකරන අතරම, අයිඑම්එෆ් මුදල් කොටස් වශයෙන් ලැබීමත් ඒ සමග වෙනත් බහු පාර්ශවීය ආයතනවලින් සහ වෙනත් රටවලින් තවත් විදේශ මුදල් පහසුකම් ලැබීමට නියමිතව තිබීමත් නිසා ඉදිරියේ දී රුපියල ශක්තිමත් වනු ඇති බව අපට ද කිව හැකිය. මේ සඳහා විදේශ විනිමය ප්‍රේෂණ මුදල් ලැබීම වර්ධනය වීම සහ සංචාරක ආදායම් වර්ධනය වීම ද හේතු විය හැකිය. අපනයන ආදායම නම් ඉකුත් පෙබරවාරි මාසයේ සැලකිය යුතු අඩු වීමක් සිදුව තිබේ. මේ අතරම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට මහ බැංකුවේ මැදිහත් වීම ද එනම් ඩොලර් මිලදී ගැනීම සහ විකිණීම ද විනිමය අනුපාතය තීරණය වීමට බලපානු ලබයි. මේ නිසා විනිමය අනුපාතය තීරණය වන ඉල්ලුම් සහ සැපයුම් තත්ත්වයන්ට බලපාන සාධක බොහොමයක් තිබේ. ඒ සාධකවල විවිධ වෙනස්කම් මත අනාගත විනිමය අනුපාතයේ හැසිරීම (ඉහළ සහ පහළ යාම) ද තීරණය වනු ඇත. මේ පසුබිම තුළ මේ ලියුම්කරුගේ අදහස වන්නේ විනිමය අනුපාතිකයේ අනාගත හැසිරීම (ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙයිද නැත්නම් පිරිහෙයි ද යන්න) ගැන කිසිවෙකුටත් නිශ්චිතව පුරෝකථනය කළ නොහැකි බවයි. මහ බැංකුවෙන් ඇසුවත් ලබා දෙන්නේ මෙවැනි පිළිතුරකි.

● උද්ධමනයේ අඩුවීම

ගිය වසර (2022) පුරා සියයට 70 ක් පමණ දක්වා වේගයෙන් උද්ධමනය ඉහළ ගියේය. මෙරට උද්ධමනය මනින ප්‍රධාන මිල දර්ශක දෙක වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මෙන්ම ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ද උද්ධමනය වේගයෙන් ඉහළ යාම නිරූපනය විය. මහ බැංකුවට අවශ්‍ය වූයේ එය අධි උද්ධමනයක් දක්වා ගමන් කිරීමෙන් වළක්වා ගැනීමටයි. මේ අනුව මහ බැංකුව උද්ධමනය පාලනය කිරීමට විශේෂයෙන්ම පොලී අනුපාත සැලකිය යුතු ලෙස වැඩි කරන ලදි. එසේම ඒ සමගම අනුගමනය කළ අනෙකුත් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම් නිසා උද්ධමනය මර්දනය වීම ආරම්භ විය. මෙසේ සියයට 70 ක් පමණ දක්වා ඉහළ ගිය උද්ධමනය ගිය වසරේ ඔක්තෝබර් මස සිට ක්‍රමයෙන් අඩු වීමට පටන් ගත්තේය. එතැන් සිට මේ දක්වා මාසෙන් මාසය ක්‍රමයෙන් එහෙත් අඩු වේගයකින් උද්ධමනය අඩු වෙමින් පවතී. මහ බැංකුව අපේක්ෂා කරන්නේ මේ වසර (2023) අග වන විට උද්ධමනය තනි ඉලක්කමක මට්ටමට සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවයි. කෙසේ වෙතත් ඉදිරි මාසවලදී වේගයෙන් උද්ධමනය අඩුවනු ඇති බව පෙරේදා (04) මහ බැංකු මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය 2023 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 50.6 හි සිට 2023 මාර්තු මාසයේ දී සියයට 50.3 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යාම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද 2023 වසරේ දී උද්ධමනය පහළ යාමේ ප්‍රවණතාවට බොහෝදුරට අනුකූල වන බව මහ බැංකුව පවසයි. ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 පෙබරවාරි මාසයේ පැවති සියයට 54.4හි සිට 2023 මාර්තු මාසයේ දී සියයට 47.6 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 පෙබරවාරි මාසයේ පැවති සියයට 48.8හි සිට 2023 මාර්තු මාසයේ දී සියයට 51.7 දක්වා ඉහළ ගියේය. 2023 මාර්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස, සියයට 2.92ක් ලෙස වාර්තා විය. මෙයට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි මාසික ඉහළ යෑම වන අතර, එම දායකත්වය සියයට 3.71 කි. එහෙත් 2023 මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් මාසිකව සියයට 0.79කින් පහළ ගොස් ඇත. මූලික උද්ධමනය ද 2023 පෙබරවාරි මාසයේ පැවති සියයට 43.6 සිට 2023 මාර්තු මාසයේ දී සියයට 39.1 දක්වා පහළ ගොස් ඇත.

අපේක්ෂිත උද්ධමනය අඩුවීමේ ප්‍රවණතාව 2023 වසර පුරා අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙලෙස උද්ධමනය පහළ යෑම සඳහා බලපාන හේතු කිහිපයකි. මහ බැංකුව පවසන පරිදි එම හේතු වන්නේ දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් යටපත් වූ ඉල්ලුම් තත්ත්වයන්, මෑතකාලීන විනිමය අනුපාතිකය අතිප්‍රමාණය වීම මධ්‍යයේ ආහාර සහ බලශක්ති මිල ගණන් පහළ යෑම හා පහළ යන ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ගණන් දේශීය මිල ගණන් වෙත වඩාත් හොඳින් සම්ප්‍රේෂණය වීම, මෑත කාලීන ඉන්ධන මිල සංශෝධනවල වක්‍ර බලපෑම් සහ දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්ෂිත වැඩිදියුණු වීම්, මෙන්ම හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම ද වේ. මේ කියන පරිදි මේ වසර අග වන විට සියයට 5 කට පමණ උද්ධමනය අඩු වීමට නම් මීට වඩා වැඩි වේගයකින් උද්ධමනය අඩු වීම අවශ්‍ය වේ. මෑතකාලීනව සිදුකළ ඉන්ධන මිල අඩු කිරීම ඒ අනුව සිදුවන ප්‍රවාහන ගාස්තු ඇතුළු අනෙකුත් දේශීය මිල ගණන් අඩු වීම ද මේ සඳහා හේතුවනු ඇත.

● සංචාරක පැමිණීම්

මේ අතර ගිය වසරට (2022) සාපේක්ෂව සංචාරක පැමිණීම් වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. මේ වසරේ (2023) මුල් මාස තුනේම මෙරට සංචාරක පැමිණීම් ලක්ෂය ඉක්මවා ගියේය. ඉකුත් ජනවාරි මාසයේ විදෙස් සංචාරකයන් 102,545 ක් දෙනෙක් මෙරටට පැමිණ ඇත. එසේම පසුගිය පෙබරවාරි මාසයේ පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 107,639 කි.

පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 125ල945 ක් ද වේ. මේ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවල සඳහන් වේ. මේ අනුව 2023 වසරේ මේ දක්වා (මාර්තු 31 දක්වා) කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 335679 ක් වේ. මේ ප්‍රමාණය ගිය වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයින් ප්‍රමාණයෙන් හරි අඩකට පමණ ආසන්නය. එනම් ගිය වසරේ (2022) මෙරටට පැමිණි මුළු සංචාරකයින් ප්‍රමාණය 719978 කි. ගිය වසරේ (2022 ) මුල් මාස තුනේ පිළිවෙලින් 82327, 96507 ක් සහ 106500 ක් වශයෙන් ඉහළ සංචාරක පැමිණීමක් වාර්තා විය. ඉන් පසු ගිය වසරේ අප්‍රේල් මාසයේ සංචාරක පැමිණීම 62980 ක් දක්වා ද ඉන් පසු නොවැම්බර් මාසය දක්වාම වාර්තා වූයේ මසකට 50,000 කට වඩා අඩු සංචාරක පැමිණීමකි. ගිය වසරේ (2022) ඩොලර් හිඟය නිසා ඇති වූ තෙල් සහ ගෑස් හිඟය මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩවල පැවති හිඟ තත්ත්වයන් ඇතුළු ප්‍රවාහන දුෂ්කරතා යනාදිය මෙන්ම සිදු වූ අරගල ක්‍රියාමාර්ග, උද්ඝෝෂණ, විරෝධතා සහ ප්‍රචණ්ඩ සිදුවීම යනාදී සියලුම කාරණා, සංචාරක පැමිණීම් අඩු වීමට හේතු වූ බව රහසක් නොවේ. ඉදිරියේ දී මෙවැනි පරිසරයක් නැවතත් ඇති නොවී සංචාරක පැමිණීම් තවත් වර්ධනය කරගත හැකි නම් එය අපගේ විදේශ විනිමය අර්බුදයට ද විශාල සහනයක් ඇතිකරගත හැකි වනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment