මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

362

විකාර සිහිනයක්

මම මං ගැන දොඩවන්න කැමති නෑ. දොඩවන්න මට දේකුත් නෑ. ඒත් මං කථා කරන්න ආසයි. මහත්තුරු එක්ක නෙවෙයි, නිකන් ඉන්න මිනිස්සු එක්ක. ඉබාගාතෙ යන මිනිස්සු ඉන්නෙ. හෙටක් ගැන හිතන්නැති මිනිස්සු. අපොයින්ට්මන්ට් නැති මිනිස්සු. බස් එකේ හොරා යන්න බලන මිනිස්සු. බුද්ධිමත් මිනිස්සු කොහොමද? අපොයි එපා! මට බුද්ධිත්තු පේන්න බෑ. සපත්තු පොලිෂ් කරපු මිනිස්සු, කමිසෙ උඩ බොත්තම දාගත්තු මිනිස්සු, සිහිකල්පනාවෙන් ඇවිදින මිනිස්සු…. මට බයයි ඒ මිනිස්සු එක්ක කථා කරන්න. ඔවුන් ඉස්සරහ මගෙ කකුල් පණ නැති වෙනවා දැනෙනවා. මං මේ මහපොළොවෙ උඩ ඉන්නවද කියල සැකයක් මට දැනෙනවා. මට ඕන මං වෙන්න. මං වෙන්න පුළුවන් ඉබාගාතෙ යන මිනිහෙක් එක්ක. ජිනදාස මුදලාලිගෙ කඩේ ලොයි බංකුව උඩ ණයට කහට උගුරක් බොන මිනිහෙක් එක්ක. මං ආසයි එහෙම මිනිහෙක් එක්ක ත්‍රෛලෝක විජයපත්තරයක් බලන්න. විජය පත්තරේ මං පුංචි කාලෙ බැලුවා. මල්මාමාගේ කතාව. කොහොමද ඒක? මරු නේද! ත්‍රෛලෝක විජයපත්තරේට නම් මගෙ ආසාව ඇවිලුවේ ඩයනා මැඩම්. ඩයනා මැඩම්ට මං හරි ආසයි. එයා කියන ඒවටත් ඒ හින්දා ආසයි හුඟක්. ඒත් ඒ පත්තරේ මං ගත්තෙ නැත්තෙ අම්මා හින්දා. අම්මා කියන දේ අහනවා මං කවුරු කියන දේ නෑහුවත්. ඒත් මං අම්මාට ද්‍රෝහි වෙලා තියෙනවා. මං වැඩියම ද්‍රෝහි වුණේ කාටද කියල ඇහුවොත් ඒ වෙන කාටවත් නෙවෙයි, මගෙ බිරිඳට. බිරිඳ වෙනකන් මං කවදාවත් බිරිඳට ද්‍රෝහි වුණේ නෑ. ඒත් බිරිඳ වුණාට පස්සෙ ඈට ද්‍රෝහි වෙන්න ගත්තා. හොඳටම ද්‍රෝහි වුණා. මං කොච්චර කැත මිනිහෙක්ද! ඔව්. මගෙ චරිතෙ හොඳ නෑ.

නිකමටවත් හිතන්න එපා තමුන්නාන්සෙගේ බිරිඳ මගෙ ළඟ ටිකකට නතර කරලා යන්න. එහෙම නතර කරලා ගියොත් මං ඈ එක්ක වැඩිය කථා කරන්න යන්නෙ නෑ. මොකද ඇය තමුන්නැහැගෙ බිරිඳනෙ. ඒත් ඇය මගෙන් වතුර වීදුරුවක් ඉල්ලුවොත් මං බොහොම කැමැත්තෙන් වතුර වීදුරුව ගෙනත් දෙනවා ඈට. පුදුමෙ කියන්නෙ මගෙ බිරිඳ එහෙම වතුර වීදුරුවක් ඉල්ලුවොත් මං ඈට වතුර ගේන්නෙ නෑ. “මං මේ වැඩක ඉන්නෙ. පේන්නෙ නැද්ද?” අහනවා තරහෙන්. තමුන්නැහැගෙ බිරිඳට වතුර වීදුරුවක් ගෙනාවාට පස්සෙ මට හිතෙන දෙයක් තමයි ඇයට දැන් බඩගිනි ඇති කියල. මං දන්නෑ මං එහෙම හිතන්නෙ ඇයි කියල. සමහර විට මට පේනවා අපේ පන්තියේ මිනිස්සුන්ගෙ කුස්සියෙ තත්ත්වෙ. එහෙම පෙනිලා මං ඈට ඊළඟට කන්න මොනවාහරි ගෙනත් දෙනවා. ළුෑනු පාන් ගෙඩියක්. එළවළු රොටියක්. හැලපයක්. මං හිතන්නෙ ඒවා ගුණයි කාන්තාවන්ට. තමුන්නාන්සෙ හිටියා නම් මං ගෙනත් දෙනවා වැල්පෙනෙල කොළ කැඳ කෝප්පයක්. මං එහෙම මිනිහෙක්. හැබැයි ඔය විධියට මං කෑම මොනවාහරි ගෙනාවාම මං දන්නවා ඈ මා එක්ක සාමීචි බස් දොඩනවා. කුළුපග කතා තෙපලනවා. අන්න එතකොට මං ඈට මගෙ මුදල් පසුම්බිය හිස් කරනවා. ගෑනුන්ට සල්ලි පෙන්නුවාම වෙන දේ දන්නවානෙ! ඒත් මං ගෑනු පෙරේතයෙක් නෙවෙයි මහත්තයා. මං සල්ලි පෙරේතයෙකුත් නෙවෙයි. සල්ලිවලට මං කොහොමටත් ආස නෑ. ආස නැති හින්දාද මන්ද ගෑනුන්ගෙන් මට බේරෙන්න බැරි වෙනවා. ඉතිං මං ද්‍රෝහියෙක් වෙනවා.

කොහොමටත් මං ද්‍රෝහියෙක් තමයි. ද්‍රෝහිකම මගෙ උපන්ගෙයි ගතියක්. දැන් නලින් ද සිල්වා. දන්නවානෙ අපේ ගණිත ආචාර්යතුමා. එතුමා මෙතනට ඇවිත් දැන් කතාවක් කළොත් මං පුටුවෙන් නැඟිටලා එතුමාට අත්පොළසන් දෙනවා. ඒවගේම සුමන්දිරන්. එම්.ඒ. සුමන්දිරන් ඇවිත් කතාවක් කළොත් මං එයාටත් පුටුවෙන් නැඟිටලා අත්පොළසන් දෙනවා. දෙනවා විතරක් නෙවෙයි, වානිවිලාස් එකට ගිහින් කෙහෙල්කොළේ බත් ටිකක් කමුද කියලත් යෝජනා කරනවා. ඒත් නලින් ද සිල්වාට නම් මං ඒ වගේ දේවලට ආරාධනා කරන්නෙ නෑ. මොකද මගෙ සාක්කුවේ කොයි වෙලාවකවත් සල්ලි නෑ. සල්ලි නැතිව ගමන් යන්න ඕන ෂුවර්ම මිනිස්සු එක්ක විතරයි.

මගේ බිරින්දෑ උදේ ඉස්කෝලෙ යනවානෙ. නෝනා ඉස්කෝලෙ හාමිනේ කෙනෙක් කියල මං කිව්වාද මන්ද! එයැයි පුතායි උදේ ඉස්කෝලෙ පිටත් වුණාම ආයෙ එන්නෙ හවස්වතේ ඉස්කෝලෙ ඇරිලා. එතකන් කාලය තමයි මගේ හොඳම කාලය. අන්න ඒ වෙලාවට මං ගුවන්විදුලියට සවන් දෙනවා. නෑ, සින්දුවක් අහනවා. මට ඇත්තටම සිංදු අහන්න රේඩියෝවක් නෑ ගෙදර. සිංදු අහන්න ඕන වුණාම මං බටුවන්හේන හන්දියෙ සැලුන් එක පැත්තෙ යනවා ඇවිදගෙන. එතන ඉන්නවා කොණ්ඩෙ කපන සුදා. සුදා කිව්වාට මිනිහා සුදු නෑ, කළුයි. ගමේ උන් නම් සුදාට කියන්නෙ වෙලේ සුදා කියල. ඌ නිළියන්ට සල්ලි දීලා නෑ. ඒත් ඌ ඉන්නෙ වෙලේ පැත්තක් ගොඩකරගෙන. ගොවි නියාමකතුමියට මොකක්ද දීලා කියනවා. අනේ මංදන්නෑ ඕවා. ඒත් සුදා හොඳ එකා. හන්දිය දෙවනත් වෙන්න සිංදු දානවා. මරු සිංදු. බස් සිංදු. බස්වලට සීමා වෙච්ච සිංදු පාරතොටට ව්‍යාප්ත වීම කොච්චර දියුණුවක්ද අපේ රටේ! මට හිතෙනවා බන්ධුල ඇමතිතුමා සුසිල් ඇමතිතුමා එක්ක සාකච්ඡා කරලා ප්‍රාථමික අංශවල ඉඳලා උඩට යනකන් හැම ඉස්කෝලෙකම උදේට, දවල්ට මේ බස් සිංදු ලවුස්පීකර්වලින් අහන්න දාන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළොත් හොඳයි කියල. බන්ධුල ඇමතිතුමාට ඒ දේ කරන්න පුළුවන්. මොකද අර අර්ධ සුඛෝපභෝගීද මොකක්ද කියල සුපිරි බස් වගයක් ධාවනය නවත්වලා තියෙද්දි ආයෙම පාරට දාලා තියෙන්නෙ එතුමා. ගාන සැරයි තමයි. මක්කොරන්නද! සල්ලි නැත්නම් නොගිහින් ඉන්නවකො ඒවායෙ. මේක ප්‍රජාතන්නත්‍රවාදී රටක්නෙ. තමුන්ට ඕන සිපෙට්කෝ නම් ඒකට යන්න. අයිඕසී නම් ඒකට යන්න. ඉතිං එතුමා ඕකට කියාපු මිනිහා. ඒත් පුදුමෙ කියන්නෙ සුදාගෙ සැලුන් එකේ අද දාලා තිබුණෙ සනත් නන්දසිරිගෙ සිංදු සැට් එකක්. වෙනදා එතන බස් අජිත්ගෙ, කිංස්ලිගෙ, දිමංකගෙ, දමිත් අසංකගෙ, චාමර රණවකගෙ එළකිරි සිංදු අහන මං අද ඇහුවේ සනත්ගෙ ‘නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්’, ‘බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි’, ‘කවුරුදෝ අර කවුළුවෙන්’ වගේ මෙලෝ රහක් නැති සිංදු වගයක්. මං සුදාට කිව්වා “දානවකො හරි සිංදුවක්. ඕවා සිංදුද!” කියල. සුදා කිව්වෙ මෙහෙම කතාවක්. “එහෙම කියන්න එපා මහත්තයා. සංගීතෙට එච්චර සේවයක් කරපු මහා ගාන්ධර්වයෙකුට අපිත් උපහාර පුදන්න ඕනනෙ. මතකද සන්ෆ්ලවර්ලත් එක්ක එතුමා අපි වෙනුවෙන් සිංදු කිව්වා? සන්ෆ්ලවර්ලා වෙනුවෙන් කථා කරපු එකම උපකුලපති සංගීත මහාචාර්යතුමා එතුමා!” සුදාගෙ කතාව ඇහුවාම “ඔයා හරි මල්ලි” කියල මං නිහඬ වුණා. හැබැයි සනත් ‘යශෝධරා’ කියන්න ගත්ත ගමන් මං ගෙදර ආවා. මොකද යශෝධරා එන්න කලින් මං ගෙදර ඉන්න ඕන හින්දා.

සමහර වෙලාවට මට මං ගැන දුකක් දැනෙනවා. දුක වැඩි වුණාම ඇස්වලින් කඳුළු වැටෙනවා මගෙ. මං එතකොට කල්පනා කරනවා ඇයි මට මෙහෙම වුණේ කියල. අන්න එතකොට මං මගේ මියගිය ප්‍රේමය ගැන හිතනවා. මාව අත්හැර දාලා ගිය පුතා ගැන හිතනවා. මට රෑට කොත්තමල්ලි කෝප්පයක් හදලා දුන්නු ආත්තම්මා ගැන හිතනවා. මට යාළුවො ගැන දුකක් නෑ. මට කියල තිබුණු එකම කුඹුර හොරා කාපු පන්සලේ ලොකු හාමුදුරුවො ගැන දුකක් නෑ. කුඹුර උන්නාන්සෙට අරන් දෙන්න උගුල් අටවපු ගොවි නියාමකවරිය ගැන දුකක් නෑ. දාපු පැමිණිල්ල කුණු කූඩෙට ඇරිය පොලිස් ස්ථානාධිපතිතුමා ගැනවත් එහෙම කරන්න එතුමාට බලපෑම් කළ නඩුකාර උන්නාන්සේ ගැනවත් දුකක් නෑ. මට දුක මං ගැන. මෙහෙම අධම මිනිස්සු රැලක් මැද්දෙ මං කොහොමද මෙච්චර කාලයක් ජීවත් වුණේ කියල මට හිතෙනවා. මං එතකොට ඇඳට ගිහින් ඇස් පියාගන්න උත්සාහ කරනවා. ඒත් ඇහැ පියවෙන්නෙ නෑ. අන්තිමේ රෑ දොළහට විතර ඇහැ පියවෙද්දි මං විකාරරූපී හීන දකිනවා. ඊයේ රෑ මං දැකපු හීනය මොකක්ද කියල දන්නවාද? මං දැක්කා පන්සලේ පොඩි හාමුදුරුවො අපේ ගේ ඉස්සරහ කුඹුරට උඩින් අහසේ පලක් බැඳගෙන වාඩි වෙලා ඉන්නවා. ඇත්තම කිව්වොත් හාමුදුරුවො පල උඩ ඉඳගෙන අඩියක් ගහනවා. ඒ දර්ශනය දැක්කාම මට ආතබූත නැතුව ගියා. මං කුඹුර ගාවට දුවලා ගිහින් දොහොත් මුදුන් තියලා වැඳ නමස්කාර කරලා හාමුදුරුවන්ගෙන් විමසා සිටියා “අපෙ හාමුදුරුවනේ, ඇයි මේ?” කියල. එතකොට හාමුදුරුවො කිව්වා “කැම්පස් එක වහලනෙ මහත්තයො. ටීවී එකේ කිව්ව විදියටත් බුද්ධශ්‍රාවකේ දැන්ම අරින පාටක් නෑ. ඉතිං පන්සලට වෙලා මක් කරන්නෙයි මහත්තයෝ!” කියල. මං සුසුමක් හෙළුවා. ඇත්ත වශයෙන් මේ රටේ අධ්‍යාපනය මොකක්ද! ඊටත් මේ අපේ භික්ෂූන් වහන්සේලා නේද! මහානායක හාමුදුරුවන්ටවත් බැරිද මේ පොඩි උන්නාන්සේලා එක්ක එකතු වෙලා ඉක්මනට විශ්වවිද්‍යාලෙ ඇරලා උන්නාන්සේලාට ගිලන්පසයි අවුල්පතුයි සපයලා දෙන්න. මං නින්දෙන් ඇහැරුණේ පොඩි හාමුදුරුවො පල උඩ ඉඳගෙන “මහත්තයාත් ෂොට් එකක් ගහනවැයි?” කියල විමසනවා ඇහෙද්දි.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment