එක්දින ලෝක කුසලාන තරග කාලසටහන එළිදකී – සුදුසුකම් ලැබුවහොත් ශ්‍රී ලංකාවේ පළමු තරගය දකුණු අප්‍රිකාව සමග

2018

2023 එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (27 වැනිදා ) නිල වශයෙන් නිවේදනය කරන ලදී. ලබන ඔක්තෝබර් මස 5 වැනිදා තරඟාවලිය ආරම්භ වීමට නියමිත අතර නොවැම්බර් 19 වැනිදා තරඟාවලිය නිමාවීමට නියමිතය.

තරගාවලියේ සමාරම්භක තරගය පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ලෝක ශූර එංගලන්තය හා අනුශූර නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබෙන අතර එම සමාරම්භක තරගය මෙන්ම අවසාන මහා තරගය ද අහ්මදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මේ වන විට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එම අභියෝගය ජය ගතහොත් ඔවුන් ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දෙන පළමු තරගය ඔක්තෝම්බර් මස 7 වන දා දකුණු අප්‍රිකාව සමග දිල්ලිහිදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබුවහොත් කොලිෆයර් (qualifire 2) ලෙස ඔවුන් එම තරගාවලියට එක් වේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය ඔක්තෝබර් මස 12 වැනිදා පාකිස්තානයට එරෙහිව හයිද්‍රාබාද් හී දී ද තෙවැනි තරගය ඔක්තෝබර් 16 වැනිදා ඔස්ටේ්‍රලියාවට එරෙහිව ලක්නව් හීදී ද පැවැත්වීමට නියමිතය.

ඊළඟ තරගය ඔක්තෝම්බර් 21 වැනිදා ලක්නව් හිදී පැවැත්වෙන අතර සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් තේරීපත්වන අනෙක් කණ්ඩායම සමඟ එම තරගය පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 26 වැනිදා එංගලන්තයට එරෙහිව බැංගලෝර් හිදී ක්‍රීඩා කිරීමට නියමිත අතර ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඔක්තෝම්බර් 30 දා පූනේහිදී තරඟ වැදීමට නියමිතය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය නොවැම්බර් 02 වැනිදා මුම්බායි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර නොවැම්බර් 6 වැනිදා ශ්‍රී ලංකාව බංග්ලාදේශ කණ්ඩායම දිල්ලි හිදී හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකාව මූලික වටයේදී ක්‍රීඩා කරන අවසන් තරගය නවසීලන්තයට එරෙහිව නොවැම්බර් 9 වැනිදා බැංගලෝර් හිදී පැවැත්වේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය ඔක්තෝබර් 15 වැනිදා නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment