23න් පහළ 2023 ශූරතාවය මුවර්ස්ට

107

අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පළමු ඉනිමේ තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් ශූරතාවය දිනා ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජය ඊයේ (22 වැනිදා) සමත් විය.

ඒ අනුව ශූරතාවය සමග රුපියල් ලක්ෂ 5ක ත්‍යාග මුදලක් ද මුවර්ස් ක්‍රීඩා සමාජයට පිරිනැමිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති එම තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පෙරේදා ආරම්භ වූ අතර එහිදී පළමුව පන්දුවට පහරදුන් රාගම ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී ලකුණු 293 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුවර්ස් ක්‍රීඩා සමාජය ඊයේ දිනයට තරගය නතර කරන විට පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 298 ක් ලබා සිටියේය.

ඒ අනුව පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කළ මුවර්ස් ක්‍රීඩා සමාජය 2023 වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවයට හිමිකම් කීය.

පළමු ඉනිමේ ජයග්‍රහණයක් සඳහා පහසුවෙන්ම ගමන් කරමින් සිටි මුවර්ස් ක්‍රීඩා සමාජය එක් අවස්ථාවකදී කඩුලු 3ක් දැවී ලකුණු 262ක් වාර්තා කර ගෙන සිටි අතර එතැන් පටන් ඔවුන්ගේ කඩුලු හයක් ලකුණු 30ක් තුළ දවා ගැනීමට ඩෙලොන් පීරිස් ප්‍රමුඛ රාගම පන්දු යවන්නෝ සමත් වූහ.

ඒ අනුව ඉතා තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ දී ශකෝර් රස්නි ලකුණු 292 සිට හයේ පහරක් එල්ල කරමින් මුවර්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

පෙරේදා දිනයේ කඩුලු 8ක් දැවී ලකුණු 258ක් ලබා සිටි රාගම ක්‍රීඩා සමාජයට ඊයේ දිනයේ රැස් කරගත හැකි වූයේ තවත් ලකුණු 35 ක් පමණක් වූ අතර තේනුෂ විශාන් එම කඩුලු 2ට හිමිකම් කීවේ සමස්ත තරගයේදී ලකුණු 102කට කඩුලු 5ක් ලබා ගනිමිනි.

පිළිතුරු ඉනිම ඇරඹූ මුවර්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 7 දී දැවීයෑම සටහන් කරමින් ඔමේශ් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි සොහාන් ඩි ලිවේරා ආරම්භක පිතිකරු දිනූක දිල්ශාන් සමග ලකුණු 112ක සම්බන්ධතාවයක් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූහ.

පන්දු 100 ක දී වාර්තා වූ එම ලකුණු 112න් ලකුණු 72කටම හිමිකම් කියූ සොහාන් ඩි ලිවේරා වේගවත් පිතිහරඹයක නිරත වූ අතර පන්දු පනස් හතක් තුළ ඔහු හතරේ පහර 7 ක් සහ හයේ පහර දෙකක් එල්ල කර තිබුණි.

නායක මොහොමඩ් ශමාස් ද ලකුණු 73 ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර හතරවෙනි කඩුල්ල ලෙස ශමාස් දැවී යෑමෙන් අනතුරුව තරගය දෙපැත්තටම දෝලනය වන්නට වූයේය.

රනිශ්ක පෙරේරා ද ලකුණු 72 කට දැවී යෑම මුවර්ස් ක්‍රීඩා සමාජයට ප්‍රබල පාඩුවක් වූ අතර ඔවුන්ට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඩෙලෝන් පීරිස් ලකුණු

102 කට කඩුලු 5ක් සහ ශෂික දුල්ෂාන් ලකුණු 92 කට කඩුලු 3ක් දවා ගත්තේය.

රාගම ක්‍රිකට් පිලේ මුල් කඩුලු හතර ලකුණු 69කට දැවී ගොස් තිබූ අතර, මැද පෙළ ක්‍රීඩක ශක්තියෙන් එක් අවස්ථාවකදී කඩුලු 6කට ලකුණු 209ක් විය. එහෙත් 6වැනි හා 7වැනි කඩුලු දෙක ලකුණු 4ක් තුළ දැවී යෑමෙන් රාගම පිලේ ලකුණු වේගය අඩුවී ගියේය.

රාගම පිලේ පිතිකරුවන් අතරින් රන්මිත් ජයසේන ලකුණු 72ක් ලබා ගත් අතර දුලාජ් බණ්ඩාර හතරේ පහර 5ක් සමග පන්දු 150කදී ලකුණු 73 වාර්තා කළේය.

අනු ශූරයින් වූ රාගම ක්‍රීඩා සමාජයට රුපියල් ලක්ෂ 3ක් සමග අනු ශූරතා කුසලානය පිරිනැමුණු අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඩිලෝන් පීරිස්ට රුපියල් ලක්ෂයක් හිමි විය. හොඳම පිතිකරු ලෙස සකුණ ලියන්ගේත් හොඳම පන්දු යවන්නා ලෙස තේශාන් විතූශාන් ද සම්මාන ලැබූ අතර ඔවුන්ට රුපියල් 75000 බැගින් හිමි විය. අවසන් තරගයේ වීරයා ලෙස මොහොමඩ් ශමාස් සම්මානයට පාත්‍ර වූ අතර ඔහුට මුදලින් රුපියල් 50000ක් හිමි විණි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment