නැගෙනහිර ඉඩම් කොල්ලකන අන්තවාදී සැලසුම්

807

නැගෙනහිර බලය ප්‍රදේශයේ දේශපාලකයන් අතට

වැව් ගොඩ කර ලංසු තබයි

කලපු ගොඩකර ගොඩනැගිලි ඉදි කරයි

වසර තිහකට ආසන්න කාලයක් යුද්ධයේ අමිහිරි අත්දැකීම් සමග ජීවත් වූ නැගෙනහිර සිංහල ජනතාව වරින්වර තම උපන් ගම් බිම් හැර යන්නේ තම තමන්ගේ ජීවිත ආරක්ෂාව පිණිසය. දැන් එහි යුද්ධයක් නැත. කලක් තිස්සේ පැවති යුද්ධය නිමාවත් සමඟ නැවත සිය උපන් ගම් බිම් බලා පැමිණෙන ඔවුන් හට නැවත යුද්ධයකට මුහුණ දීමට සිදුවන්නේ තම පාරම්පරික ඉඩකඩම් ආදියේ අයිතිය තහවුරු කර ගැනීමට යෑමත් සමගය. ඊට හේතුව බවට පත් වන්නේ එම ප‍්‍රදේශය යුද්ධය විසින් සුන්බුන් ගොඩක් බවට පත්කොට තිබීමය. එබැවින් නැගෙනහිර පළාතට අයත් බොහෝ ප‍්‍රදේශවල දකින්නට ලැබුණේ යුද්ධයට පෙර පැවති තත්ත්වයට වඩා මුළුමනින්ම වෙනස් භූමි ලක්ෂණ සහිත වටපිටාවක්ය. කෘෂිකර්මය මුළුමනින්ම බිඳ වැටී තිබීම හේතුවෙන් වගා බිම් පාළුවට ගොස් තිබූ අතර වැව් අමුණු ඇළවේලි ආදිය පැවතුනේ මුළුමනින්ම පිළිසකර කළ යුතු මට්ටමකය. එබැවින් එවකට පැවති රජය විසින් යුද්ධය සුන්බුන් ඉවත් කිරීම පිණිස නැගෙනහිර පළාත කේන්ද්‍ර කොට ගනිමින් විවිධ ව්‍යාපෘති රාශියක් ක‍්‍රියාත්මක කරන ලදී. ප‍්‍රදේශ තුළ ජනතාව නැවත පදිංචි කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය.

ඒ අනුව සිංහල, දමිල, මුස්ලිම් භේදයකින් තොරව එහි පදිංචියට යන අතර ගැටලූව නිර්මාණය වන්නේ ඉන් අනතුරුවය. මෙම ලිපියේ අරමුණ නැගෙනහිර උද්ගත වෙමින් පවතින තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු රට හමුවේ හෙළිදරව් කර සිටීමය. ඒ අනුව නැගෙනහිර ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක ඉඩම් කොල්ලය සහ එහි වත්මන් මුහුණුවර පිළිබඳව පාර්ශ්ව කිහිපයක් මුල්කරගනිමින් ලබා ගත් කරුණුවලට අනුව මෙම හෙළිදරව්ව සිදු කිරීම අපගේ අරමුණ විය. ඒ සඳහා රජයේ නිලධාරීන් කිහිපදෙනකු සම්බන්ධ කර ගැනීමට අවස්ථා කීපයක දී උත්සාහ කළ ද කුමන හෝ හේතුවක් මත උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ පිළිබඳ අදහස් පළ කිරීමෙන් වැළකී සිටීමට ඔවුහු කටයුතු කළහ. මේ සම්බන්ධව ජනතාවගේ පැත්තෙන් අදහස් දැක්වීම පිණිස කිහිප දෙනෙක් ඉදිරිපත් විය. එහිදී නොබියව තම අදහස් පළ කළ පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් සඳහන් කර සිටියේ නැගෙනහිර පළාත කේන්ද්‍ර කොට ගනිමින් මහා පරිමාණ ඉඩම් කොල්ලයක් සිදු වෙමින් පවතින බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස සිංහල බෞද්ධයන් එම ප‍්‍රදේශයෙන් පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙළක් මේ මොහොතේ ක‍්‍රියාත්මක වෙමින් පවතින බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අම්පිටියේ සුමනරතන හිමියන්.

නැගෙනහිර ඉඩම් කොල්ලකන අන්තවාදී සැලසුම්

‘‘..යුද්ධය දිගින් දිගටම පැවතීම හේතුවෙන් ඔය ප‍්‍රදේශයේ ජීවත් වූ මිනිසුන්ට තමන්ගේ උපන් ගම් බිම් හැර දාලා යන්න සිද්ධ වුණා. ඊට පස්සේ මොකද වුණේ නිලධාරීන්ට අවශ්‍ය විදිහට බලපත‍්‍ර හදලා ඒ ඉඩකඩම් වෙනස් කළත් පුද්ගලයන්ට පවරලා දෙන්න කටයුතු කළා. යුද්ධයේ අවසානයත් එක්ක අර මුල් පදිංචිකරුවෝ නැවත තමන්ගේ ඉඩකඩම් අත්පත් කරගන්න ආවට පස්සෙ ඒ අයගේ ඉඩකඩම් වෙනත් පිරිසක් වෙත පවරලා ඉවරයි. අර මුල් පදිංචිකරුවන්ට තමන්ගේ ඉඩකඩම් අහිමි වෙන්නෙ එහෙමයි. එතනදි නිලධාරීන් හරියට ක‍්‍රියාත්මක වුණා නම් එහි ඉඩකඩ මුල් අයිතිකරුවන්ට නැවත ලබා දෙන්න අවස්ථාව තිබුණා. නමුත් එහෙම කළේ නෑ. එතනින් තමයි මේ ගැටලූව ආරම්භ වෙන්නේ. මේ වෙද්දි මේ තත්ත්වය මුළු නැගෙනහිර පළාත පුරාම දැකගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මඩකලපුව දිස්ත‍්‍රික්කයේ වව්නතිව් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගත්තොත් මේ මොහොත වෙද්දීත් මහා ඉඩම් මංකොල්ලයක් සිද්ධ වෙනව. අනවසරයෙන් ඉඩම් ගොඩ කර කර පිරිසක් ගොඩනැගිලි ඉදි කරනව. කඩසාප්පු හදනව. පෙර අයිතිකරුවන්ට ඒ ඉඩම්වල අයිතිය මේ වන විට අයින් වෙමින් පවතිනව. නමුත් නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. තවත් පැත්තකින් වෙල්ලවාලි කලපුව ගොඩ කරනව. කලපු වෙනුවට දැන් එතන තියෙන්නේ බිල්ඩින් ගොඩක්. තවත් පැත්තකින් වැලි ජාවාරම් කාරයෝ මහපොළොව හාරනව. මේවා ගැන හඬක් නගන්න කවුරුවත් නෑ. ජනතාව ගත කරන්න ඉතාමත් දුප්පත් ජීවිත හින්දා එහෙ මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ. ඒ මිනිස්සු වෙනුවෙන් යම් හෝ හඬක් නගනවා නම් නගන්න ඉන්නේ මම විතරයි. නමුත් මම රජයේ ආයතනයකට ගියොත් එතන ඉන්න නිලධාරීන් මට විරුද්ධව උද්ඝෝෂණ කරනව. නීතිය ක‍්‍රියාත්මක කරන්න දෙන්නෑ මාව අත්අඩංගුවට ගන්න කියල. දැනටමත් මට විරුද්ධව අධිකරණය හමුවේ නඩු හතඅටක් ක‍්‍රියාත්මක වෙනව. මඩකලපුව දිස්ත‍්‍රික්කය ගත්තොත් ජනගහනය ලක්ෂ හතරකට වැඩියි. ඒ පිරිස අතර සිංහල මිනිස්සු ඉන්නෙ හාරදාහකට අඩු සංඛ්‍යාවක්. දැනටමත් ඒ මිනිස්සුන්ගෙ උපන් ගම් බිම් අහිමි වෙලා ඉවරයි. මේ යන තත්ත්වය උඩ ඉදිරියේදී ඒ අයත් වෙනත් ප‍්‍රදේශවලට ගියාට පස්සේ මඩකලපුවේ සිංහල උරුමය නැත්තටම නැති වෙනව. ඕක තමයි ඇත්ත තත්ත්වය. දැනට සිංහල ගම්මාන වශයෙන් තියෙන කෙවිලියාමඩුව දිවුල පතාන ඇතුළු ගම්මාන හතර පහ හැරුණුකොට අනිත් හැම පළාතකම වගේ බරපතළ ඉඩම් කොල්ලයක් සිද්ධ වෙනව. මඩකලපු දිස්ත‍්‍රික්කය ගත්තොත් ලියාපදිංචි කළ ගවයන් හාර ලක්ෂයක් පමණ ජීවත් වෙනව. මේ ගව පට්ටිවල අයිතිය තියෙන්නෙ මුස්ලිම් හා දෙමළ මිනිස්සුන්ට. ඒ අය ගොවිතැන් කුඹුරු කරන කාලයට අර ගවයන් පට්ටි වශයෙන් සිංහල ගම්මාන වලට ඇතුළු වෙලා ඒ මිනිස්සුන්ගේ භවබෝග ටික පවා විනාශ කරනව. ඒකත් දැන් ලොකු ප‍්‍රශ්නයක් බවට පත්වෙලා ඉවරයි.

නැගෙනහිර ඉඩම් කොල්ලකන අන්තවාදී සැලසුම්

මේවා ගැන කතා කරනකොට ජාතිවාදියා අරක මේක කියල මට චෝදනා කරනවා. මේ ප‍්‍රශ්නවලට උත්තර ලැබෙයි කියලා තමයි අපිත් මුල්වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ජනාධිපති පුටුවට අරන් ගියේ. නමුත් කියන්න කනගාටුයි… අද මේ පළාත් තුළ සිංහල ජනතාව අන් කවරදාටත් වඩා බරපතළ ප‍්‍රශ්න රාශියකින් පීඩා විඳිනව. හිටපු පාලකයන්ටවත් දැන් ඉන්න පාලකයන්ටවත් එහෙත් පිළිබඳ වගේ වගක් නෑ කියල කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා…”

පූජ්‍ය උඩලමත්තේ රතනත්ශ‍්‍රී හිමි (මුහුදු මහා විහාරය පොතුවිල්).

නැගෙනහිර ඉඩම් කොල්ලකන අන්තවාදී සැලසුම්

‘‘… නැගෙනහිර පළාත ගත්තොත් මේ වන විට බරපතළ ඉඩම් කොල්ලයකට ලක් වෙමින් පවතිනව. මේක අද ඊයේ ඇති වූ තත්ත්වයක් නොවෙයි. යුද්ධයේ නිමාවත් එක්ක තමයි මේ තත්ත්වය වර්ධනය වෙන්න ගන්නේ. නැගෙනහිර පළාත ගැන කතා කරන එක පොඞ්ඩකට නතර කරල පොතුවිල්, ලාහුගල ඇතුළු මේ පළාත ගත්තොත් අක්කර ලක්ෂ දෙකකට ආසන්න භූමි ප‍්‍රදේශයක් ඊට අයත් වෙනව. ඒ අතර වැඩිපුර ප‍්‍රමාණයක් තියෙන්නේ වන රක්ෂිත. ඒ වනරක්ෂිතවලට අයත් භූමි ප‍්‍රදේශයෙන් විශාල ප‍්‍රමාණයක් දැනටමත් අන්තවාදී පිරිස් විසින් ආක‍්‍රමණය කරලා ඉවරයි. ඒ අයට දේශපාලන රැකවරණය ලැබෙනව. අන්න ඒ බලයත් එක්ක තමයි මේ ඉඩම් කොල්ලය සිද්ධවෙන්නේ. විනාශයට ලක් වෙමින් පවතින වනරක්ෂිත ගත්තොත් ඒව ඇතුළෙ තමයි ඉපැරණි පුරාවස්තූන් ඇතුළු නැගෙනහිර ප්‍රෞඪත්වය තියෙන්නේ. මේ විනාශය ගැන හොයා බලන්න නිලධාරීන් එන්නේ නෑ. පුරාවිද්‍යාව ගත්තොත් එතන ප‍්‍රමාණවත් නිලධාරීන් පිරිසක් නෑ. ඒ හින්දා අන් කවරදාකටත් වඩා වැඩියෙන් නැගෙනහිර පළාත මුල්කරගෙන මේ මොහොතේත් මහා ඉඩම් කොල්ලයක් සිද්ධ වෙනව. මතුපිටින් බලන කොට මේක ලොකුවට පේන්නේ නෑ. නමුත් දේශපාලන රැකවරණය ලබන මුස්ලිම් අන්තවාදී පිරිස් මේ වන සංහාරය හරහා ඒ අයගේ දීර්ඝකාලීන සැලසුම් ක‍්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒක එක කාරණයක්. නැවත වතාවක් පොතුවිල් ආරුගම්බේ ගැන කතා කරනවා නම් ඒ ප‍්‍රදේශයට අයත් ආටිමුණේ කැලෑව සම්පූර්ණයෙන්ම කපල දාල ඉවරයි. ඒ විතරක් නෙවෙයි අඩි 20ක විතර ලොකු කොන්ක‍්‍රීට් පාරක් හදන්නත් කටයුතු කරල තියෙනව. ආටිමුනේ කියන්නේ ගැසට් නොකරන ලද අවශේෂ කැලෑවක්. හෙට අනිද්දා වෙනකොට ඒ කැලෑව ජනාවාසයක් බවට පත් වෙනව. ඒකෙ ආරම්භක පියවර විදිහට තමයි කැලෑව මැදින් කොන්ක‍්‍රීට් පාරක් ඉදිවෙන්නේ. කවුද මේවා ගැන හොයා බැලූවේ. මේ විනාශය පිටුපස මුස්ලිම් දේශපාලඥයෙක් ඉන්නවා. අපේ විහාරස්ථානයට අයත් භූමියෙන් අක්කර හැත්තෑ දෙකක් නැවත පිහිටුවන්න කියල තීන්දුවක් ගත්ත වෙලාවේ ඊට විරුද්ධව ප‍්‍රදේශයේ ජනතාව තුළ ජාතිවාදය අවුස්සන්නත් මේ කියන දේශපාලනඥයා කටයුතු කළා. ඔහු දැන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්. පොතුවිල් කියන මේ ප‍්‍රදේශය දැන් පාලනය වෙන්නේ ඒ මන්ත‍්‍රීවරයාගේ අණසක යටතේ. මේ වෙද්දි ප‍්‍රදේශයේ පදිංචි සිංහල හා දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩකඩම් ඒ අයට අහිමි වෙමින් පවතිනව. ඒ මිනිස්සුන්ගෙ අතේ බලපත‍්‍රය තියෙනව. නමුත් ගිහින් බැලූවම ඉඩම නෑ. වෙනත් පිරිසක් විසින් මේ ඉඩකඩම් ඉඩකඩම් බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් ඉන්නව. නමුත් නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. පොලිසියට ඒ හයිය ඇත්තෙ නෑ. කැලේ කපන මිනිස්සුන්ව පොලිසියට අල්ලන් ආවට පස්සෙ වෙන්නේ මොකද්ද… ඒ නිලධාරියාට ස්ථාන මාරුවක් ලැබෙනව. එහෙමයි අද මේ පළාතේ නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ. මේ ඊයේ පෙරේදාත් එහෙම සිද්ධියක් වාර්තා වුණා. ඒ විතරක් නෙවෙයි.. තවත් පිරිසක් මේ පළාතේ තියෙන පාරම්පරික වැව් ටික කරනව. එක වැවක් ගොඩ කරලා විකුණලත් ඉවරයි. කලපු ටික ගත්තොත් වෙන්නෙත් ඒකමයි. ඌරනි කියන කලපු අද තියෙන්නෙ සිතියම් පොතේ විතරයි. කලපුව ගොඩ කරල විකුණලත් ඉවරයි. මේවා ගැන ඇත්ත එලි වෙන්නෙ නෑ. රජයේ නිලධාරීන් නිසි ක‍්‍රියාමාර්ග ගන්න පෙලඹෙන්නේ නැහැ. මොකද මේවා සිද්ධවෙන්නේ රාජ්‍ය අනුග‍්‍රහය ඇතුවයි කියන කාරණය ඒ හැමෝම දන්නව. අහිංසක සිංහල දෙමළ මිනිසුන්ගේ අයිතිය වෙනුවෙන් කතා කරන්න අද කවුරුවත් මේ පළාතේ නැහැ. ඒ හින්දා ඔවුන්ගේ ඉඩකඩම් පවා අන්තවාදීන්ගේ ග‍්‍රහණයට ලක්වෙනව. බක්මිටියාව කියන රක්ෂිතය ආසන්නයේ කුඹුරු යායක් තිබෙනව. එතැන බලපත‍්‍ර සහිත කුඹුරු අක්කර දාසයයි තියෙන්නේ. නමුත් මේ වෙද්දි කුඹුරු අක්කර දෙදහකට අධික ප‍්‍රමාණයක් වෙනත් වෙනත් පුද්ගලයන්ට අයත් බලපත‍්‍ර යටතේ වද්දල තිබෙනව.

මේවා ගැන රජයේ කාර්යාල වලට ගිහිල්ලා ඔයා බැලූවට පස්සේ එහෙම බලපත‍්‍ර නිකුත් කිරීමක් සිද්ධ වෙලා නෑ. ව්‍යාජව හදාගත්තු බලපත‍්‍ර පෙන්නගෙන තමයි මේ දේවල් කරන්නේ. මේවට විරුද්ධව නඩු මගට යන්නවත් කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඔය තත්ත්වය තමයි නැගෙනහිර පළාතේම දකින්න ලැබෙන්නේ. ඒක පොතුවිල් වලට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. ඒක කරන්න නම් මේක පිටිපස්සේ ක‍්‍රියාත්මක දේශපාලනය මොකක්ද ඒ අයගේ දීර්ඝකාලීන අරමුණු මොනවද කියන එක පිළිබඳ අධ්‍යයනයක් කළ යුතුයි. එහෙම නොකළොත් මේ ප‍්‍රදේශවල පදිංචි අහිංසක සිංහල දෙමළ මිනිස්සුන්ට බලවත් අසාධාරණයක් සිද්ධ කරමින් මුස්ලිම් අන්තවාදය බරපතළ ලෙස හිස ඔසවන එක නතර කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ ….”

මුළු මහත් නැගෙනහිර පළාතේ පදිංචි සිංහල දෙමළ ජන ජීවිතය උඩු යටිකුරු කරමින් මුස්ලිම් අන්තවාදය ඇතුළු වෙනත් බලවේග හිස ඔසවන ආකාරය පිළිබඳ තරමක අවබෝධයක් ලබාගැනීමට ඉහත නම් සඳහන් ස්වාමීන් වහන්සේලා විසින් සිදුකරන ලද ප‍්‍රකාශ ප‍්‍රමාණවත්ය. එය නැගෙනහිර පළාතේ ජීවත් වන සිංහල බෞද්ධ ජනතාව මේ මොහොතේ මුහුණ දෙන විවිධ අභියෝග වල පොදු ප‍්‍රකාශනයක් බඳුය. උපන් ගම්බිම් මතක් අනාථ යන බවට පත්වෙමින් සිටින එම මිනිස් සමූහයේ අයිතින් වෙනුවෙන් හඬක් නැගීම පිණිස වගකිවයුත්තන් කිසිවකු ඉදිරිපත් නොවීම තුළ පැහැදිලි වන්නේ ඒ පිටුපස ප‍්‍රබල දේශපාලන බලවේගයක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බවය. ඔවුන්ගේ අවනඩුව පිළිබඳ සාධාරණ විනිශ්චයක් නැත්තේ එබැවින් විය යුතුය. සිදුවෙමින් පවතින අකටයුතුකම් ඉදිරියේ නැගෙනහිර සිංහල උරුමය ඉදිරියේදී නැත්තටම නැතිවී නැති වී යා හැකි බැවින් කඩිනමින් මේ පිළිබඳව සොයා බලා සුදුසු පියවරයන් ගැනීම වහ වහා සිදු කළ යුතුය. එතෙක් මෙම පුවත්පත නැගෙනහිර පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව දැනට සඳහන් කළ යුතුය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment