පාසල් සිසුවියන් ලක්‍ෂ 8 කට ලබන මස සිට වවුචර් මගින් සනීපාරක්‍ෂක තුවා

63

හය ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුවියන් ලක්ෂ 08ක පමණ පිරිසකට වවුචර් පත් මගින් සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන ලබන මස (අප්‍රේල්) සිට ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය.

එලෙස වවුචර් පත් දීම රජයට පහසු කටයුත්තක් බවත් එහිදී අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ප්‍රමිති ආයතනය එක්ව සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ලබා දෙන බවත් ඇමැතිවරයා කීය. හෙතෙම මේ බව සඳහන් කළේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27/2 විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ ඊට අමතරව පාසල් දරුවන් නව යොවුන් වියට එළඹීම සහ ප්‍රජනක පද්ධතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම ගුරුවරුන් මගින් සිදු කරන බවයි. සෞඛ්‍ය අමාත්‍යංශය ද සමග එක්ව නව යොවුන් වියෙහි මතුවන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කරන බවද ඇමැතිවරයා කීය.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් උසස් පෙළ සිසුන් සඳහා ‘යෞවනයට ආමන්ත්‍රණය’ නමින් ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳව අතිරේක කියවීම් පොතක් පාසල් පුස්තකාල වෙත බෙදාහැරිය බවද ඒ මහතා පැවසීය.

ඊට අමතරව හය ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා ආර්ථව සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමට අතිරේක කියවීම් පොත් කිහිපයක් ද ලබා දී ඇතැයි ද කී අධ්‍යාපන ඇමැතිවරයා ජීව විද්‍යා විෂයයන් මගින්ද ප්‍රජනක සෞඛ්‍යය ගැන සිසුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment