විශ්වීය ගෝලීය සමාජයක් තුළ රටක අනන්‍යතාව ගොඩනැඟෙන්නේ කෙසේ ද?
ඒ සඳහා මූලික වන සැබෑ ජාතික චරිත අප හඳුනාගන්නේ කෙසේ ද? යන්න දිගු කලක සිට ජාතික චින්තනය අරභයා නිරන්තරයෙන් නැඟෙන සංවාදශීලී ප්‍රශ්නයක් වී ඇත. ජාතික චින්තනය යනු එක ජාතියක් හා එක ආගමක් මත පමණක් ගොඩනැඟී ඇත යන සාවද්‍ය ආකාල්පය ද ඒ සමග ම මතු වී පෙනෙන්නට තිබුණේ ඇයි? ඉමිතියාස් බාකීර් මාකාර්ගේ ‘මගේ කතාව’ නම් ස්වයං ලිඛිත චරිතාපදානය දින ගණනාවක් කියවීමෙන් පසුව එම ප්‍රශ්නයන්ට සැලකිය යුතු පිළිතුරක් දියහැකි කරුණු රැසක් එහි අන්තර්ගත බව මට හැඟුණි.
ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලෝකයට ම පෙන්වා දියහැකි අපූර්ව අවස්ථා රැසක් එහිදී පැහැදිලිව දක්නට ලැබීම එයට හේතුවයි.

මෙරට සමාජ මාධ්‍යයන්ගෙන් නිරතුරුව අප නෙත ගැටෙන ව්‍යාජ ජාතික චරිත ඉක්මවූ ප්‍රගල්භ ජාතික චරිතයක් ඒ තුළ සිටීම තදින්ම මා සිත් ගත්තකි. එහිලා ප්‍රධාන කරුණකි. ඒ චරිතය සැබැවින්ම ජනතාවට කියන්නේ කිසි දිනක පරණ නොවන සදාතනික පණිවුඩයකි. ශ්‍රී ලාංකේය සමාජයේ ශක්තිමත් පදනම වූ මිනිස්කම මූලික කරගත් වාර්ගික සහජීවනය හැමදාමත් රැකගනිමින්, තර කරමින්, මේ රට ගොඩනඟමු ය යන්නය. එය උතුම් අරමුණක් කොට, ඒ සඳහා සිය දිවියේ වටිනාම කාලච්ඡේදය නිර්ලෝභීව කැප කළ ඔහු ඉතිරිය කිරීමට සූදානම් වන්නැයි අපේ තරුණ පරපුරෙන් දයාබරිතව ඉල්ලා සිටියි.

මගේ කතාව ඉමිතියාස් බාකීර් මාකාර් ගේ කථාවකට වඩා මේ රටට ආදරය කරන අප හැමගේ ම කථාවක් වන්නේ ඒ නිසා යැයි මට සිතේ. කෘතියෙහි ගලා යන ඔහුගේ ජීවිත ප්‍රවාහයට බුදුදහමේ සිසිල් දිය දහරත්, සිංහල ජාතියේ පැන් පොදත් එකට එකතු වී අවසානයේ මිනිස්කමේ මහා සයුරක් නිර්මාණය වී ඇත.

සැබැවින්ම, අප බොහෝ විට හුරුව ඇත්තේ තමාගේ සංස්කෘතිය අන් සියල්ලට ම වඩා උදාරය යනුවෙන් සිතීමටය. මානව විද්‍යාඥයන් මේ තත්ත්වය හඳුන්වන්නේ මානව කේන්ද්‍රවාදය (Ethnocenterism) යන වචනයෙනි. මෙම කෘතිය මේ මානව කේන්ද්‍රවාදය ඉවතලමින් මානව වර්ගයාට වැඩදායක මිනිසකු වන්නේ කෙසේද යන්න රසවත්ව පෙන්වා දෙමින් ලියා තිබීම වැදගත්ය. මිනිසාගේ ගෞරවය රඳා පවතින්නේ ඔහුගේ ආගම, ජාතිය හෝ පන්තිය මත නොව, ඔහු දියුණු කර ගත් මිනිස්කම පිළිබඳ උතුම් ගුණ දහම මත බව මින් රසවත්ව පෙන්වා දේ. ඉමිතියාස්ගේ මෙම දැක්ම පෝෂණය වන්නේ ඔහුගේ ගුරු බිම වූ මෙරට බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වූ ආනන්දයෙනි.

‘ආනන්දය ලොවට විවෘත වූ තැනක්. ඕල්කොට්තුමන්ලා, ලෙඩ්බීටර්ලා මෙන්ම සිවගුරුනාදන්ලා,තනබාලසිංගම්ලා, කුලරත්නලා, ටී.බී. ජයාලා, මලලසේකරලා මෙන් ම ග්‍රේනියර්ලා ආදීන්ගේ සෙවණ ලැබූ විවිධත්වය තුළ එකමුතුවක් එහි තිබුණා. සහෝදරත්වය හා සමානාත්මතාව එහි තිබුණා. විනය එහි තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදය එහි තිබුණා. එය විවිධත්වය තේරුම් ගන්නාවුත්, ඊට ගරු කරන්නාවුත් පරිසරයක්. එය බුදු දහමේ හරයන් සහ වටිනාකම් පිළිබඳ ආදර්ශයක් ලොවටත් රටටත් දෙන පරිසරයක්.

‘බෞද්ධ ආනන්දයේ දී මා බෞද්ධ ශිෂ්‍යයකු නෙවෙයි යන හැඟීම මට කවදාවත් ඇතිවුණේ නෑ. එහෙම වෙනස් හැසිරීමක්වත් බහුතර ශිෂ්‍යයන්ගෙන් මම කවදාවත් දැක්කෙ නෑ.’

ජාතිය, ආගම ඉලක්ක කරගත් ගෝත්‍රික දේශපාලනයේ ආදීනව අපි කොතෙක් අත්දැක ඇත්ද? එහිලා හේතු භූත වූ මූලයන් නිවැරදිව හඳුනාගැනීමක් මේ කෘතියේ එන ඉමිතියාස්ගේ ජීවන තොරතුරුවලින් පළවේ.

‘දැන්වත් අප ඉතිහාසයෙන් පාඩමක් උගත යුතුව තිබෙනවා. මේ ගෝත්‍රික දේශපාලන සටන්වලින් ඉවත්විය යුතුව තිබෙනවා. මේ ළිංමැඩි සිතුම් පැතුම්වලට සමුදිය යුතුව තිබෙනවා.’

මෙම කෘතියෙහි ඇති තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ කතුවරයා ඇසුරු කළ මෙරට ප්‍රබල දේශපාලන නායකයන් පිළිබඳව බොහෝ දෙනකු නොදන්නා – එහෙත් දතයුතු තොරතුරු සහ අගනාකම් රාශියක් මධ්‍යස්ථව ඉදිරිපත් කිරීමයි. 1970 දී එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත්ව සිටියදී, එවකට ආනන්දයේ ශිෂ්‍යයකු වූ ඉමිතියාස් තවත් පිරිසක් සමග ඩඩ්ලි සේනානායක මහතා හමුවී එ.ජා.ප. තරුණ සංගමයක් පිහිටුවීම පිළිබඳ ඉල්ලීම කළවිට එතුමා දුන් පිළිතුර මෙයයි.

‘පුතාලා දැන් හොඳට ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්න වයස. විශ්වවිද්‍යාලයට ගිහින් ආවට පස්සේ දේශපාලනය කරන්න පුළුවන්. ඒ වෙලාවට අපි ඔයගොල්ලන්ට අවස්ථාව ලබාදෙන්නම්.’

තම දේශපාලන අරමුණු සඳහා ශිෂ්‍යයන් ඉත්තන් කර ගන්නට සූදානම් නොවූ අවංක නායකයකුගේ ප්‍රතිරූපය තමා ඩඩ්ලි වෙතින් දුටු බව ඉමිතියාස් කියයි. එමෙන්ම 88-89 භීෂණ සමයේ සිදුවූ මිනිස් ඝාතන සහ ඒවාට පසුබිම් වූ දේශපාලන පසුබිම් විස්තර කරනවිට ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා කළ ප්‍රකාශයක් මෙසේ දක්වා ඇත.

“ඇස් දෙක වහගෙන ඕනෑම කැලෑවකට එන්නට මම ලෑස්තියි. තවදුරටත් ජීවිත විනාශ නොකර තිබෙන ගැටලු අපි සාකච්ඡා කර විසඳා ගනිමු”

1988 පමණක් නොව, 1971 කාලයේත් මෙරට පැවැති දේශපාලන විපර්යාස හා ගැටුම් දෙස මෙම කෘතිය හෙළන දෘෂ්ටිය අදාළ කාලච්ඡේදයන්ට ආධාර වන්නකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එ.ජා.ප.ය සමග අත්වැල් බැඳ කටයුතු කිරීමට ඉමිතියාස් කළ ආරාධනයක දී ජනාධිපතිවරයා කළ මෙම ප්‍රකාශය දේශපාලනයේ දී මිතුරුකම්, සතුරුකම් සදාකාලික නොවන්නේය යන්න පැහැදිලි වූ තැනක් බව ඔහු පවසයි.

“ඒත් මට රනිල් එක්ක ඒ වැඩේ කරන්න බැහැ. රනිල් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඔයගොල්ලෝ රුක්මන්ව නායකයා කරගන්න. එතකොට මට ඒ ගැන ඇත්තටම හිතන්න පුළුවන්.”

මෙම ජීවන කථාව අපට පැහැදිලිව විද්‍යාමාන කරන තවත් ගුණාංගයක් ඇත. එනම් විශිෂ්ට නායකත්ව ලක්‍ෂණ (Leadership Qualities) පුද්ගලයකුගේ පෞරුෂයේ ක්‍රමානුකූලව ගොඩනැඟෙන අපූර්ව ආකාරයයි. නායකත්වය බලෙන් ලබාගත යුත්තක් හෝ පිය උරුමයෙන් ලබාගත යුත්තක් නොව, හැකියාව සහ කැපවීම තුළින් දිනා ගතයුත්තක් බව ‘මගේ කථාව’ කදිමට පෙන්වා ඇත.

මගේ කතාව රටේ අනන්‍යතාව ගැන කියන කතාවක්!

ඉමිතියාස්ගේ ජීවන චරිතය තව පැත්තකින් සමකාලීන තරුණ දේශපාලකයන්ට පාඩම් රැසක් උගත හැකි අගනා අත්පොතක් ලෙස ද සැලකිය හැක. ඔහුගේ නොපසු බස්නා වීර්යය, දෙමාපිය පරපුර, සමාජ ඇසුර, අප්‍රමාණ කැපවීම, ඍජු ස්ථිරසාර ගුණය, පරාජයන්හි අකම්පිතව සිටීම සංස්කෘතික අනන්‍යතාව මුසු වූ ජීවිත අත්දැකීම් පරිච්ඡේද 19ක් දිගේ ගලා යන්නේ අව්‍යාජ මිනිස්කම සියලු බලයන් අබිබවා පවතින්නක්ය යන ඔවදන මෙරට දේශපාලනයට නිහඬව පෙන්වා දෙමිනි. එහෙත් අද අප දකින දුර්දාන්ත දේශපාලන චරිත නිසා ම පාර්ලිමේන්තුවේ 255 ම සොරුන් බවට නීතිගත කර ඔවුන් එළවා දැමිය යුතුයි යන සටන් පාඨය අද ඉදිරියට පත්ව නොතිබේද? සරුපසක රෝපණය වුවද, නිසරු පසක රෝපණය වුවද මෙම මුල් සිදුන නිසරු චරිත අප්‍රමාණව සමාජ දේහයට බලපෑම් කිරීමට අද සුදුස්සන් වී නොසිටීද?

මෙබදු පසුබිමක ඉමිතියාස් බාකීර් මාකාර් බලයට ලොල්ව එය අතහැර යෑමට අකමැති බලකාමී චරිතයක් නොවී සිටියි.

“මම තව එකපාරයි ඔබලාගෙන් ඡන්දේ ඉල්ලන්නේ. ඔබලාට මගේ හිත පිරෙන්න ණය ගෙවනවා. ඉන් පස්සේ මම ඡන්දෙ ඉල්ලන්නේ නෑ. හැමදාම තාත්තල පුතාලට විතරක් ඔබලා ඡන්දය දීම සුදුසුයි කියලා මම හිතන්නේ නෑ. ඔබලා අතරින් දක්ෂයින්ට මතුවන්ට අවස්ථාව සැලසීම මගේ යුතුකමයි.

තමන්ගේ දේශපාලන බලයෙන් තම දරුවන් ඔසවා තබන්නට දිවි හිමියෙන් කැපවෙන දේශපාලකයන් සිටින රටක ඉමිතියාස්ගෙන් ඇසෙන්නේ මෙබඳු කතාවකි.

“දරුවන්ගේ අධ්‍යාපනික සහ අමතර කටයුතුවල සාර්ථකත්වය ගැන තාත්තා කෙනකු ලෙස මම නිහතමානී සතුටක් ලබනවා. ඒත් එක්ක ඔවුන් මහ පොළොවේ පය තබාගෙන සිටීමත්, යම් දිනක තම හැසිරීම් ගැන දෙවියන්ට උත්තර දීමට සිදුවන වග දැන අවබෝධයෙන් කටයුතු කරන බවත් දක්නට තිබීමත් මට සැනසීමක්.

පොදු වශයෙන් සලකතොත් ඉමිතියාස් බාකීර් මාකාර්ගේ ‘මගේ කතාව’ නව පරපුරට අලුත් වටිනාකම් රැසක් එකතු කර ගතහැකි අගනා කෘතියකි. කෘතියේ භාෂාව, අවස්ථා නිරූපණය, කරුණු ඉදිරිපත් කිරීමේ වැදගත් බව මෙන්ම ඉන් ලැබෙන ජීවිතාවබෝධය ද වැදගත්ය. මෙරටේ කීර්තිමත් ජාතික ආයතන සහ පුද්ගලයන් රැසක් එම පසුබිමෙහි හඳුනාගත හැකිවීම එයටත් වඩා වැදගත්ය. දශක 05ක පමණ අතදීර්ඝ කාලයක් ලංකා සමාජයේ කේනද්‍රීය චරිත සහ සිදුවීම් බැහැර නොකර අමතක නොකර නිර්ව්‍යාජව ඉදිරිපත් කිරීමට කතුවරයා උනන්දු වී ඇත. ඒ නිසා ම ‘මගේ කතාව’ බොහෝ චරිත කතාවලට වඩා සුවිශේෂී වූවක් බව නැවතත් කිව යුතුය. එය ඉමිතියාස්ගේ කතාවට වඩා අපේ රටට අවංකවම ආදරය කරන අප සැමගේ ම කතාව ලෙස සැලකීම නිවැරදිය.

● දයා අමරසේකර
සම්මානිත මහාචාර්ය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment