මේ මගේ කතාව- අසිහියෙන් ලියූ සටහන්

185

පපු අමාරුව !

මං පුංචි කාලෙ ඉඳලාම අසනීපකාරයෙක් කියල මං කිව්වාද මන්දා. මට තියෙන්නෙ පපුවේ අමාරුවක්. මගෙ පපුව හොඳ නෑ. කොච්චර සන්තෝසෙන් ඉන්න බැලුවත් මට එහෙම ඉන්න බෑ. පපුව ඇවිලෙනවා.

හුඟක්ම ටීවී එකේ හරි පත්තරේ හරි ප්‍රවෘත්ති බලද්දි මට අල්ලන පපුවේ කැක්කුම හොඳ වෙන්නෙ දවස් තුන හතරක් ඉස්පිරිතාලෙ නැවතිලා. ඔය හින්දා දැන් මං ටීවී එකවත් පත්තරේවත් බලන්නෙ නෑ. පත්තර් විස්තරේවත් බලන්නෙ නෑ. ඊයේත් මං හිටියේ ඉස්පිරිතාලෙ. මේ සැරේ පපු කැක්කුම ඇල්ලුවේ පුතාගේ ලැප්ටොප් එක හදන්න දුන්නු කඩෙන් ඒක ආපහු ගන්න ගිහිල්ලා. ලැප් එකේ මං ලියපු මොනවදත් තිබුණා. වැඩකට ඇති දේ නෙවෙයි, නිකන් කවි, කෙටිකතා, නවකතා වගේ දේවල්. ඒත් ඒක හදපු මෑන් කියනවා “මේකෙ ඩේටා මොනවත් තිබුණෙ නෑ. මං ඒ හින්දා මේක ෆෝමැට් කළා” කියල. ෆෝමැට් කළා කියන්නෙ ආයෙ ලියපු කිසිවක් ආපහු ගන්න බෑ. කමක් නෑ. සාහිත්‍යය කන්නද? හැබැයි මිනිහා හදපු මැෂිම ආපහු දෙන්න හදද්දි මං කිව්වා එපා, පුතාටම දෙන්න කියලා. මොකද ලැප් එක හැදුවාට ගෙවන්න තියෙන ගාන ඇහුවොත් පපුවේ කැක්කුම අඩු වෙනවා කියල මට දැනුණා. ඒකට මං කැමති වුණේ නෑ. ඇත්ත වශයෙන් මොන කැක්කුමක් වුණත් ටික වෙලාවක් දරාගෙන ඉන්නකොට සනීපයක් දැනෙනවා. දැන් මං මුලින් මුලින් තෙල් පෝළිමේ නිදිවරපු දවස්වල හිටියේ උහුලන්න බැරි වේදනාවක. ඒත් තුන්වෙනි, හතරවෙනි වතාවට පෝළිමට වැටුණාම මට මාර තෘප්තියක් දැනුණා. සුවයක් දැනුණා. ඒ හින්දා ඒ වතාවල මං පෝළිමට ගියේ සිගරට් පෙට්ටියක්, බූරු කුට්ටමක් එහෙම ඉනේ ගහගෙන. දැන් ඉන්න අපේ ලොකු මහත්තයා මුල් පුටුවේ වාඩි වෙලා පෝළිම්වලට තිත තියද්දි මට ඇත්තට හරි දුකක් දැනුණා. මොකද මගේ සතුට දැන් නැති වෙන හින්දා. ඒත් හොඳ වෙලාවට පෝළිම් නැති වෙනකොට ලොකු මහත්තයා දියවන්නාවේ කට්ටියත් එක්ක තව අලුත් දේවල් ඇති කළා පපුවේ කැක්කුම වැඩි කරන. දැන් බලන්න, ලොකු මහත්තයා පුරාවිද්‍යාවේ කට්ටියට ඉතිහාසය උගන්වනවා. පුරාවිද්‍යා ස්මාරක ගලවලා ඒ ඉඩම් මිනිස්සුන්ට බෙදා දෙන්න යනවා. ඒක කොච්චර සතුටුදායී ආරංචියක්ද! ඒත් අපි ඒකෙන් පපුවේ කැක්කුම හදාගන්නවා. අන්න අපේ කරුමෙ!

ඊයේ හැන්දෑවේ අල්ලපු පපු කැක්කුම දරාගන්න බැරි තැන මං මිදුලට බැහැලා උඩ බැලුවා. දැන් අවුරුදු දෙකක් තිස්සෙ මං කරන්නෙ උඩ බලාගෙන ඉන්න එක තමයි. බිම බැලුවාම පපු කැක්කුම වැඩි වෙන හින්දා. රාත්‍රී අහසෙ තාරකා වැහි වැහැලා. ඒ තාරකා බල බලා ඉද්දි මං දැක්කා අහසෙ මහා බල්ලා. මහා බල්ලා තවමත් ඉන්නවාද? ඇයි එහෙම අහන්නෙ? බල්ලන්ට ඉඩක් නැද්ද මේ රටේ? ඇත්ත වශයෙන් මට බල්ලො එක්ක ආරෝවක් නෑ. මට ආරෝව තියෙන්නෙ මගේ හතර වටේ ඉන්න හතරවරං ගහන උන් එක්ක. උන් බල්ලන්ට කන්න දෙනවා මොන බලු වැඩේ කළත්. වෙලාවකට මට හිතෙනවා මේ හතරවරංකාරයින්ට වැඩේ දෙන්න රතු පාටින් වැඩේට බැහැලා. ඒත් රතු බෝලෙන් ගහන්න එපා, සුදු බෝලෙන් විතරක් ගහන්න කියල ඉන්දියාවේ දෝනි කිව්වා මට ඇහුණා. කාට කිව්වා වුණත් ඒක හොඳ නිරීක්ෂණයක්. මොකද දැන් කී සැරයක් රතු පාටින් ගහන්න ගිහින් අපි ඇණගෙන තියෙනවාද!

පපුව නැතුව මිනිහෙකුට ජීවත් වෙන්න බෑ. ගෑනියෙකුට කොහොමත් බෑ. දැන් මං පපු කැක්කුමෙන් කෑගැහුවා වුණත් මං පපුවෙන් වැඩ ගත් කාලයකුත් තිබුණා. වතාවක් මං පපුවට ගහගෙන ගහගෙන ගියා. කාටහරි බේගලයක් ඇදබාද්දි මං කියන්නෙ ඇත්තක් බව අඟවන්න මං කළේ පපුවට ගහගැනීම. දැන් මං ඒක කරන්නෙ නෑ. මොකද දැන් අපි වටේ ඉන්නෙ මහ දුර්ජන, මුල මතක නැති මිනිස්සු කොටසක්. ඇත්ත වශයෙන් මෙහෙම මිනිස්සු එක්ක ඉන්නවාට වඩා හොඳයි මේ රට හැරලා යන එක. මං රට ඉඳලා මෙහේ පදිංචියට ආපු අපේ මල්ලිටත් කිව්වෙ උඹ පලයන් හිටපු රටටම, මෙහෙ පස් පාගන්න එපා කියල. ඒත් මලයණ්ඩි ගියේ ඌ හිටපු රටට නෙවෙයි, වෙන රටකට. එහෙ හිටියෙත් සතියයි දෙකයි. ගින්න නිවෙනකොට මෙන්න ඌ ආයෙ මෙහෙ ආවා. මටත් වැරදුණා කියල පස්සෙ මට හිතුණා. එතකොට බූරුවා පැනලා ගිහින්.

සමහරු කියනවා මගේ පපුවේ හිලක් කියල. ඕකට බයිපාස් සැත්කමක් කරන්න ඕන කියල. ඒත් සැත්කමකට දිනයක් වෙන් කරගන්න කරන්න වෙලා තියෙන හොර වැඩ දිහා බැලුවාම මං කල්පනා කළා හිලක් තියෙන එක හොඳයි හිල වහනවාට වඩා කියල. මෙතන දොස්තරලාටත් අල්ලන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා: මගේ පපුවේ කැක්කුම වැඩි වෙන්නෙ හුඟක් වෙලාවට මං කරපු මෝඩකම් මතක් වෙනකොට. මගේ ජීවිතේ පිරිලා තියෙන්නෙ මෝඩකම්වලින්. මං පල් මෝඩයෙක්. මං කරපු පල්ම මෝඩකම තමයි ගෑනියෙක් ගත්තු එක. ගෑනි එක්ක යාළු වෙලා ඉන්න කාලෙ මගේ පපුව නිතර ඇවිලුණා. ගෑනි නොදැක ඉන්න තරමට ඇවිලිල්ල වැඩි වුණා. ගෑනි දැක්ක ගමන් ඇවිලිල්ල කොහෙන් ගියාද නෑ. ඉතිං මං කසාද බැන්දා. අන්න ඒ පාර ඇවිලුණු පපු කැක්කුම ගෑනි දකින තරමට උත්සන්න වුණා. ඒක මොන කරුමයක්ද! මං දන්නෙ නෑ මං කියන ඒවා අනික් මිනිස්සුන්ටත් එහෙමද කියල. ඔය දොරමඬලාව වගේ බලද්දි මට හිතෙන්නෙ මේක මගේ ප්‍රශ්නයක් මිස ලෝකෙ ප්‍රශ්නයක් නෙවෙයි කියල. මොනවා වුණත් මං ප්‍රාර්ථනා කරනවා මතු ආත්මෙ මමත් දොරමඬලාවේ කියන විධියෙම මිනිහෙක් වේවා කියල. දැන් වුණත් මං ලෑස්තියි ඒකට කමටහනක් ගන්න හසන්තගෙන්.

මොනවාද මේ කියවන්නෙ? මගෙ පපුව රිදෙනවා. හුස්ම හිර වෙනවා. කෙළ ගිලෙන්නෙ නෑ. හෑල්ලුවට ගන්න එපා මිනිහෝ මේවා! තව දවසක් දෙකක්වත් ජීවත් වෙන්න බලපන්! ඉස්සෙල්ලා මේකට බේතක් හේතක් ගනින්! ඊට පස්සෙ කියපන් උඹේ වැදි බණ! ඔන්න මගේ පපුව කියන කතා. ඇත්ත වශයෙන් මේ කිසිවක් සෙල්ලමක් නෙවෙයි. ජීවත් වීමයි රටට සේවය කිරීමයි එකට යන්නෙ නැති රාජකාරි දෙකක්. ඒත් පුංචි කාලෙ ඉඳලාම අපට බල කරනවා උපන්නා නම් රටට වැඩක් කරපන් කියල. ඒත් කෝ ඒකට රටක්? කෝ ජීවත් වෙන්න මඟක්. මිනිස්සු ඉන්නවාද මේ රටේ? හදවත රත්තරන් මිනිස්සු? හදවත රත්තරන් ජෝතිපාල මළා මොන කුණු සිංදු කිව්වත්. ඒත් රත්තරන් මිනිස්සු අද ඕන කරනවා. රත්තරන් කියල එකෙක් ඉන්නවා නේද කවුන්සිලේ? රත්තරන් උගස් ගන්න එකෙකුත් ඉන්නවා නේද ඊයේ පෙරේදා ගියපු? අර රත්තරන් කාරෙකක්, කුණු කන්ටේනර් තොගයක් එහෙම ලංකාවට ගෙන්නෙව්වෙ. අන්න ඌට කථා කරපන්! උගේ බැංකුවට සින්න උන මගේ සේසත බේර දෙන්න කියපන්! අඩු ගානෙ ලීසිං වාහනවලට දුන්නැයි කියන ණය සහනය කෝ කියල අහපන්! අන්න එතකොට සමහර විට මගෙ පපුවේ අමාරුව හොඳ වෙයි. අඩු ගානෙ ගෑනිගේ මරළතෝනිය අහන් නැතුව ඉන්න පුළුවන් වෙයි.

මට හිතෙනවා මේ මගේ ජීවිතයේ අන්තිම දවස් කීපය කියල. මොන තරම් අඳුරු අදහසක් වුණත් ඒක තමයි ඇත්ත. මොකද හදවතක් නැතුව ජීවත් වීමෙයි හදවත පැලිලා මියයෑමෙයි අතර වෙනසක් නෑ. හදවතක් නැති වුණා නම් මටත් තිබුණා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. ඒත් මට හදවතක් තියෙනවා. ලබ්… ඩබ්… ලබ්… ඩබ්… ලබ්… ඩබ්… ඇහෙනවා නේද සද්දෙ? ඒ සද්දෙ ඇහෙන්නෙ හදවත තියෙන මිනිහෙකුට. හදගැස්ම හඳුනන මිනිහෙකුට. හිතක්, පපුවක් නැති මිනිහෙකුට ඇහෙන්නෙ නෑ ඒක. නිකන් පපුවට ගහගත්තාට පපුවක් තියෙනවැයි කියල හිතන්න එපා. කෝට් බෑයකින් වහගත්තාට, ජාතික ඇඳුමෙන් සුදු කරගත්තාට හිතන්න එපා හිතක් පපුවක් තියෙනවා කියල. පපුවක් තියෙන මිනිහෙක් ඉස්සෙල්ලා හොරෙක් වෙන්න ඕන. ගේම්කාරයෙක් වෙන්න ඕන. ඊට පස්සෙ පාවා දෙන්නෙක් වෙන්න ඕන. ඒත් එක්කම තවෙකෙකුගේ දුක දැක්කාම කඳුළක් වැටෙන්නත් ඕන. හිතක්, පපුවක් ඇති මිනිහෙක් හොරෙක් වෙන්නෙ ඇයි? ජීවත් වෙන්න. ගේම්කාරයෙක් වෙන්නෙ ඇයි? ජීවත් වෙන්න. පාවා දෙන්නෙක් වෙන්නෙ ඇයි? ජීවත් වෙන්න. ඒත් එහෙම ජීවිතයක් මොකටද! රැවටිලිකාර, තුප්පහි ජීවිතයක්! එහෙම ජීවිතේකින් ඇති ඵලේ මොකක්ද! දෙයියම්පා එහෙම ජීවිතයක් මට එපා!

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment