රජරට සරසවිය සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍ර ලබයි

1244

රජරට විශ්වවිද්‍යාලය සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව ඇති බව රජයේ විශ්වවිද්‍යාල උපකුලපති සංගමයේ සභාපති සහ රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය පැවසුවාය.

අනුරාධපුරයේදී පෙරේදා (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උපකුලපතිවරිය මේ බව අනාවරණය කළාය. ලෝකයේ හොඳම ඉල්මනයිට් ලෙස සැලකෙන පුල්මුඩේ ඉල්මනයිට් මගින් රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ මහාචාර්ය ආනන්ද කරුණාරත්න මහතා සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව තිබේ.

මෙතෙක් කල් ශ්‍රී ලංකාව ඉල්මනයිට් අපනයනය පමණක් සිදු කළ අතර සර්කෝනියම් නිෂ්පාදනය කිරීමෙන් ජෙට් එන්ජින්, ගුවන් යානා, අභ්‍යවකාශ පටල, සෙරමික්, බල්බ පිලමන්ට් ආදිය සඳහා මෙය යොදා ගත හැක.

මේ වන වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශ්වවිද්‍යාල 17 අතුරින් පර්යේෂණ අංශයෙන් රජරට විශ්වවිද්‍යාලයට දිවයිනේ ප්‍රථම ස්ථානයට පැමිණීමට හැකිවී ඇති බවද මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය සඳහන් කළාය.

රජරට විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක කෘෂිකර්ම, ව්‍යවහාරික විද්‍යා, සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර, වෛද්‍ය සහ සමාන්තර විද්‍යා යන පීඨ සහ පීඨාධිපතිවරුන්ගේ කැපවීමද මේ ජයග්‍රහණය ලබා ගැනීමට විශාල පිටිවහලක් වූ බව ඇය පැවසුවාය.

පර්යේෂණ වෙනුවට පර්යේෂණ නිෂ්පාදන සඳහා අවධානය යොමු කර රැකියා මවන්නන් බවට රජරට විශ්වවිද්‍යාලය කටයුතු කර ඇති බව පෙන්වා දෙන උපකුලපතිවරිය කොම්පෝස්ට් නිෂ්පාදනය, මොඩ්ල් ෆාම්, සංචාරක මොඩ්ල් ෆාම්, ජාත්‍යන්තර පුහුණු හුවමාරු වැඩසටහන් ආදී විශාල වැඩ කොටසක් මේ වනවිට ක්‍රියාත්මක බවද තවත් මාස දෙකකින් දේශගුණික විපර්යාස නිරීක්ෂණ මධ්‍යස්ථානයක්ද ආරම්භ කරන බව ද ඇය සඳහන් කළාය.

රජරට විශ්වවිද්‍යාලය 1996 ජනවාරි 31 දා ශ්‍රී ලංකාවේ 14 වන විශ්වවිද්‍යාලය ලෙස ආරම්භ වී පසුගිය කාලයේ ලෝකයෙන්ම වෙබ්මිතික (සියලු මෙහෙයුම්) ශ්‍රේණිගත කිරීම්වලට අනුව හයදහසේ සීමාව ඉක්මවා සිටියදී 3015 වන ස්ථානයට රැගෙන ඒමටද හැකි වූ බව ද මහාචාර්යවරිය සඳහන් කළාය.

මෙරට විශ්වවිද්‍යාල අතුරින් 2013 වසරේ 13 වන ස්ථානයේත් 2021 වසරේ 8 වැනි ස්ථානයෙත් සිට මේ වසරේ 6 වන ස්ථානයට පැමිණීමට හැකි වූ බවද වසර හතරම විද්‍යාර්ථයින්ට අඛණ්ඩව නේවාසික පහසුකම සපයන දිවයිනේ එකම විශ්වවිද්‍යාලය රජරට විශ්වවිද්‍යාලය වන අතර විවිධ ව්‍යාපෘති විවිධ පාඨමාලා රැසක් ක්‍රියාත්මක බවද මහාචාර්යවරිය කීවාය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment