සම්පත් බැංකුව, ‘මිනිසත්කමේ පොහොසත්කම’ ලොවට විවර කරමින් ආදිවාසී ගොවි ජනතාව වෙනුවෙන් දඹාන දැලිකැදලි වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි

245
ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ, සම්පත් බැංකුවේ විධායක අධ්‍යක්ෂක/ ප්‍රධාන මූල්‍ය නිලධාරී අජන්ත ඩි වාස් ගුණසේකර මහතා, ප්‍රධාන නිලධාරී මානව සම්පත් ආචාර්ය ලලිත් වේරගොඩ මහතා සහ ගොවිජන සේවා සහකාර කොමසාරිස් නිරෝෂා හෙන්නායක මහත්මිය විසින් සුභ මොහොතින් මංගල පස් පිඩැල්ල කපා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අවස්ථාව

දශක ගණනාවක් පුරාවට දැයක් පෝෂණය කරමින් කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් තිබෙන මව්බිමෙහි අතීත උරුමය දැයේ හෙට දවස වෙනුවෙන් යළි යළිත් ජීවයෙන් පුරවාලන සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් පියවරක් පසුගියදා අරඹනු ලැබීය. ඒ මෙරට අභිමානවත් ආදිවාසී ජනතාවගේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් දියවර සපයා ගැනීමේ ප්‍රධාන මාර්ගය වන දඹාන, දැලිකැදලි වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමිනි.

බුලතා යෝධයා ඉදිකළ ලොවක් මවිත කරන සොර බොර වැවේ ප්‍රෞඩත්වය මතින් පාරම්පරික ආදිවාසී ජනතාවගේ ජීවනෝපායෙහි කොටසක් වී ඇති දඹාන දැලිකැදලි වැව ප්‍රදේශයේ කූඹුරු අක්කර 104ක් අස්වද්දන්නට අවැසි දියවර වසර ගණනාවක් මුළුල්ලේ නොඅඩුව සපයමින් ගොවි පවුල් 90කට වැඩි ප්‍රමාණයකගේ කුසගිනි නිවන්නට දිරි දුන් මහඟු සම්පතක් විය. මෙම දැලිකැදලි වැවට, තවත් සිය මෙහෙවර නිසි පරිදි ඉටු කරන්නට තරම් ශක්තියක් නොමැත්තේ නිසි නඩත්තුවක් නොවූ හෙයිනි.

වැවෙහි පිටවාන සම්පූර්ණයෙන් කැඩී ගොස්ය. කූඹුරු අස්වද්දන්නට දියවර නිකුත් කරන සොරොව් දොර මෙන්ම දියවර ගෙන යන ඇල මාර්ගයද ඉතාමත් අබලන් තත්වයේය. නිසි නඩත්තුවක් නොවූ මේ සියල්ල හමුවේ අන්ත අසරණ භාවයට පත් වූයේ සිය ජීවිතයේ බොහෝ දේ වැවත් සමඟ බෙදා හදාගත් ආදිවාසී ගොවි ජනතාවයි. තව දුරටත් කුඹුරු වගා කරන්නට තරම් හැකියාවක් ඔවුන්ට නොවූයේ ඊට අවශ්‍ය තරම් ජලය නොමැති වූ හෙයිනි. අබලන් වූ ඇල මාර්ග හරස් කරමින් සුළු පිරිසක් සිය කූඹුරු වගා කළද එයද එක් කන්නයකට පමණක් සීමා විය. වැවෙහි ජල මට්ටම අඩු වන විට ප්‍රදේශයේ ළිං සිඳීයාමද සිදු වන්නේ නිතැතිනි. එතැන් පටන් බීමට දිය පොදක් සොයා සැතපුම් ගණනක් දුර යන්නට ඔවුන්ට සිදුව ඇත. රටට බත සපයමින් රටක කුසගිනි නිවූ මේ ගොවි ජනතාවට පත්ව ඇති ඉරණම හමුවේ ඔවුන්ට සරණක් විය හැක්කේ මිනිසත් කමෙන් පොහොසත් මිනිසුන්ට පමණකි. සම්පත් බැංකුව මෙරට අභාවයට යමින් පවතින වැව් යළි ප්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනතාවට යහපත් හෙට දවසක් උදා කර දීම වෙනුවෙන් ආරම්භ කළ ‘වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහන’ හරහා දඹාන දැලිකැදලි වැව ප්‍රතිසංස්කරණයේ වගකීම භාර ගත්තේ ඒ මිනිසත්කමෙහි පොහොසත් බව මනාව ප්‍රදර්ශනය කරමිනි.

ඒ අනුව පසුගියදා සුභ මොහොතින් සෙත් පිරිත් ආශිර්වාද සහ ආදිවාසී පුද පූජා මධ්‍යයේ දඹාන දැලිකදැලි වැව ප්‍රතිසංස්කරණයේ මංගල පියවර තැබුණේ දඹාන ගොවීන්ගේ මුවඟට සිනහවක් ගෙන එමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මූල්‍ය නිලධාරී අජන්ත ඩි. වාස් ගුණසේකර මහතා සඳහන් කර සිටියේ “අද වන විට මුළු රටටම බත සපයන ගොවි ජනතාවගේ අගය අන් කවරදාටත් වඩා අප සියලු දෙනාට දැනෙමින් තිබෙන බව රහසක් නෙවෙයි. එහෙත් කෙමෙන් අභාවයට යමින් පවතින වැව් පද්ධතිය නිසා ඔවුන්ගේ ගොවිතැන් හරි ආකාරයෙන් සිදු කරගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටිනවා. සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ අභාවයට යමින් පවතින වැව් ප්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනතාවට යහපත් හෙට දවසක් උරුම කර දීම වෙනුවෙනුයි. විශේෂයෙන් සම්පත් බැංකුවේ ‘පොහොසත් මිනිස්සු’ සංකල්පය යළි යලිත් තහවුරු කරන සුවිශේෂී අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකි මෙම සමාජ සත්කාරය තුළින් ආදිවාසී ජනතාවට යහපත් හෙට දවසක් උදා කර දීමට හැකි වනු ඇතැයි මා තරයේ විශ්වාස කරනවා” යනුවෙනි.

‘දඹාන දැලිකැදලි වැව ගොවි සංවිධානය’ මඟින් පාලනය වන දැලිකැදලි වැව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් එම ගොවි සංවිධානයේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහායද නොඅඩුව ලැබෙන අතර බදුල්ල දිස්ත්‍රික් ගොවිජන සේවා දෙපාර්මේන්තුව විසින් අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබා දෙනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment