ඉරුපාලෙයි ළමා නිවාස අතවර සිද්ධියේ – කළමනාකරු ඇතුළු තිදෙනා රිමාන්ඩ්

177

යාපනයේ, ඉරුපාලෙයි ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය ළමා නිවාසයේ කළමනාකාරවරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා රිමාන්ඩ් භාරයේ තබන ලෙස යාපනය අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

ආගමික ස්ථානයක් කේන්ද්‍ර කරගෙන පවත්වා ගෙන ගිය මෙම ළමා නිවාසයේ ළමයින් 16 දෙනකු සිට ඇති අතර ඔවුන්ට සිදුවන ලිංගික අතවර හා වෙනත් හිරිහැර නිසා ළමයින් තුන් දෙනකු ළමා නිවාසයෙන් පැන ගොස් පොලිසියට කරන ලද ප්‍රකාශයකින් පසුව එම ළමා නිවාසය පොලිසිය විසින් වටලා එහි කළමනාකාරවරයා, පාලිකාව හා කෝකියකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ළමා නිවාසයේ සිටියදී පොලිසිය හා ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් ළමයින් 13 දෙනකු බේරා ගෙන තිබූ අතර අධිකරණ නියෝගයක් මත එම ළමයින් පිරිස කිළිනොච්චියේ ක්‍රියාත්මක රජයේ ළමා නිවාස දෙකක් වෙත යොමු කොට තිබේ.

මෙම ළමා නිවාසයේ දරුවන්ට ලිංගික අතවර සිදුව ඇති බවට ළමයින් පොලිසියට කරන ලද ප්‍රකාශයක් නිසා ඔවුන්ව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට තිබේ.

මෙම ළමයින් යොදාගෙන ආගමක් පතුරුවා හැරීමේ වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක වෙමින් පැවැති බවට පොලිසියට හා ළමා ආරක්ෂණ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබේ.

ළමා නිවාසයේ තත්ත්වය හා දරුවන් පිළිබඳ වූ වෛද්‍ය වාර්තාවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment