බොදු දැක්ම හා භක්තිය නිරූපිත සිංහල චිත්‍රපට ගී

361

සිංහල චිත්‍රපටයත් ගීතයත් අතර ‘අත්‍යන්ත සංයෝගයක්’ පවතී. සිංහල චිත්‍රපට වංශය 1947 දී තිරගත වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයෙන් ඇරඹේ. එතැන් සිට අද දක්වාත් ගීතය නම් වූ කලාංගය අනිවාර්ය ව්‍යවහාරික භාවිතයක් ලෙස චිත්‍රපටය තුළ යෙදී තිබේ. යථෝක්ත ‘අත්‍යන්ත සංයෝගය’ හටගෙන ඇත්තේත් එබැවිනි.

මුල් යුගයේ සිංහල චිත්‍රපට නිපදවූවෝ අනුකාරකයෝ වූහ. දකුණු ඉන්දීය බලපෑම අතිශය ප්‍රකට ලෙසත් ප්‍රබල ලෙසත් දක්නට තිබිණ. සිනමාව කලාවක් වශයෙන් නොව කර්මාන්තයක් වශයෙන් වැඩෙන්ට එමගින් ඉඩ සැලසිණ, දකුණු ඉන්දීය සරුවපිත්තල අංග ලක්ෂණ සහිත අභව්‍ය අතාත්වික රීතියෙන් නොමිදුණු වට්ටෝරු සම්ප්‍රදාය අනුගමනය කළ මෙවක සිනමාකරුවෝ සිනමාව කලාවක් ලෙස නඟන්ට තැත් නොදරූහ. මෙම සිනමා සම්ප්‍රදායේ ආරම්භය පැහැදිලි ලෙස සටහන් කරන 1953 තිරගත වූ සුජාතා චිත්‍රපටය හින්දි චිත්‍රපටයක් වූ “බාරි බෙහෙන්” හි සෘජු අනුවාදයකි. ඇතැම් විචාරකයන්ට අනුව සුජාතා වූ කලි සිංහල සිනමාවට ‘සූප ශාස්ත්‍රයක්’ උරුම කරදුන් කෘතියකි. මෙකී සූප ශාස්ත්‍රය නම් යට කියන ලද වට්ටෝරු සම්ප්‍රදායට අයත් අංග ලක්ෂණ සමුදායයි.

ජනප්‍රියත්වය හෝ වෙළෙඳ වාසිය තකා මෙවක චිත්‍රපට තැනූවෝ කර්ණ රසායන ගී තනු උපුටාගෙන එම තනු සඳහා සිංහල වචන යොදා තනාගත් ගීත වැඩි ප්‍රමාණයක් ස්වකීය චිත්‍රපට තුළ අඩංගු කළහ. එමගින් වැඩි රසික පිරිසක් ආකර්ෂණය කරගත හැකි යැයි ඔවුහු සිතුහ. “වෙළෙඳ ව්‍යාපාරයක් ලෙස පවතින සිංහල සිනමා කර්මාන්තයට පිවිසි අල්පඥයෝ ජය ගත්හ” යි මාර්ටින් වික්‍රමසිංහ පැවසූයේ එබැවිනි.

චිත්‍රපටයට සම්මත වට්ටෝරුවක් පැවතුණා සේම චිත්‍රපටයකට ඇතුළත් කෙරෙන ගීත සම්බන්ධයෙන් ද එක්තරා වට්ටෝරුවක් තිබුණේය. චිත්‍රපටයෙන් පැය භාගයක කාලයක් ගීතවලින් පිරවිය යුතුව තිබුණේය. බොහෝ විට චිත්‍රපටයට මතුපිටින් එල්ලන ලද සැරසිල්ලක් වශයෙන් විනා ගීතය චිත්‍රපටය හා සමීපව – සමවායව බැඳි නොතිබුණේය. ප්‍රේම ගීතය, යුග ගීතය, භක්ති ගීතය, දරු නැළවිලි ගීතය ආදී වශයෙන් චිත්‍රපටයක ගීත වට්ටෝරුවට විවිධ ගණයේ ගීත ඇතුළත් විය. මුල් කාලීන චිත්‍රපටවල එන බෞද්ධ භක්ති ගීත හා බෞද්ධාගමික දෘෂ්ටිය පළට කරන රචනා අපට හඳුනාගත් හැකි වන්නේ ද මේ ගීත වට්ටෝරු පිරික්සීමෙනි.

1951 දී තිරගත වූ සීදේවි චිත්‍රපටයෙහි එන මතු දැක්වෙන ගීතය සැලකුව මැනවි. ගායනය ෆ්‍රෙක්සිඩ් ප්‍රනාන්දු විසිනි.

ස්වාමි ඔබ මගේ බුදු පියාණනේ
සත්තකමයි ඔබ පෙර ආත්මේහි
කුස රජ වී
ඉපිද කුස නගරේහී – ඒ ප්‍රභාවතී දේවී නිසා ඒ
විඳි දුක අපමණ නේද ප්‍රියේ
ස්වාමි ඔබ මගෙ බුදු පියාණනේ

ලෝ සතටා ඒ ධර්මේ කියා දී සංසාරේහී
සත සුචරිතයෙහි යොදවා ඇත්තේ
නිර්වාණේහි මාර්ග පෙන්වූ මෑණියනේ
ස්වාමී ඔබ මගෙ බුදු පියාණනේ

සීදේවි වූ කලී, ජනප්‍රිය හින්දි තනු විශාල වශයෙන් අනුකරණය කරන ලද චිත්‍රපටයකි. අප විසින් උද්ධෘත උක්ත ගීතය කොපමණ ආයාසයකින් රචනා වූවක් දැයි වටහා ගැනීම දුෂ්කර නැත. මෙහි උපයුක්ත බසද අව්‍යක්තය. අද මෙම චිත්‍රපටයට අයත් එකද ගීතයක් හෝ අසන්ට හැකි තත්ත්වයක නැතැයි කියනු ලැබේ.

ප්‍රවීණ කලා ශිල්පියකුව හුන් ආනන්ද සමරකෝන් චිත්‍රපට අටකට පමණ ගීත රචනා කළේය. මේ ගීත අතුරෙන් සැඩ සුළං හා දුප්පතාගේ දුක යන චිත්‍රපටයට ඈඳන ලද වෙස්සන්තර ජාතකය නම් කෙටි සිනමා නාටකය තුළ බුදු දහමෙ හා බෞද්ධ සාහිත්‍යයේ සෙවණැලි රැගත් ගීත තුනක් දක්නට තිබේ. සැඩ සුළං චිත්‍රපටයට සමරකෝන් ලියූ ගීතයක රචනාර්ධයක් මෙබඳුය.

සැදැහැවත් උතුම්
ලෝ පියාණන්ගෙන් නාමෙන්
ලැබේවා යමක් – මෝක්ෂ
සම්පත් සෑදේ ඉන්

දුගී භාවයේ දන අහෝ ඇයි උපන්නේ
නිරාහාරයෙන් හාමතේ ඉන්ටදෝ මේ
රැකී රක්ෂා නෑ – ජීවනෝපා කිසිත් නෑ
ගෙයක් නෑ – දොරක් නෑ ළඟින්ටත් – තැනක් නෑ
සමාජේ කෙමෙන් බෝ භයංකාර වෙයි මේ
ඉතා වේගවත් චණ්ඩ වූ වායු වගේ

මේ ගීතයේ සමස්තාර්ථය විසින් පැවසෙන්නේ සමාජය කෙමෙන් රෞද්‍ර වන බවත් – අපරාධ හා දුෂ්ට ක්‍රියා වැඩි වන බවත් – යුක්ති ධර්මය ගිලිහී යන බවත්ය. සමරකෝන්ගේ ස්වතන්ත්‍ර රචනාවක නිබඳව දැකිය හැකි සරල සුගම සෞන්දර්යය මෙහි දක්නට නොලැබේ. චිත්‍රපට නිෂ්පාදකයන්ගේ අරමුණු උදෙසා ස්වකීය නිර්මාණ කෞශල්‍යයට වැට බැඳගන්ට මෙහිදී ඔහුට සිදු විය. දේශීය සංගීතයක් ගොඩනැංවීමේ ප්‍රබල ව්‍යායාමයක යෙදී සිටි සමරකෝන් රට පුරා බහුල වශයෙන් ප්‍රචාරය වන සිංහල චිත්‍රපට සංගීතය ඊට බාධක වී ඇති බවත් හින්දි තනු අනුකරණය ජාතියේ ගෞරවයට මරු පහරක් බවත් පවසා ඇත. එහෙත් චිත්‍රපට ගීත රචනයේදී සමරකෝන්ටම ඊට පටහැනිව ක්‍රියා කරන්ට සිදුවීම අභාග්‍යයකි.

1957 තිරගත වූ ‘සිරකරුවා’ චිත්‍රපටයට ඇතුළත් ගීත අටෙන් දෙකක් බෞද්ධ දෘෂ්ටියත් භක්තියත් පළට කරන රචනාය. එහෙත් මෙවක රචනා වූ අන්‍ය චිත්‍රපට ගීත සේම මේ ගීතවල ද උපයුක්ත බස ව්‍යක්ත නොවීය; සුගමද නොවීය. සිරකරුවා චිත්‍රපටයට ඇතුළත් ‘පරමෝත්තම බුදු පියේ’ නම් රචනය බුදුරජාණන් වහන්සේගෙන් පිළිසරණ පතා කෙරෙන ආයාචනයක් ලෙස රචනා වී තිබේ. එහි රචනාර්ධයක් මෙසේ වේ.

පරමෝත්තම බුදු පියේ
විරාගී පරමෝත්තම බුදු පියේ
මගේ මේ පරමෝත්තම බුදු පියේ

භව දුක සින්දන – කරුණා නන්දන
තුන්ලෝ දිනු බුදු පියෙ ඕ
තුන්ලෝ දිනු බුදු පියේ
විරාගී පරමෝත්තම බුදු පියේ

සිරකරුවා චිත්‍රපටයටම ඇතුළත්ව ඇති අනෙක් ගීතය සසර සරනා සව්සතුන් දුකින් මුදාලීමට සද්ධර්මය පිහිට වන බව කියැවෙන රචනයකි. ඉන් අර්ධයක් මෙසේය.

සංසාරෙ මංමුළා වූ – භවදුක් ගොඩේහි දැඟලූ
නොපෙනී විමුක්ති මාර්ගේ – යනෙනා වූ අන්ධ සතුන්
මෛත්‍රියෙ මූල මන්ත්‍රෙ – දෙසූ ලෝක නාථයාගේ
මන්දිරේ මේ පෙනෙන්නේ – මෙතනයි
විමුක්ති ස්ථානේ

1961 දී තිරගත වූ ගංතෙර චිත්‍රපටයට කරුණාරත්න අබේසේකර ලියූ ගීතයක් ආරම්භ වී තිබුණේ යස්සමූලේ නිසින්නෝවා යනාදී පාලි ගාථා පාඨයෙනි. මේ ගීතය බෝධි වන්දනයකි. ගායනා කොට ඇත්තේ ජී. එස්. බී. රානි පෙරේරා සමඟ මොහිදින් බෙග්ය. එහි රචනාර්ධයක් මෙබඳුය.

තපසට වැද රජ ගෙයි සැප හැරදා
පෙරුමන් බලයෙන් මරසෙන් පරදා
සාධු – සාධු
ජයගත් පොහෝ දින පිටදුන් මුනිඳා
පෙර දෙමු නමදිමු මහ බෝ රජිඳා
සාධු – සාධු

1963 දී තිරගත වූ උඩරට මැණිකේ චිත්‍රපටයට අබේසේකරම ලියූ ගීතයකි. මතු දැක්වෙන්නෙ. මේ රචනය වඩා සුගායනීය ලක්ෂණ පළ කරයි. ආර්. මුත්තුසාමි සංගීතය සපයා ඇත. ගායනය ලතා සහ පිරිසගෙනි.

සුර නර පූජිත ලෝක විරාජිත
ශාන්ත තිලෝගුරු සෑසි පියා
බුදු සෑසි පියා

පාරමි පූජිත මාර පරාජිත
දස බල ධාරිත හිමි අපරාජිත
පා යුග වඳිනෙමු සාධු කියා
අපි සාදු කියා

සෝබන සිත චිත්‍රපටයට ද බුද්ධාභිවන්දනයක් ඇතුළතව තිබිණ. මේ චිත්‍රපටය 1964 දී තිරගත වූවකි.

සම්මා සම්බුදු සරණ විනා
වෙන සරණක් නෑ තුන් ලෝ වටිනා
අම්මා පෙව් කිරි සුවඳ සිනාවක
රස දෙයි බණ වද හළ දියනා

කරුණාරත්න අබේසේකර දස්කම චිත්‍රපටයට ලියූ ‘ඉපිද මැරේ යළි ඉපදේ’ නම් ගීතය ඔහුගේ සමස්ත ගීතාවලිය තුළ සිහිවටනයක් වැන්න. මෙය අර්ථය විසින් වෙසසින් පෝෂිතය. සුගායනීයය, බෞද්ධාගමික දෘෂ්ටිය රැගත් සිංහල ගී පද රචනා අතර මේ ගීතය පැහැදිලි සාර්ථකත්වයක් උසුලයි. එඩ්වින් සමරදිවාකර ගී තනු නිර්මාණය කළ මෙම ගීතයේ ගායනය අමරදේවගෙනි.

ඉපිද මැරේ යළි ඉපදේ
නොතිර සසර සාගරේ
අතරතුරේ නොමැරි මැරේ
දස දහස් වරේ
නිසල නැතේ – සසල වෙතේ
නොතිර සසර සාගරේ

1962 තිරගත වූ සංසාරේ චිත්‍රපටයට ද බොදු බැතිය පළ කරන ගීතයක් ඇතුළත් විය. මෙය සමූහ ගායනයකි. බී. එස්. පෙරේරා සහ රොක්සාමි යන දෙදෙනාම මේ චිත්‍රපටයේ සංගීතය සඳහා දායක වූ බව සඳහන්ව තිබේ. මෙහි ගී තනුව බී. එස්. පෙරේරාගෙනි. ඩී. ටී. ප්‍රනාන්දු ගීතයේ රචකයාය. ගීතයේ රචනාර්ධයක් මෙසේ වේ.

ධර්මේ පහදා දේ තිලෝනා
මාර්ගේ සංසාරේ
රුදු ජාති ජරා මරණාදි දුක දේ
මේ ලොව නිරන්තරේ
මාර්ගේ සංසාරේ

ලෝභය ක්‍රෝධය මෝහය පාගා
සීන සමාදී ප්‍රඥා නංවා
පාරමි බල පා භව සයුරේ
වීරියෙන් පීනා – මාර්ගේ සංසාරේ

1962 දීම තිරගත වූ රන්මුතු දූව චිත්‍රපටයට ඇතුළත් වූ බොදු බැති ගීතය සමස්ත සිංහල බොදු බැති ගී අතර විශිෂ්ට ස්ථානයක් දරයි. මෙහි රචකයා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහය. මානවසිංහ ගීතාවලිය තුළද මේ ගීතය වෙසෙසින් කැපී පෙනේ. මෙහිලා රචකයා විසින් උපයුක්ත බස ව්‍යක්තය. අදහසද නිරාකුලය. මෙහි ගායනය නන්දා මාලිනී, නාරද දිසාසේකර ඇතුළු පිරිසගෙනි. අමරදේව සංගීතය නිර්මාණය කර ඇත.

පාරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ

සැනසෙමු පුද දී මුනි සිරි පාදේ
පිහිනමු පිහිනමු බුදුගුණ මූදේ
සනසා මුළු ලොව නිවන් ලබා දී
පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි
සනරාමර ගුරු ශිවංකර බුද්ධ දිවාකරයාණෝ

මේ ගීතය සාර්ථක බොදු බැති ගීයක් ලෙස අගය කරන මහගමසේකර ගීතයේ අර්ථාවබෝධය දුෂ්කර නොවන පරිදි තත්සම පද යොදා ඇති ආකාරය මැනවැයි සඳහන් කරයි. සකු තත්සම වචන බහුල ලෙස යොදා රචනා කළ තවත් බොදු බැති ගීයක් අම්බපාලි චිත්‍රපටයෙන් උපුටා දක්වන මහගමසේකර එහි ඇති අසාර්ථකත්වයට ද හේතු ඉදිරිපත් කරයි. අම්බපාලි චිත්‍රපටයේ එන බොදු බැති ගීතය සලකුව මැනවි. මෙහි ගායනය අයිරින් ද සිල්වාගෙනි.

ත්‍රෛලෝක්‍ය නේත්‍ර
මෝහ අන්ධකාර
දූරිභුත වේ
සර්වඥ ඥාන සම්ප්‍රයුක්ත සර්වලෝක නාථ වූ

දුර්වාර ඝෝර ධීර මාර
පාරමී බෙලෙන් දිනූ
ශ්‍රී ශාක්‍ය සිංහ පාද පද්ම
භක්තියෙන් නමාමහම්

සකු තත්සම පද බාහුල්‍යය නිසා ගීතයේ රස විඳුම සුළු පිරිසකට සීමා වන බව සේකර පවසයි. භක්ති ගීතයක ශාන්ත රසය සකු තත්සම පද මගින්ම ජනිත නොවන බවත් එසේ යොදන්නේ නම් ඒවා වඩා සුගායනීය විය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් කියයි.

අම්බපාලි චිත්‍රපටයටම ඇතුළත් වූ ගීයකි, පහත දැක්වෙන්නේ. විමල් අභයසුන්දර රචනා කළ මෙහි ගායනය බී. වික්ටර් පෙරේරාගෙනි.

සම්බුද්ධ සුධාකර වූ
අංගීරස මහ මුනිඳා
සද්ධර්ම ප්‍රභාකර වූ සිරි සුගත තථාගත වූ
තිලෝහිමි නමදිමු දෝත නඟා
අභයංකර සරණංකර මහිමී
අමතන්දද පද පංකජ වඳිමු

දයා නිවාසී අමා විකාසී
තිලෝතලේ දුක් නිවනින් නිවා ලූ
සදෙව් මිනිස් හිස් මිණි කැන් දියෙන් පා
තෙමා සදා මොක් සුව සෙත් සදා ලූ

1964 දී තිරගත වූ පටාචාර චිත්‍රපටයට මඩවල එස්. රත්නායක ලියූ ‘තණ්හා ආශා ඔලොකු කරේ ලා’ නමැති ගීතය දාර්ශනික නැඹුරුවක් පළ කරයි. සිංහල චිත්‍රපට ගීතය නිසඳැස් කවියේ අභාසය ලැබූ බවට නිදර්ශනයක් ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් මේ ගීතය උපුටා දක්වනු ලැබ තිබේ. ලයනල් අල්ගම සංගීතය නිර්මාණය කළ මෙහි ගායනය අමරදේවගෙනි.

තණ්හා ආශා ඔලොගු කරේ ලා
මගතොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
සැපත සොයන්නද මේ යන්නේ
කතරේ – ගිනිගත් වැලි තලයේ

සැපත විනෝදේ උපත කඳුළ වේ
විපත පියා වේ මේ ලොව සැපතේ
පියපුතු දෙදෙනා එකටයි ඉන්නේ
කිසිදා නැත උන් වෙන් වන්නේ

‘මල් සුගන්දේ දම් සුගන්දේ’ යනු 1966 දී තිරගත වූ කිංකිණි පාද චිත්‍රපටයට ඇතුළත් වූ ප්‍රකට ගීතයකි. බුදු දහමත් බුදු සසුනත් අභිවන්දනය කෙරෙන මේ ගීතයේ රචකයා නිහාල් ඒ. ජයසිංහය. ගායනය සුජාතා අත්තනායක, මොහිදින් බෙග් ඇතුළු පිරිසගෙනි. පී. එල්. ඒ. සෝමපාල සංගීතය සපයා ඇත. මේ එම ගීතයෙන් උපුටා ගත් රචනාර්ධයකි.

මල් සුගන්දේ දම් සුගන්දෙ සිල් සුළං රැල් පා වෙලා
සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා
මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි

සිනමාවේ ද්විතීය දශකය තුළ දකුණු ඉන්දීය බලපෑමේ කර්කශ රූක්ෂ ලක්ෂණ මඳ වශයෙන් හෝ ක්‍ෂය වන්ට පටන් ගත් ආකාරය දක්නට ලැබේ. චිත්‍රපටයක අන්තර්ගත කෙරුණු ගීත සංඛ්‍යාව ද සම්මත වට්ටෝරුවටම අනුගත නොවූයේය. විශේෂයෙන් ගම්පෙළිය බඳු සිනමා කෘතීන් බිහිවීමෙන් පසුව කලාත්මක සිනමාවක් අරභයා අයෙක් බලාපොරොත්තු උපදවා ගත්හ. ගම්පෙරළිය චිත්‍රපටයට එකද ගීතයක් ඇතුළත් නොවීය. චිත්‍රපට ගීත වංශය තුළ බුද්ධ භක්තිය හා බෞද්ධාගමික දෘෂ්ටිය පළ කරන ගීත රචනාවල ද තත්ත්වය ක්‍රමයෙන් දියුණු වූ බව පෙනේ.

1966 දී තිරගත වූ සැනසුම කොතැනද චිත්‍රපටයට ධර්මසිරි ගමගේ ලියූ ‘සංසාර ගමනේ තණ්හා ආශා’ නම් ප්‍රබන්ධය එකරුණ ස්ථුට කරන නිදර්ශනයකි. ගීත රචකයා විසින් උපයුක්ත පදමාලාව ගීතයේ අන්තර්ගතයට ඉඳුරා පිරිමසින්නකි. අදහස්ද නිරාකුලව පැවසේ. ප්‍රේමසිරි කේමදාස සංගීතය නිර්මාණය කළ මේ ගීතයේ ගායනය අමරදේවගෙනි.

සංසාර ගමනේ තණ්හා ආශා
ක්ලේශ මාර සේනා
ස්වර්ණ ලොවට යන මග ගිරි දුර්ග සදන්නේ
බිහිසුණු රුදු වේශ මවා මග අවුරන්නේ

ආදරයේ බැමි සිඳිලා
ආ කල සිත සන්සිඳිලා
ස්වර්ණ ලොවට යන මග
මල් දෙපස පිපෙන්නේ
ඈතින් එම රන් විමනේ
එළිය පෙනෙන්නේ

පූර්ණ වශයෙන් අභිවන්දන හෝ භක්ති ගීත බවට නොපත් එහෙත් බෞද්ධ දෘෂ්ටිය හා විඥානය පළ කරන රචනා වරින් වර හමුවේ. 1967 දී තිරගත වූ හතර කේන්ද්‍රය චිත්‍රපටයට විෂය වී තිබුණේ බුදු දහමේ ඉගැන්වෙන අනිත්‍ය පිළිබඳ සංකල්පයයි. ගීතය ආරම්භ වන්නේ රූප ජීරති මච්ඡානං – නාම ගොත්තං නජිරති යන ගාථා පාඨයෙනි. මේ ගීතයේ ගායනය නාරද දිසාසේකර සහ ජීවරානි කුරුකුලසූරියගෙනි. රචනාර්ධයක් මෙබඳුය.

ලස්සන හැම දේ
මොහොතක සුව දෙ
එහි කෙළවර දුක දේ
දෙනෙත පෙනේ නම් – සුවඳ දැනේ නම්
සවන මිහිරි නැති නම්
සැපට වශී වී – විපතට ළංවී
කිමද, සැපත පස්කම්
දැල්වෙන අතරේ සදහම් දීපේ
මන්ද ගිලෙන්නේ අඳුරේ පාපේ
සියල්ල ලෝකේ වැනසී යයි
දිරා ජරාවට යයි

1967 දී තිරගත රන්සළු චිත්‍රපටයට මහගම සේකර රචනා කළ ‘සිරිපා පියුමේ රොන්සුනු තැවරී’ නම් ගීතය විශිෂ්ට ප්‍රබන්ධයකි. කිසිදා රසික මතකයෙන් ගිලිහී නොයන මේ ගීතය සදාතනික අගයෙන් යුක්තය. ගීතය අසන රසිකයා භක්ති පූර්වක කරුණ රසයෙන් ප්‍රමුදිත වේ. නිරාමිස හැඟුම් ඔහු සිත්හි ඉපදේ.

සිරි පා පියුමේ
රොන් සුනු තැවරී
ගිමන් නිවන පවන් හමා ඒ
නිවී පහන් වී ළය සැනහේ

කෙලෙස් මලින් මිදී
සිත සුවපත් වී
පාවී යයි නිසංසලේ
මහ රහතන් වැඩි මඟ ඔස්සේ
වලා අතුළ කඳු වැටි අතරේ

1968 දී බයිසිකල් හොරා චිත්‍රපටයට ධර්මසිරි ගමගේ ලියූ බුදු ගුණ ගීයකි මේ.

බුදු රැස් ගඟ ගලා බසී – මේ දිය රැලි සල සලා
ලොව දුක් ගිනි නිවි නිවී – සත්වග ඇත සැනසිලා

නසා අනුන්ගේ පණ නොනගමු සෝක
සොරා සැපක් නොවිඳිමු අන් සතු දේක
මුසා බසක් නොකියමු අපි කිසිදාක
ලොවෙ බුද්ධ රත්නය වේ ආලෝක

1971 දී තිරගත වූ පූජිතයෝ චිත්‍රපටයට ඇතුළත් ‘නිවන් පුරට මඟ පෙන්න පහක් වැටක් සේ’ නම් ප්‍රකට ගීතයේද රචකයා වූයේ ධර්මසිරි ගමගේය. මෙයද ඔහුගේ රචනා චාතුර්යය මැනවින් සනාථ කරන ගීතයකි. පූර්වෝක්ත ප්‍රබන්ධයට වඩා බෙහෙවින් සාර්ථක වූත් සුගායනීය වූත් මේ ගීතයේ ගායනය අමරදේවගෙනි.

නිවන් පුරට මඟ පෙන්වන පහන් වැටක් සේ
මැණික් කොතින් අහස උසට බුදුරැස් විහිදේ

මුනි සිරිපා පහස ලැබූ හිමි වැඩි ගමනේ
දොහොත් මුදුන් තබා වඳිමි කැලණි විහාරේ

නා මෙනවිය පෙර කල හිඳ ළවැලි තලාවේ
තත් පිරිමැද ඇඟිලි තුඩින් මිණි වීණාවේ

අදත් ඇසේ එදා ගැයූ බුදු ගුණ ගීතේ
දොහොත් මුදුන් තබා වඳිමි කැලණි විහාරේ

මිරිඟුව 1972 දී තිරගත වූවකි. මේ චිත්‍රපටයට ඇතුළත්ව තිබූ බුදුගුණ ගීතය දීර්ඝ ප්‍රබන්ධයකි. ගීත කිහිපයකට විෂය හැකි තොරතුරු සමුහයක් රචනය තුළ බහාලීම නිසා මෙය අසාර්ථක වී ඇත. උපයුක්ත බසද කඩතොලු සහිතය. අව්‍යක්තය.

සුවසෙත ලෝසත සැදූ බුදු සාදු
පූජා වේවා නමාමි සාදු
පූජනීය වූ මාහිමි හමු වී පූජා වී ඇති
මගේ රටේ මේ පූජා වී ඇති මගේ රටේ මේ
තිබුණු ශ්‍රීය තව ඇත හැංගී
ප්‍රාණෙ දී කලා කළු ගල් අතරේ
කළ කැටයම් සැවොම අගේ මේ
දිලෙයි රූප තව සීගිරියේ

සංසාරේ, අංජලී, අංගුලිමාල, ශ්‍රී පතුල, ජීවන ගංගා, රොඩී ගම, ජීවන ගීතය, අජාසත්ත ඇතුළු තවත් චිත්‍රපට ගණනාවකම බොදු බැති ගී සහ බෞද්ධාගමික ආශ්‍රය පළ කරන රචනා ඇතුළත්ව තිබේ. එහෙත් එම ගීත අතරින් බහුතරය අපූර්ව ප්‍රබන්ධ නොවේ.

1974 දී තිරගත වූ ජීවන ගංගා චිත්‍රපටයේ එන බොදු බැති ගීයේ රචනාර්ධයක් මෙය. මෙහි රචකයා උපාලි ධනවලවිතානයි. ගායනය දයාරත්න රණතුංග සහ අමරා රණතුංගගෙනි.

බුදු සිරි පහසින් රුවන් කිරණ කෙඳි
පුබුදා ලන වෙහෙරට
පුෂ්ප සුගන්ධිත කරුණා සීතල දහම්
අමා දහරයි
කඳුළින් ඉපදී කඳුළින් මිය යන
සදාතනික කඩතිරය ඉරා
මොහොතක මධු රස විඳ ඉන් සැනසෙන
මිනිසුන් නෙත පාදන සමිඳේ
පහනින් දෙන ආලෝකය සේ

1974 දී තිරගත වූ රොඩීගම චිත්‍රපටයට අයත් බොදු බැති ගීතයේ රචනාර්ධයක් මෙසේ වේ. රචනය ස්ටැන්ලි ඕමාර්ගෙනි. ගායනය ලතා වල්පොලගෙනි.

ලෝක නාථ බුදු හිමි බලැති පුදා වැඳ වැටි
සංසාර සයුරෙන් සත මුදවලා
අමා නිවන් සුව සෑදු
ඔබ පාමුලෙහි තෙල් මල් පුදලා
වෙසඟේ මේ පොහෝදා මොක්ෂෙ පතාලා

මෙම ගීතවල ඒකාකාරී ගතානුගතික බවක් දන්නට තිබේ. සාම්ප්‍රදායික ගතානුගතික බුදු ගුණ වර්ණනාම ආදර්ශ කොට ගැනීම ඊට හේතුව විය හැකිය. 1975 දී තිරගත වූ ජීවන ගීතය චිත්‍රපටයට පහත දැක්වෙන ගීතය ඇතුළත්ව තිබුණේය.

සනරාමර ලෝක දිවාකර
බව භය යා කළ කරුණා සාගර
සම්බුදු මාහිමි පා වැන්නේ

ලුම්බිණියේ අප බෝසත් බිහි වී
සුවර්ණ දේවි වෙණ නාදෙන් නැවී
සාධුකාර දුන් ඔබ සේනා
බඹලෝකෙට මේ නාදෙ ඇසුණා

ශ්‍රී පතුල හා අංගුලිමාල යන චිත්‍රපට සඳහා කරුණාරතන අබේසේකර සැපයූ පදමාලා දෙකක් බුදු ගුණ ගීතය.

ගෝර විසැති නයි පොළොඟුන් වන්
මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි

යථෝක්ත ගීතය අංගුලිමාල චිත්‍රපටයෙනි. ගායනා කොට ඇත්තේ මොහිදින් බෙග්ය. ශ්‍රී පතුල චිත්‍රපටයට ඇතුළත්ව තිබූ ගීතයේ රචනාර්ධයක් මෙසේ වේ. මෙහිද ගායනය මොහිදින් බෙග්ගෙනි.

සකල සතම බොදු බැතියෙන්
නමදින දුර හැර හැම බේදේ
සුගත තථාගත ලෝක දිවාකර
සම්බුදු සිරිපාදේ

අජාසත්ත වූ කලී මෙරට සිනමාව තුළ ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයකි. ඒ සඳහා වස්තු විෂය ලෙස යොදාගෙන තිබුණේ බෞද්ධ සාහිත්‍යයේ එන ප්‍රකට කතා ප්‍රවෘත්තියමයි. මේ චිත්‍රපටය සඳහා සුනිල් ආරියරත්න රචනා කළ ගීතය චිත්‍රපටය හා ආබද්ධ වන පරිදි කතා ප්‍රවෘත්තියෙහිම ඒක දේශයක් හකුළා දැක්වීමකි. සනත් නන්දසිරි සංගීතය නිර්මාණය කළ මේ ගීතයේ ගායනය විශාරද අමරදේවගෙනි.

මෝහයෙන් අන්ධ වූ දෑස් හැර පිබිදෙන්න
වෛරයෙන් බිහිරි වූ සවන් යුග හැරලන්න
ඔබ පියාණන් කෙනකු වූ
උතුම් මේ මොහොත
ඔබ පියා ඔබ නිසා
හොවී මළවුන් අතර

සිනමාවේ තුන්වැනි දශකය අවසන් වනවිට චිත්‍රපටයක අන්තර්ගත වූ ගීත සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවන්ට විය. ඇතැම් චිත්‍රපටවල ගීත දෙකක් හෝ තුනක් දක්නට තිබූ අතර එකදු ගීතයක් හෝ අඩංගු නොවූ චිත්‍රපට ද තිරගත විය. ගීත ඇතුළත් වූ චිත්‍රපටවල ද ප්‍රථම හා ද්විතීය දශකයන්හි පැහැදිලිව විද්‍යමාන වූ ‘ගීත වට්ටෝරුව’ දක්නට නොතිබිණ.

මේ ලිපියෙහි ලා සැකෙවින් විමසන ලද්දේ දශක තුනක කාලයක් තුළ සිංහල චිත්‍රපට ගීත වංශයෙන් සොයා සපයා ගැනුණු බෞද්ධාගමික දෘෂ්ටිය හා භක්තිය ප්‍රකට කරන ගීත පදමාලා සමුච්චයකි. මේ ලිපියෙහිලා නාමිකව හෝ සඳහන් නොවුණු තවත් එබඳු රචනා කොතෙකුත් තිබෙන්ට පුළුවන.

● ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment