වනිඳු අද ජාත්‍යන්තර පිටියට – මාස හයකට පසුව

212

දසුන්ට ස්ථානය අහිමි වන ලකුණු

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක් දින ක්‍රිකට් තරගාවලියේ අද(11 වැනිදා) පැවැත්වෙන අවසන් තරගය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ක්‍රීඩා කිරීමට නියමිතව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. එක්දින ජාත්‍යන්තර තරග 48 කට සහභාගි වී කඩුලු 67ක් දවා ගෙන ඇති වනිඳු අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2023 වසරේ ජූලි මස සිම්බාබ්වේ හිදීය.

එවර හරාරේ නුවරදී පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ වනිඳු එහිදී කඩුලු 2 ක් සහ ලකුණු 29 ක් ලැබීය.

අනතුරුව ශ්‍රී ලංකාවේ දී පැවැති ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ වනිඳු එම තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්ව ලෝක කුසලාන තරගාවලියට ද ක්‍රීඩා කිරීමට නොහැකි වූයේය.

නව තේරීම් කමිටුව පත්වීමෙන් පසුව පන්දු වාර විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට වනිඳු පත් කරන ලද අතර ඒ අනුව ඔහු මාස හයකට පසුව සහභාගි වන පළමු ජාත්‍යන්තර තරගය අද තරගය වේ.

ලෝක කුසලාන තරගාවලිය අතරතුර ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත්ව සිටි හිටපු නායක දසුන් ශානක පසුගිය තරග දෙකේදී ප්‍රදර්ශනය කරන ලද දුර්වලතාවය මත අද තරගයේදී ඔහුගේ ස්ථානය අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇත.

එම තරග දෙකේදී පිළිවෙළින් ලකුණු 8කට සහ ලකුණු 7කට දැවී ගිය දසුන් පන්දු යැවීමෙන්ද කඩුලු ලබා ගැනීමට අසමත් විය.

කෙසේ වෙතත් වනිඳු වෙනුවට ඉවත් කරන්නේ කවුරුන්ද යන්න තවමත් තීරණය කර නොමැති අතර දසුන්ගේ ස්ථානය සඳහා පිතිකරුවකු කැඳවනවා ද යන්න පිළිබඳව ද සලකා බලමින් පවතී.

නැතහොත් දසුන්ගේ ස්ථානය වනිඳුට පවරමින් තරග කිරීමට ද අපේක්ෂාවක් වේ.

අද තරගය ජය ගෙන තරගාවලිය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අභිලාෂය වන අතර ප්‍රතිවාදී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීම සඳහා අපේක්ෂාවෙන් පසුවෙති. ඒ සඳහා සත්කාරකයින් පරාජය කිරීමට සිම්බාබ්වේ ක්‍රීඩකයන් ප්‍රබල උත්සාහයක් දරනු ඇත. දෙරට අතර පැවැති පළමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවද දෙවැනි තරගයේදී කඩුලු දෙකක තියුණු ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සිය දෙවෙනි තරගයට ක්‍රීඩා කළ ජනිත් ලියනගේ ලකුණු 95 ක් ලැබීය.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අද තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment