ඉතාලියේ වෙසෙන දිරිය දියණියකගේ කතාවක්

වර්තමාන සමාජය තුළ ‘කාන්තාව’ නමැති භූමිකාවට හිමි වනුයේ ඉතා ප්‍රබල ස්ථානයක්. නමුත් මේ භූමිකාව පහසු නොවන භූමිකාවක්. නිවසක් තුළ කාන්තාවකට පැවරී ඇති කාර්ය භාරය සුළුපටු නොවෙයි. ඇය නිවසේ අත්තිවාරම වැනිය. තම නිවස තුළ මේසා විශාල කාර්ය භාරයකට උරුමකම් කියනා කාන්තාව සමාජ සුබ සිද්ධිය උදෙසා කෙරෙනා සමාජ සත්කාර ක්‍රියාකාරකම්වලට තම දායකත්වය දීම ඉතා විරලය. එවන් පසුබිමක තම පවුල් සංස්ථාව ද රැකගනිමින් ඒ වගකීම් ද මනා ලෙස ඉටුකරමින් යහපත් ගෘහණියක් ද වෙමින් ඒ හා සමානවම සමාජ සුබසිද්ධිය උදෙසා සිදුකරන්නාවූ ක්‍රියාකාරකම්වලට ද සහය දෙන්නාවූ චරිත සුවිශේෂීය. එවන් චරිත සමාජයට විශේෂිත වූ චරිත ලෙස හැඳින්විය හැක. මේ එවන් සුවිශේෂී චරිතයකි.

ඇය දේශබන්ධු ආචාර්ය සජානි ජයසිංහ මහත්මිය.

මීගමුව නිවුස්ටෙඩ් බාලිකා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබන ඇය උසස් අධ්‍යාපනය ලබා ගනුයේ කොළඹ ඇමරිකානු විද්‍යාලයෙන් හා කොළඹ විශ්වවිද්‍යාලයෙනි.

පුහුණු ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස වයස අවුරුදු 24දී ගුරු වෘත්තියට ඇතුළු වන ඇය “දුර්වල ළමයිව ගොඩ දාලා දෙන ටීචර්” ලෙස ඈ සේවය කළ පාසල් වටපිටාවන්හි කතාබහට ලක්විය. මේ පිළිබඳව ඇයගෙන් විමසූ විට ඇය පැවසුවේ මෙවැන්නකි.

“දුර්වල ළමුන් කියා කොටසක් නැති බවත් දරුවන්ට සංකීර්ණ යැයි සිතෙනා කරුණු දරුවා තේරුම් ගන්නා තුරු පහදා දීම ඇය සතුටින් කළ බවත් එහිදී දරුවන්ගේ ප්‍රගතිය දකින වාරයක් උදෙසාම මුළුගැන්වී සිටින දරුවන් ඉදිරියට ගේන්න ඇයට ධෛර්ය ලැබුණා. එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සේවය කරන කොටත් එම දරුවන්ගේ දක්‍ෂතා අප දකිනවා. ඇය කීවාය.

මුළු කාලසීමාව තුළම ඇය විසින් දරුවන් සඳහා නොමිලේ පවත්වන ලද ඉංග්‍රීසි භාෂා කථන පංතියක් ද විය. එය ඇගේ සමාජ සත්කාරයන්හි මූලාරම්භය ලෙස හැඳින්විය හැක.

විවාහයෙන් පසුව විදෙස්ගතවූ ඇය එහිදී ද රැකියාව සඳහා තෝරා ගනුයේ ගුරු වෘත්තියයි. ළමා නිවාස පිළිබඳව හා ඉගෙනුම් උපකාර අවශ්‍ය දරුවන් කෙරෙහි වැඩි අවධානය යොමු කළ ඈ එම දරුවන්ට පිහිට වීමේ අරමුණෙන් ‘ෂාලොම් – අල්ෆා’ පදනම ‘සාමයට ආරම්භයක්’ යන තේමාව යටතේ ආරම්භ කරනු ලැබීය.

එම වකවානුව තුළදී මනෝ විද්‍යාව විෂය හදාරන්නට පෙළඹෙන ඈ ඉතාලි විශ්වවිද්‍යාලයට සමාන්තරව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබයි. විශ්වවිද්‍යාල අවසන් විභාග සඳහා පෙනී සිටින වකවානුවේදී ඇය දරු දෙදෙනකුගේ මවක් ද වන බව ඇය පැවසුවේ සිනාමුසු මුහුණෙනි.

‘උදේට ඉස්කෝලේ උගන්වලා හවස ටියුෂන් දීලා බබාලගේ වැඩත් කරගෙන රෑට පාඩම් වැඩත් කළා.”

“මං ඒ පහුකරපු කාලය මට ඉතාම අපහසු කාලපරිච්ඡේදයක් වුණා. කාලය කළමනාකර ගැනීම, කරන හැම වැඩක්ම නිවැරැදිව කිරීම කියන කටයුතු දෙකම සාර්ථකව කර ගන්න මට ඕනා වුණා. ඇත්තටම කොච්චර අපහසු වුණත් මට මං ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මං මගේ ඉලක්කයට යනවාමයි කියන විශ්වාසය 100% මං ළඟ තිබ්බා. වර්තමානයේ මට සිදුවෙන අපහසුතාවය අනාගත ආයෝජනයක් ලෙස දෙගුණ වෙලා මට ලැබෙනවාමයි කියලා මං විශ්වාස කළා. ඒ විශ්වාසය මට ප්‍රතිඵල ලබා දුන්නා ඒ නිසා අද මං Senior Counselor and therapist කෙනෙක් විදිහටත් සමාජයට සේවය කරනවා.

සැඟවුණ ගැහැනිය සොයාගත යුත්තේ ඇයමයි

මෙහෙ winter එකට එන Stress එකට සමහර වෙලාවට මං ලෙඩ වුණා. උදව්වට කියලා හිටියේ husband විතරයි. සමහර කාලවලදී දෙන්නම එකම කාලෙදි ලෙඩ වෙනවා. අපි ඒ හැම දෙයක්ම දරාගත්තා. මට අවශ්‍ය වුණු ඊළඟ කාරණාව වුණේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා ඉගැන්වීමේ කටයුතු කරන්න හදාරන්නයි. ඉතින් ඒ අරමුණෙන් විශේෂ අධ්‍යාපන උපාධියක් කළා. මේ සමග මට මං බලාපොරොත්තු වුණු ආකාරයටම සමාජයට සේවය කිරීමට ලොකු අවස්ථාවක් විවර වෙලා තියෙනවා.

මං මං ගැන හරිම තෘප්තිමත්. මට ලස්සන Family එකක් තියෙනවා. මං හිතනවා මං හොඳ ගෘහණියක් ද වෙනවා කියලා. මගෙ මහත්තයා ටිරෝන් ඉන්දික සේවය කරන්නෙ ඉතාලියේ එයා මට නිදහස දීලා තියෙනවා මං කැමති විදිහට මගේ සමාජ සේවා කටයුතු කරගෙන යන්න. එයාට හොඳ තේරුම් ගැනීමක් තිබීමත් මට ශක්තියක් වෙනවා. මගේ කටයුතුවලට. ඉතින් මං සෑම කාන්තාවකටම කියනවා ඔබ තුළ ඇති ශක්තිය හඳුනාගෙන එය ඔබට හා සමාජයට යහපතක් වන්නා වූ කුමන හෝ කටයුත්තක් සඳහා යොදවන්න කියලා.

ඒ තුළින් ඔබේ පෞරුෂය වඩ වඩා ඔප්නැංවේවි. එවිට ඔබ නමැති කාන්තාව සමාජයේ බැබලේවි. අපි හැමෝටම පුළුවන්. බාධක ඒවි. නමුත් ඔබේ ශක්තිමත් හීන ඉදිරියේ බාධක පැරදේවි ඇය කීවාය. සජනි එපමණක් නොවන පොත් කිහිපයක්ම ලියූ දිරිය යුවතියක ද වෙනවා. ඉතාලි අම්මා, සුදු පුතේ නුඹ මගේ නම්, මගේ දුවේ නුඹටමයි මේ ඇය ලියූ එම පොත් වේ. ඇය ශ්‍රී ලංකා මනෝවිද්‍යා උපදේශකවරුන්ගේ සංගමයේ මනෝ උපදේශිකාවක් වෙනවා. එමෙන්ම ඇය දේශබන්දු සම්මානයෙන් ද ඉකුත්දා පිදුම් ලැබුවා.

ඇය එරට බ්‍රිටිෂ් කවුන්සිල් හි ගුරුවරියක ලෙසත් සිලෝන් කැම්පස් නම් පුද්ගලික සරසවියේ ඉතාලි නියෝජිතවරියද ලෙස කටයුතු කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment