දුක හිතෙන කතාවක්

මං බංගලාදේශ – ශ්‍රී ලංකා අන්තිම ටෙස්ට් මැච් එක බල බලා සිටියේ ටීවී එකේ. දොරට ගහන සද්දෙ ආවේ එතකොට. ඒත් මං එළියට ආවේ නෑ. මැච් එක දිනලා ඒ වෙද්දි අපි. ජය සංකේත ප්‍රදානය සිදු වෙන්න ඔන්න මෙන්න. මට ඕන වුණේ අපේ කට්ටිය කප් එක උස්සනකොට කරන දේ බලන්න. කිංඩි දානවා බලනවා හැර සැපක් තියේද මේ කාලෙ! අර සීනුවේ කට්ටිය දාන කිංඩි කොහොමද! ආයෙ දොරට තඩි බෑවා. තඩි බාපුවාවේ. අද ගෙදරකට දොරකට වැදගම්මකට ඇති මිනිහෙක් ගොඩ වෙනවායැ!

දොර ඇරියෙ නැති තැන වෙඩි සද්දෙකුත් එක්ක මහ හඬින් දොර කඩාගෙන බිම වැටුණා. මොකක්ද මේ වෙච්ච අපරාදෙ! ඒ සැණින් ගෙට ඇතුල් වුණේ පොලිස් රාලහාමිලා කට්ටියක්. සිවිල් පිටින් කට්ටියක්. සිවිල් නැතුව තව කට්ටියක්. “ඇයි රාලහාමි දොර කැඩුවේ?” මට අහන්න පුළුවනෑ එහෙම! මේ පොලිසිය. ශ්‍රී ලංකා පොලිසිය. උගත් මිනිස්සු එක්ක කථා කරන්න බෑ මේ කාලෙ. ඒත් නිල් පාට ටීෂර්ට් එකක් ඇඳගත්තු තොල් මහත, භාගෙට තට්ටෙ තියෙන, බඩ තඩි මහත්තයෙක් ඉස්සරහට ආවා. මට හුරුපුරුදුයි වගේ පුද්ගලයා. තට්ටෙ ගෙඩියක් දැක්කෙ එතකොට. මේ අරගලේදි තට්ටෙට වැදුණ පොලිස් රාලාමි නේද? දෙයියෝ සාක්කි! මේ දේසබන්දු පොලිස්පතිතුමානෙ.

“සමාවෙන්න, දේසබන්දු මහත්තයා! මට අඳුනගන්න බැරි වුණා!”

“නෑ, නෑ, සමාව ඉල්ලන්න දෙයක් නෑ. අපි ඕනත් නෑ සමාව ඉල්ලන්න. පොලිසිය සමාව ඉල්ලන්නෙ මොන රටේද! හැබැයි අපි ආවේ ඔත්තුවකට. අපට ඔත්තුවක් ආවා තමුන්නාන්සෙගේ ගෙදර කුඩු තියෙනවා කියල!” දෙස්බඳුතුමා කියා සිටියා නිවීහැනහිල්ලේ.

“නිවීහැනහිල්ලෙ කථා කරන්න එපා රාලහාමි. මගේ ගෙදර දොර කැඩිලා!”

පිට වුණානෙ ඒ වචන ටික මගෙන්. බාගවිට හරිම වචන පිට වෙනවා හරි වලාවට හරි මිනිසුන්ට.

“ඇයි තමුසේ දොර ඇරියෙ නැත්තෙ? නීතිය උල්ලංඝනය කළොත් පොලිසිය වෙඩි තියනවා. ශ්‍රී ලංකා පොලිසියනෙ මේ.”

උත්තර දුන්නෑ මං ඒකට. උත්තර දෙන්න හොඳ නෑ සමහර ප්‍රශ්නවලට. නිදැල්ලේ යන්න දෙන්න ඒවා. සංගා වගේ. ඇරත් උත්තර දෙනකොට පොලිසියට ලංකාවේ දඩකොළෙත් ලියලා ඉවරයි.

පොලිසිය හැරුණේ කුස්සියට. මාත් ගියා කුස්සියට දේසබන්දු මහත්තයාගේ පසුපස්සෙන්. අජිත් රෝහණ මහත්තයාගේ පස්සෙනුත්

ගියා ඉස්සර. ඒත් මෙයා ඉස්සර වුණා එයාට කලින්. ඒකට කරන්න දෙයක් නෑ.

“දවල්ට කෑවේ කිරිබත්ද?” බත් මුට්ටිය වහුන් ඇරපු දෙස්බඳු කථා කළා.

පොල් ගණන්නෙ රාලාමි. කිරිබත් නෙවෙයි ඔය. අමු බත්. ලුනුයි බතුයි නරක නෑ රාලාමි! ටිකක් කනකොට රහයි. බෙදන්නද බත් ටිකක්? ලුනුත් නැති කාලයක් පහු කළා නෙවෙද අපි?

“මෙන්න රාලාමි බත් ටිකක්?”

ඇයි එරෙව්වේ රාලහාමි?

“ඕයි මං ආවේ බත් කන්න නෙවෙයි. ගන්නවා කුඩු එළියට!” යකාවේෂ වෙලාද දේශබන්දු මහත්තයා?

“සමාවෙන්න රාලාමි!”

“ඕයි. රාලහාමි නෙවෙයි. මං අයිජීපී!”

ආයේ කෑගැහුවා දේශ බන්දු තුමා.

“සමාවෙන්න රාලහාමි! අයිජීපී! පොලිසිය කිව්වාම කටට එන්නෙම රාලාමි!”

මං සමාව ඉල්ලද්දි දෙස්බඳු තෙන්කෝනුන් වහුන් ඇරියා වංගෙඩිය.

“මං කිව්වෙ රාලාමි, සමාවෙන්න! අයිජීපී. පොල් තියෙනවා නම් ලුනුයි බතුයි කන්නෙ නෑනෙ සර්!”

“කමක් නෑ. සමාව දෙනවා මේ පාර මං තමුසෙට. හැබැයි ලෑස්ති වෙනවා ඊළඟ පාර කූඩුවට යන්න!”

ඇයි සර් එහෙම කියන්නෙ? කවදාවත් මං කුඩු ගහලා නෑ. ගංජා දුමක් අදිනවා ඉඳහිට. යාළුවෙක් මිත්‍රයෙක් හම්බුණාම කොහෙහරි.

“ඕන නම් බලන්න තව කුඩු තියෙනවාද කියල මෙහෙ සර්.”

“අපට පුළුවන් අයිසෙ කුඩු මකන්නත් කුඩු මවන්නත්.”

දෙස්බඳුතුමාට කේන්ති ගිහින්. පුළුවන්ද ඔබතුමාට මවන්නත්? එපා සර් මවන්න නම්. පොලිසිය මන්තර ගුරුකම් දන්නවා කියල දැනගෙන හිටියේ නෑ මං. ඒත් හැබැයි දන්නවා පොලිස්පතිකම් මවන්න පුළුවන් කියල ලොක්කන්ට.

“ඇත්ත වශයෙන් කුඩු නෙවෙයි ඕයි මට ඕන කළේ. තමුසෙ නේද අර පාස්කු බෝම්බ දවසෙ මං වගකීම් කරඇරියයි කියල ලිව්වෙ?”

මොනවාද මේ දොඩවන්නෙ? මං ක්‍රයිම් රිපෝට් ලිව්වෙ නෑ සර්. මං ලිව්වෙ හියුමන් ස්ටෝරීස්. එතනදි පොලිසිය සම්බන්ධ වුණාද කියල මං දන්නෙ නෑ. ඇරත් ලොකු ගෞරවයක් තියෙනවා මට ඔබතුමාට. කථා කරන්න පුළුවන් ඔබතුමාට ගොරෝසුවට. ෂහ්! මරු කට. ඇයි පෞරුෂය. ඒවාට මං තොප්පිය ගලවනවා මෙන්න!

“ලොකු වැරැද්දක් වෙලා තියෙන්නෙ සර්! කිසිම සම්බන්ධයක් නෑ මේකට සර්ගේ. සර් සම්බන්ධ කුඩු අල්ලන්න, කුඩු මවන්න විතරයි. එහෙම නේද සර්?”

තව කියන්න ඕන වුණා මට. හරි කනගාටුයි මට ඇත්තට. අසරණ මිනිස්සුන්ට තොණ්ඩුව දාන්න දෙන්න පුළුවන්ද වරදක් නොකරපු මිනිස්සුන්ට? පල්ලිය හැබෑට අතකොලුවක්ද කුමන්ත්‍රණේක? මිනීමරු කොටි අම්මා මූ නැතුව පුංචි එවුන්, ලොකු එවුන් මරාගෙන මරාගෙන යද්දි කොහෙද හිටියෙ පල්ලියෙ කට්ටිය? ඒ කාලෙ අහලා තිබුණාද කාදිනල් උන්නාන්සෙ කෙනෙක් ගැන? සිරිල් ගාමිණී? එයා නම් මතකයි එන්ජීඕවල සාමය ඉල්ලුවා. මානව හිමිකම් නඩු දිගහැරෙද්දිවත් හිටියද ඔය කට්ටිය?

“තමුසෙට දැන් තේරෙනවාද කාරණේ? පත්තරකාරයෙක්නෙ තමුසෙ. තේරෙන්න ඕන තමුසෙට මේවා.”

දේසබන්දුතුමා මිදුලෙන් පල්ලම් බහිද්දි මං පස්සෙන් ගියා එතුමාගේ. පස්සෙන් ගිහින් හරි දැනගන්න ඕන වුණා මට එක දෙයක් එතුමාගෙන්. බලන් ඉඳලා බැරිම තැන මං ඇහුවා ඒක:

“හැබෑට සර්, ඔය අල්ලන කුඩුවලට මක්කැයි කොරන්නෙ!”

දෙස්බඳුතුමා එක්වරම ගමන නතර කළා. ඉක්බිති කථා කළා ආයෙත්.

“මං අහන්නද ප්‍රශ්නයක් තමුන්නාන්සෙගෙන්?”

අමුත්තක් නෙවෙයි මට ප්‍රශ්න. හැමදාමත් ප්‍රශ්නනෙ. උත්තර නැති ප්‍රශ්න.

“අහන්න සර්”

“මට කියනවා අර යුද්දෙ වෙලාවේ අල්ලපු කොටි සල්ලිවලට, රත්තරන් බිස්කට්වලට මොකද වුණේ කියල. බහිරවයො සල්ලි – රත්තරන් ගිලින්න විධියක් නෑනෙ. ලෝහ ගිල්ලොත් බහිරවයො නෙවෙයි, මළ පෙරේතයො වුණත් මැරෙනවා.”

පරල වුණා මං බන්දු මහත්මයා අහපු ප්‍රශ්නෙට. ඒ හින්දාම මං මගේ ප්‍රශ්නෙත් ඉල්ලා අස්කරගත්තා. ඒ එක්කම තේරුම් ගියා මට ඉතිහාසයේ තියෙනවා කියල උත්තර නැති ප්‍රශ්න. උත්තර නැති ප්‍රශ්නයක් විධියට දෙස්බඳුතුමාගේ උත්තුංග ප්‍රශ්නෙ මං කාපට් එක යට හිර කරද්දි හඬ අවදි කළා ආයෙත් එතුමා.

“මං අහන්නෙ මල්ලි, ඇයි මේ කාදිනල් උන්නාන්සේ මාවම කන්න හදන්නෙ? පාස්කු ප්‍රහාරෙ එල්ල කළේ මංද? දැක්කාද මේ සැරේ මං කොච්චර ලොකු ආරස්සාවක් දුන්නාද පාස්කු දවසෙ?”

අයිජීපී මහත්තයා මතු කරපු ප්‍රශ්නෙ මට එවෙලාවේ තවත් ප්‍රශ්නයක් වුණා. ඇත්ත වශයෙන් පාස්කු ප්‍රහාරෙ මහමොළකරුවා කවුද? මට හිතෙනවා මේ මහමොළකරුවා මං දන්නවා කියල. ඇත්තටම මං දන්නවා ඒ අපරාදය කරපු එකා. හැබැයි මං කියන්නෙ නෑ. මං දන්නවා. ඒත් කියන්නෙ නෑ. කියන්නෙම නෑ. හැබැයි ඉඟියක් දෙන්න පුළුවන් මට. ඒ තමයි කොටහේනෙ පල්ලියෙත් කටුවාපිටිය පල්ලියෙත් සියෝන් පල්ලියෙත් මිදුලෙ හිටපු බල්ලො ටික. සුනාමිය එද්දි බල්ලො කිව්වෙ නැද්ද සුනාමිය එනවා කියල. එක බල්ලෙක් මැරුණාද සුනාමියට අහු වෙලා? කිංස්බරියේ නම් බල්ලො නෑ කියමු. බල්ලන්ට නෙවෙයිනෙ ඒවා හදලා තියෙන්නෙ. ඒත් පන්සල් – පල්ලිවල ඕන තරම් ඉන්නවා බල්ලො. බෝම්බෙ ගහන්න අයිඑස්කාරයො එද්දි මුන් කොහෙද හිටියෙ? මුන්ට බැරි වුණාද බෝම්බ ගහන්න ආපු එකෙක්ගෙ කකුලක් අල්ලන්න?

“මට මල්ලි දුකයි මේ දියත් වෙන කුමන්ත්‍රණේට. මං කුමන්ත්‍රණ කරන මිනිහෙක් නෙවෙයි. කුමන්ත්‍රණ කරලා මං පුටුවල වාඩි වෙලාත් නෑ. ඒත් මට ඕන යන්න කලින් මෙතනින් මං නිර්දෝෂයි කියල ඔප්පු කරන්න.”

අයිජීපීතුමා අඬන්න ගනිද්දි මට අමතක වුණා කැඩිච්ච දොර. වෙඩි කාපු දොර බිම පෙරළිලා තිබුණෙ ආයේ නැඟිට්ටවනවා බොරු කියන්නැහේ. ඇරත් මේ කාලෙ පුළුවන්ද ගෙවල් දොරවල් හදන්න. අන්තිමේ මං දෙස්බඳුතුමාට මගේ කනගාටුවත් ප්‍රකාශ කළා:

“පත්තරකාරයන්ට වුණත් වරදින්න පුළුවන් සර්! මං ආයේ ලියන්නම් ඔබතුමා පාස්කු ප්‍රහාරෙ ගැන හාංකවිසියක් දැනගෙන හිටියේ නෑ කියල.”

මං මගේ උත්තරේ කියනකොටත් අයිජීපීතුමා වෙරළුගහ පල්ලෙහායින් වහංගු වෙලා. මං කියපු කතාව උන්නැහේට ඇහුන්නෑ වගේ.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment