දුම්බර නින්දගමක් කියලා අපේ වත්තක කිසිම වැඩක් කරන්න දුන්නෙ නෑ…
දුම්බර ප්‍රදේශවාසීන්

දුම්බර නැඳුන් විහාරයට අයිති නින්දගමක්, ඒ තුළ පෞද්ගලික ඉඩම් අයිතිකාරයෝ ඉන්න බෑ…
කිරිඇල්ල නැඳුන් විහාරයේ විහාරාධිපති හඳපාන්ගොඩ මහින්ද හිමි

ගමේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරපු සමහර අය අදටත් අතුරුදහන්…

අදටත් ඉඩම්වල මැනුම් කටයුතු කරන්න දෙන්නෙ නෑ…

පදිංචි ඉඩම්වල අයිතියක් නැති නිසා බැංකුවකින් ණයක්වත් ගන්න බෑ…

දැන් ගමේ ජීවත් වෙන්නෙ තුන්වෙනි, හතරවෙනි පරම්පරාවල මිනිස්සු…

නින්ද ගමක් හින්දා හද්ද දුක් විඳින දුක්බර දුම්බර අලකලංචිය

මන්දාරම් අඳුරින් වෙළාගත් ‘මිණිපුර දුම්බර’ සුන්දර ගම්මානයකි. සංචාරක පරාදීසයක් වූ ඇල්ලට එහා ගිය සුන්දරත්වයක් දුම්බරින් විද්‍යාමාන වන බව සැබෑය. දුම්බර කඳු මුදුනින් ගලා බසිනා දිය දහරා මහ ගල් පර්වත උඩින් කඩා හැළෙන සුන්දරත්වය, උස් කඳු මුදුන්වල මෙන්ම, බෑවුම්වල පිහිටි විසල් තේ වතු දැස් හී රැදෙනවිට, හුළං කවුළුවලින් හමා එන සීතල වාතය ගත තුරුලු කර ගන්නාවිට කන්ද උඩරට සීතල පරිසරයේ සිටින බවක් ගතට මෙන්ම සිතට ද දැනිණි. එහෙත් ‘මිණිපුර දුම්බර’ කන්ද උඩරට නොවේ. රත්නපුර දිස්ත්‍රික්කයේ, කලවාන මැතිවරණ කොට්ඨාසයේ, අයගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කුකුළු කෝරළයේ කළු ගඟට මායිම්ව පිහිටි රමණීය උස් බිමකි. ග්‍රාම සේවා කොට්ඨාස හතරකින් සමන්විත, ඉඩම් අක්කර 8317 පර්චස් 25 ක වපසරියකින් යුත් පවුල් තුන්දාහස් ගාණක් ජීවත් වන විශාල ගම්මානයකි.

මේ විසල් ගම නිර්මාණය වී ඇත්තේ ‘දුම්බර මිනිරන් පතලේ’ ආරම්භයත් සමග බව ඉතිහාසයේ මෙන්ම ජනප්‍රවාදයේ ද කියැවේ. දැන් අප සිටිනුයේ ලොව සුපතළ දුම්බර මිනිරන් පතලේ දෝනා සංකීර්ණය සහිත පහළ පොළය. පතලේ ප්‍රධාන කාර්යාලය අසලය. ගරා වැටී ඇති ඒ පුංචි කාර්යාලය දැන් නම් චිත්‍රපටවල පෙන්වන භූත බංගලාවක් වැනිය. අවට පරිසරය ද අන්ධකාරය. තේ වතු, රබර් වතු, කුඹුරු ඉඩම් සහ එළවළු කොරටු සහ වටිනා ගහකොළවලින් ස්වයංපෝෂිත වී තිබුණ ද ඒ ගමේ ජීවන තත්ත්වයේ දියුණුවක් නොපෙනේ. දුම්බර ගමේ මිනිසුන් ද කළඑළියට නැත. ඔව්හු සම්පත් ආකාරයක් මත අතරමං වී සිටින බවක් පෙනේ. එහි යථාර්ථය පැහැදිලි කිරීම සඳහා දුම්බර ගමේ මිනිස්සු කිහිපදෙනෙක් ගරා වැටී අබලන් වූ දුම්බර මිනිරන් පතලේ ප්‍රධාන කාර්යාලය අසලට එක්රොක් වී සිටීයහ. ඔවුන් අතරින් දුම්බර පතලේ දැනට සිටින හිමිකරු සරත් චන්ද්‍රකුමාර ඉදිරියට පැමිණියේය. වැහැරුණු ඒ මිනිස් කය දකිනවිට මිනිරන් පතලක හිමිකරුවෙක් යැයි සිතීමට නොහැකි තරම්ය. එහෙත් ඔහු පවසන කරුණු, ඉදිරිපත් කරන ලිඛිත සාක්‍ෂි අනුව හේ දුම්බර පතලේ හිමිකරු බව විශ්වාස කළ හැකිය. සරත් චන්ද්‍රකුමාර දුම්බර මිනිරන් පතලේ ඉතිහාසයෙන්ම පෙළගැසෙන කතාවට ප්‍රවිෂ්ට විය.

‘1800 ගණන්වල දුම්බර මිනිරන් පතල් කර්මාන්තය ආරම්භ කරල තියෙන්නේ දකුණු පළාතෙන් පැමිණි ගිරොණිස් අප්පුහාමි. පස් පතල් කරගෙන යනකොට ගම්වාසීන් අතර හටගත්ත ආරවුල් අතර පිහියකින් ඇනලා ගිරොණිස් අප්පුහාමිව මරා දාලා තියෙනවා. ඊට ටික කාලයකට පස්සෙ අපේ සීයා (අම්මගෙ තාත්තා) මෙරට ක්‍රියාත්මකව පැවැති ඉන්දීය මිනිරන් සමාගමක අධ්‍යක්‍ෂ කෙනෙක් විදිහට මේ ගමට ඇවිත් දුම්බර මැදපොළ ගමේ පදිංචි වෙලා මහා පරිමාණයෙන් මිනිරන් කැණීම් ආරම්භ කරලා තියෙනවා. ඒ කාලෙත් එක වැඩ මුරයකට සේවකයෝ සීයක් විතර වැඩ කරලා තියෙනවා. දෙවන ලෝක යුද්ධයත් සමග මිනිරන්වලට තිබුණු ඉල්ලුම අඩු වෙලා පතල් කර්මාන්තය නතර වෙලා තියෙනවා. අපි ජීවත් වෙන මේ ගෙදර තමයි මිනිරන් පතලේ කාර්යාලය විදිහට පාවිච්චි කරලා තියෙන්නෙ. දැන් නම් මේ ගෙදර ජීවත් වෙන්න බෑ. හොඳටම අබලන්. ඒත් මමයි, පුතයි මේ අබලන් ගෙදරට වෙලා ඉඩම් ආරක්‍ෂා කරගෙන ඉන්නවා. දුවයි, නෝනයි නුවර ජීවත් වෙනවා. දුවට ඇවිඳින්න බෑ. රිය අනතුරකට ලක්ව අබ්බගාත තත්ත්වයට පත් වුණා. අපිට ලොකු ආදායම් මාර්ග නෑ. ගොඩක් අසරණයි. ඒත් දුම්බර මිනිරන් පතලේ දෝනා මණ්ඩිය තියෙන්නෙ අපේ ඉඩම්වල. දෝනා දෙකක් තියෙනවා. ඒ දෙකේම අයිතිකරු මමයි. දෝනා සංකීරණ ඉඩම කියලා ප්‍රවේණී ඔප්පුවකුත් තියෙනවා. ඒත් මේ ගමේ ජීවත් වෙන බහුතරයකට පදිංචි ඉඩම්වලට ඔප්පු නෑ…” දුම්බර පතලෙ දෝනා සංකීර්ණයේ අයිතිකරු වැටී සිටින අසරණ තත්ත්වය දුටු විට හදවත කම්පනයට පත් විය. මොහොතකට මම කතාව නතර කළෙමි.

හොරණ – රත්නපුර මාර්ගයේ ඇල්ලෙ දේවාලය අසලින් කළු ගඟ හරහා වැටුණු යකඩ පාලමෙන් එගොඩ වී පටු මාර්ගය ඔස්සේ දකුණු දෙසට ඉහළට ගමන් කරනවිට පහළ පොළගම හමු වේ. එම ගම මැදින් වැටුණු කොන්ක්‍රීට් මාර්ගය ඔස්සේ දකුණු දෙසට පහළට ගමන් කරනවිට සරත් චන්ද්‍රකුමාර ජීවත් වන අබලන් නිවස හමු වේ. එකී කොන්ක්‍රීට් මාර්ගය අවසාන වෙන්නෙ ද එම නිවස අසලෙනි. එම නිවස අසලින් ඉහළට කන්ද පුරා මිනිරන් පතල් හතළිහකට වඩා තිබේ. ඒ සියලු පතල්වල එක්රැස් වන ජලය බැස යන්නෙ සරත් චන්ද්‍රකුමාරලාගේ දෝනා දෙකෙනි. දැන් එම දෝනාවලින් ගලනුයේ ජලය පමණි. මිනිරන් ඇඳීමට කර්මාන්තයක් සිදු නොවේ. සරත් චන්ද්‍රකුමාරගේ කතාවට ටී. ජී. ආරිසේනගේ ද හීන් ස්වරයෙන් අඩු වැඩි එකතු කළේය.

නින්ද ගමක් හින්දා හද්ද දුක් විඳින දුක්බර දුම්බර අලකලංචිය

“මම මේ ගමේ ඉපදුණේ 1954 අවුරුද්දෙ මාර්තු මස 02 වැනිදා. අපිට තේරෙන කාලෙ ඉඳලා පදිංචිය සම්බන්ධයෙන් මේ ගමේ මිනිස්සුන්ට විවිධාකාර ප්‍රශ්න තිබුණා. දුම්බර ගම කිරිඇල්ල නැඳුන් විහාරයේ නින්දගමක් කියලා අපේ වත්තක කිසිම වැඩක් කරන්න දුන්නෙ නෑ. අඩුම තරමින් අපේ අවශ්‍යතාවයකට වත්තක ගහක්වත් කපන්න දුන්නෙ නෑ. ඒත් මේ අත් දෙකෙන් කෝටි පහක ලී මම පන්සලට කපා දීලා ඇති. නැඳුන්, කොස් වටිනා ගස්වලින් මේ දුම්බර පිරිලා. එක වත්තක කොස්ගස් දහතුනක් කපලා දුන්නා. මහා අපරාධ. ඒ වගේම නැඳුන් විහාරයේ නායක හාමුදුරුවෝ තුට්ටු දෙකට අපේ ගමේ අක්කර ගණන් ඉඩම් ව්‍යාපාරිකයන්ට විකුණලා සල්ලි ගත්තා. කිසිම ලියවිල්ලක් දෙන්නෙ නෑ. ඒත් ඕවා ගැන කතා කරන්න බයයි. අපි දරු පවුල්කාරයෝ. නඩු හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ, පොලිසියත් හාමුදුරුවන්ගෙ. කිරිඇල්ල පොලිසිය ක්‍රියාත්මක වෙන්නෙත් නැඳුන් විහාරයේ නායක හාමුදුරුවන්ට ඕන විදිහට. පහුගිය කාලේ ගම තුළ මහා භීෂණයක් ක්‍රියාත්මක වුණා. ගමේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන අයට රෑ හතෙන් පස්සෙ ගෙවල්වල ඉන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණා. ගමේ සමහර අය අදටත් අතුරුදහන්. ඒ දරු පවුල් නන්නත්තාරයි…” ටී. ජී. ආරියසේනගේ හීන් හඬ පරයමින් ජවසම්පන්න ගැඹුරු කටහඬක් ඉස්මතු විය. ඒ හඬ ප්‍රියන්ත අනුර කුමාරගේය. 51 වැනි වියෙහි පසුවන දුම්බර ගම නිදහස් කරගැනීමේ සටනෙහි පෙරමුණේ සිටින සමාජ ක්‍රියාකාරියෙකි. මේ ඔහු කියන කතාව ය.

“ගම තුළ ක්‍රියාත්මක වෙමින් තිබුණු භීෂණය තරුණයන් විදිහට බලා ඉන්න බැරි වුණා. ගමේ සියලුදෙනාගේ එකමුතුකමින් අපි සංවිධානයක් පිහිටුවා ගත්තා. අපේ ඉඩම්වල අයිතිය ඉල්ලගෙන 2012 අවුරුද්දේ ග්‍රාම සේවා වසම් හතරෙම මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණ කළා. කඳුළු ගෑස්, ජල පහර කන්න වුණත් අපේ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලැබුණා. ඉඩම් අමාත්‍යාංශය හරහා කමිටුවක් පත් කරලා දුම්බර දේපළවල උරුමය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වුවා. එම පරීක්‍ෂණයේ දී නැඳුන් විහාරයේ නායක හාමුදුරුවන්ට සන්නස කියන එක ඔප්පු කරගන්න බැරිව ගියා. අන්තිමේ දුම්බර දේපළ ගම්වාසීන්ගේ පරවේණි දේපළක් බව එම පරීක්‍ෂණ කමිටුව විසින් තීරණය කළා. ඒ වගේම කඩිනමින් ඉඩම් නිරවුල් කරලා දුම්බර ගම්වාසීන්ට නීත්‍යානුකූල අයිතිය ලබාදෙන්න කියලා බිම් සවිය වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒත් ඉඩම් මැනුම් කටයුතු කරනකොට මැරයො ඇවිත් ඒවා කඩාකප්පල් කරනවා. ඇතැම් රාජ්‍ය නිලධාරීන් බාධා කරලා මැනුම් කටයුතු යට ගහනවා. ඒත් ගමක් විදිහට අපි එකතු වෙලා දුම්බර ග්‍රාම සේවා වසම් හතරේ පදිංචි පවුල් 60%කට විතර පදිංචි ඉඩම්වලට ඔප්පු හදාගත්තා. ගමේ තිබුණු භීෂණකාරී බව මර්දනය වෙලා තියෙනවා. ඒ වගේම මේ රටේ ඉඩම් වර්ග තුනක් තියෙනවා. රජයට අයිති ඉඩම්, විහාර, දේවාලගම් සන්තක ඉඩම්, පෞද්ගලික පරවේණි දේපළ. දුම්බර ඉඩම් පරවේණි දේපළක්. ඒක අයිති ප්‍රදේශවාසීන්ට. ඒ වගේම 1968 අවුරුද්දෙ ලංකාවේ නින්දගම් අහෝසි කරලා තියෙනවා. අපි කතා කරන්නෙ සාක්‍ෂි සහිතවයි…” පනත් කෙටුම්පත් සහිතව ප්‍රියන්ත කුමාර දුම්බර ඉඩම් අයිතිය ගැන අපට පැහැදිලි කළේය. එමෙන්ම ඔව්හු දුම්බර ගමේ විහාරස්ථාන දෙකකට ද අපව කැඳවාගෙන ගියහ. ඒ යනෙන මඟ දී අපට ආර්. ඒ. පියදාස මුණගැසිණි. වයස අවුරුදු 83ක් වන හේ දුම්බර ගමේ ජීවත්වන පැරැණිතම ගම්වැසියෙකි. අහන ප්‍රශ්නයට පමණක් පිළිතුරු දුන් ඔහු දුම්බර මිනිරන් පොළවල් හැදුණු හැටි අපට පැහැදිලි කළේය.

“ඒ කාලේ මිනිරන් ඇඳලා තියෙන්නෙ මිනිස්සුන්ගේ කරමතින්. පහළ පොළ දෝනාවලින් එළියට ගන්න මිනිරන් කණ්ඩායමක් මැදපොළට ගේනවා. මේ ඉසව්වට තමයි මැදපොළ කියන්නෙ. මෙහේ ඉඳලා තව කණ්ඩායමක් ඒ මිනිරන් ටික ඉහළ පොළට කරතියාගෙන යනවා. එතැනින් කැටේපොළට රැගෙන යන්න තව කණ්ඩායමක් ඉන්නවා. කැටේපොළ දී මිනිරන් ගුලි කරලා මහා ඇළ දිගේ එගොඩට ප්‍රවාහනය කරනවා. එතැනට වෙනකම් ප්‍රවාහනය මිනිසුන්ගේ කරමතින්. ඒ කාලේ දුම්බර ගම ම කර්මාන්තපුරයක්. දැන් නම් පාළු සොහොන් පිට්ටනියක් වගෙයි. ඒ සන්ධීය ගැන මතක් වෙනකොට අපිට දුක මේ ගමේ තරුණ පරපුර ගැන…” දුම්බර අතීතය වර්ණනා කරන පියදාස වර්තමානය ගැන දුක් විය. දුම්බර අතීත විත්ති ගැන ඔහුගෙන් විමසා බැලීමට තව බොහෝ දේ තිබේ. එහෙත් දුම්බර පුරාණ විහාරයේ විහාරාධිපති වජිරබුද්ධි නායක හාමුදුරුවෝ ඓතිහාසික බුද්ධ ප්‍රතිමා වහන්සේනමක් වන්දනා කරවීමට අපව බුදුගෙට කැඳවාගෙන ගියහ.

නින්ද ගමක් හින්දා හද්ද දුක් විඳින දුක්බර දුම්බර අලකලංචිය

“කිරිගරුඬ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කරලා තියෙන්නෙ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන එනකොට වැඩම කර වූ කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ හතරනමෙන් එක නමක් තමයි මේ වැඩ සිටින්නෙ. ඒ වගේම මිනිරන්වලින් නිර්මාණය කර පූජා කරන ලද බුදුපිළිම වහන්සේ දෙනමක්, චෛත්‍ය වහන්සේනමක් මේ ස්ථානයේ වැඩ සිටිනවා. මේ විහාරස්ථානය තමයි දුම්බර පැරැණිතම විහාරස්ථානය. 17 වැනි සියවසේ ඉඳලා පැවැත එන විහාරස්ථානයක්. නැඳුන් විහාරයට මේ ගමේ කිසිම අයිතියක් නෑ. ඔය නින්දගම් කතා බොරු. ගමේ මිනිස්සු බය කරගෙන, බදු අය කරගෙන ගියා. ඒකට රජයෙනුත් විශාල සහයෝගයක් ඒ ඇත්තන්ට ලැබුණා…” උපසම්ප්‍රදාවත් සමග සියම් දේශයෙන් මෙරටට වැඩම කර වූ කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳපුදා ගැනීමට ලැබීමේ අසිරිමත් අවස්ථාවෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් වූ අප පුරාණ දුම්බර විහාරයෙන් පිටත් වී දුම්බර ගම මැදින් තවත් විහාරස්ථානයකට ගමන් කළෙමු. දුම්බර සිංහල විද්‍යාලය, දෙමළ පාසල, වත්තෙ බංගලාව, වතු නිවාස ආදී විවිධ ස්ථාන පසු කරගෙන ගමන් කරන අපට වල්වැදී ගිය විසල් තේ වතු, මහ කැලයට යට වූ රබර් වගාව දකිනවිට නම් හදවත පාළු විය. පරිපාලනයක් නොමැති දුම්බර ගමේ විනාශය සුළු පටු නැත. එම විනාශයට වගකිවයුත්තේ නැඳුන් විහාරය බව දුම්බර මානාන විහාරස්ථයේ දී අපට හමු වූ ප්‍රදේශවාසීහු ද පැහැදිලි කළහ. මේ පෙළගැසුණේ ඔවුන්ගේ පොදු හඬය.

“මේ විහාරස්ථානය හදනකොටත් නැඳුන් විහාරයෙන් තහංචි දැම්මා. ඒවා මැඬගෙන අපි පන්සල හැදුවා. ගමේ මිනිස්සුන්ට වැඳුම්, පිදුම් කරන්න විහාරස්ථානයක් තියෙන්නෙ ඕනෑ. අපේ ළමයින්ට දහම් අධ්‍යාපනය ලබාගැනීමට දහම් පාසලක් තියෙන්න ඕනෑ. දැන් දහම් පාසල කරගෙන යනවා. මේ විහාරස්ථානයේ භික්‍ෂූන්වහන්සේ වැඩ ඉන්නවා. ඒත් තාම නඩු කියනවා. කාලයක්ම අපි නැඳුන් විහාරයට බදු ගෙව්වා. අවුරුදු දහයක විතර කාලයක ඉඳලා දැන් නම් බදු ගෙවන්නෙ නෑ. දුම්බර ග්‍රාමසේවා වසම් හතරේම මිනිස්සු නැඳුන් විහාරයේ තහංචි හුටපට නිසා පුදුම විදිහට පීඩාවට පත් වෙනවා…” ඔවුන්ගේ පපු තුරුලේ දැවෙන පීඩනය තවදුරටත් වචන විය. එහෙත් පෙළගැසෙන සටහනට ඒ සියලු වචන බර වැඩි විය.

හෝරා කිහිපයක් දුම්බර ගම වටා ගමන් කරමින් ඒ මන්දාරම් පරිසරයේ මිහිරියාව විඳගත්තා සේම, උපන්දා සිට ඒ ගම්වාසීන් දැවෙන අනේකවිධ ප්‍රශ්න අසා ඉහමොළ තෝන්තු වූ බව ද සැබෑය. දුම්බර ගම්මුන්ගේ ගැටලු වැල ද තව දිගය. ඒ පීඩිත මිනිසුන් පවසන ආකාරයට එම ගැටලු වැලේ මුල කිරිඇල්ල නැඳුන් විහාරය බව ද හැඟේ. එහෙයින් දුම්බර මිනිසුන්ගේ ප්‍රශ්න පත්තරයෙන් ගැටලු කිහිපයක් නැඳුන් විහාරයේ විහාරාධිපති හඳපාන්ගොඩ මහින්ද හාමුදුරුවන්ට අපි ඉදිරිපත් කළෙමු. පහතින් පෙළගැසෙනුයේ අපේ පැනයන්ට උන්වහන්සේ ලබාදුන් පිළිතුරුය.

දුම්බර ගමේ මිනිස්සුන්ට ඔබවහන්සේ හිංසා කරනවා කියලා චෝදනාවක් තියෙනවා…?

‘මම කරන හිංසා, පීඩා මොනවද කියලා ඒ අයගෙන්ම අහන්න ඕන…’

දුම්බර ගමේ මිනිස්සු පදිංචි ඉඩම්වල වගාවක් කරන්නවත් ඔබවහන්සේ ඉඩ දෙන්නෙ නෑ කියනවා…?

නින්ද ගමක් හින්දා හද්ද දුක් විඳින දුක්බර දුම්බර අලකලංචිය

‘ඔය ඇති වෙන්න වගා කරලා තියෙන්නෙ. තව මොනව වගා කරන්නද…’

ඇත්තටම හාමුදුරුවනේ දුම්බර ගම පන්සලට අයිති නින්දගමක් ද?

‘ඔව්… නින්දගමක් නෙමෙයි නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා ගැසට් එකක් ගහලා ගනීද? 1931 රජයේ ගැසට් එකක් ගහලා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පරිපාලනය කරනවා…’

දුම්බර නින්දගමක් විදිහට දීලා තියෙන්නෙ කවුද?

‘නුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තමයි නැඳුන් විහාරයට නින්දගමක් විදිහට දීලා තියෙන්නෙ. ඒ පිටපත නින්දගමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය, දිසා අධිකරණය පවා නඩු තීන්දුවකින් පිළිගෙන තියෙනවා…’

ඔබවහන්සේ දුම්බර මිනිරන් පතල කරන්න දෙන්නෙ නෑ කියලා ඒ පතලෙ හිමිකරු චෝදනා කරනවා…?

‘කවුද හිමිකරු…’

‘සරත් චන්ද්‍රකුමාර…’

‘එයාට මොන අයිතිකයක්ද මහත්තයෝ… නින්දගම නැඳුන් විහාරයට නම් ඒ තුළ පෞද්ගලික ඉඩම් අයිතිකාරයෝ ඉන්න බෑ. ඔය මිනිස්සු කියන කතා වැඩක් නෑ…’

සුන්දර පරිසරයක පිහිටි දුම්බර වත්ත අභාවයට යන එක මහා අපරාධයක් නේද හාමුදුරුවනේ…?

‘දුම්බර ඉඩම්, ගමේ මිනිස්සුන්ට අයිති දේපළක් කියලා ප්‍රදේශවාසීන් නඩුවක් දාලා තියෙනවා. අධිකරණය නඩුවක් විභාග වෙනකොට දුම්බර වත්ත බදු දෙන්න බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය දෙන්නෙ නෑ…’

දුම්බර ප්‍රදේශවාසීන්ගේ දුක්ගැනවිල්ල සේම කිරිඇල්ල නැඳුන් විහාරයේ විහාරාධිපති වහන්සේ අපේ ප්‍රශ්නවලට ලබාදුන් පිළිතුරු සම්බන්ධයෙන් අපට අවබෝධයක් තිබේ. සිහිබුද්ධියෙන් යුක්තව කතාව කියවන ඔබට ද දුම්බර ගැටලුව සම්බන්ධයෙන් අවබෝධයක් ලැබී ඇති බව අපගේ විශ්වාසයයි. එහෙත් ඔබට, අපට තේරුම් යන දුම්බර කඳුළු අන්දරය මේ රටේ බලධාරීන්ට සහ අදාළ නිලධාරීන්ට තේරුම් නොයෑම පුදුමයකි. එය බුද්ධි හීනතාවයේ ගැටලුවකි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment