මේ සැපත ඔබ සතුද?

379

මරණින් මතු නැවත උපතක් ඇති බව සිතන, අදහන සෑම කෙනෙක්ම අපේක්ෂා කරන්නේ ස්වකීය ඊළඟ ජීවිතය සුගතියෙහි ඉපිද සැප විඳීමටයි. බොහෝම සුළු පිරිසක් පමණක් මරණින් මතු නිවන් සුව පතති. අප ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම මරණින් මතු සුගතියෙහි ඉපදීමට හැකියාවක් ඇද්ද? නැත. මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු මරණින් මතු සතර අපායෙහි උපදිති.

බුදුරජාණන් වහන්සේ දිනක් ඇට්ටේරියා වනයකදී වනයෙහි ඇති කොළ මිටක් අතට ගත්හ. ‘මා අතේ ඇති කොළ ප්‍රමාණයද වැඩි? නොඑසේ නම් මේ මහා වනයේ ඇති කොළ ප්‍රමාණයද වැඩි? යනුවෙන් භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රශ්න කළහ. වනයේ ඇති කොළ ප්‍රමාණය හා සසඳන කළ ඔබ වහන්සේගේ අතෙහි ඇති කොළ ප්‍රමාණය ස්වල්පයකියි’ භික්ෂූන් වහන්සේලා පිළිතුරු දුන්හ.

මරණින් මතු උපත එබඳුය. මිනිස් ලොවින් චූත වී දෙව්ලොව යන්නන් අල්පය. මිනිස් ලොවින් චුත වී නැවත මිනිසත් බව ලබන්නන් අල්පය. මිනිස් ලොවින් චුතවී අපායෙහි යන්නන් බොහෝය. බුදුරජාණන් වහන්සේ දිවැසින් දුටු සැබෑ තත්ත්වය එළෙසින් දේශනා කළහ. මරණින් මතු සුගතියෙහි ඉපදීමට බලා සිටින බොහෝ අය ස්වකීය ජීවිතයේ ඇති දුර්වල විෂමතා නිසාම දුගතියෙහි උපදිති. කෝරඛත්තිය නම් යෝගියා එවැන්නෙකි. හෙතෙම තමා මරණින් මතු දෙව්ලොව උපදින බවට අනාවැකි කීවේය. බුදුරජාණන් වහන්සේ කෝරඛත්තියගේ මරණින් මතු ඔහුගේ මළමිනිය ලවාම තමා උපත ලද කාලකඤ්ජිත ප්‍රේත භාවයේ දුක් සහිත උපත කියන්නට වූහ.

සමහර අන්‍යාගමිකයන් විවිධාකාර ව්‍රත සමාදන්ව විවිධාකාර විශ්වාස අනුගමනය කරමින් මරණින් මතු සුගතියේ ඉපදීමට සූදානම්ව සිටිති. ඔවුන්ගේ ඉරණම කුමක්ද?

ගතවූ අනූ එක්කල්පයක කාලයක් තුළ මොලොවෙහි ඉපිද මියගිය පිරිස ගැන දිවැසින් බැලීමි. ඒ අනුව එක් අන්‍යාගමික පූජකයෙක් පමණක් මරණින් මතු දෙව් ලොව උපන්නේය. ඔහුද කර්මවාද ක්‍රියාවද ඇත්තෙකි. අන්‍යාගමික ශාස්තෘවරුන්ගේ අනුගාමිකයන් කිසිවෙකු දෙව්ලොව නම් ඉපදුනේම නැත යනුවෙන් බුදුරජාණන් වහන්සේ තමා දුටු තතු හෙළි කළහ. මිනිසුන් අතරින් වැඩි දෙනෙකු මරණින් මතු සතර අපායේ උපදිනුයේ ඇයි? මිනිස් ලොව ඉඩමදි නිසාද? නැත. ඔවුන්ගේ කර්මබලය නිසාය. කර්ම විපාක ලෙස අපායෝත්පත්තිය සිදුවන ආකාරයත්, විවිධ අඩුපාඩු සහිතව මෙලොව උපදින ආකාරයත් චූලකම්ම විභංග සූත්‍රයෙහි කදිමට විස්තර කර ඇත.

  1. සතුන් මැරීමෙහි යෙදෙන දරුණු සිත් ඇත්තෝ මරණින් මතු සතර අපායේ උපදිති. ඔවුන් මිනිසත් බව ලැබූවද අල්ප ආයුෂ ලබති.
  2. ප්‍රාණඝාතයෙන් වැළකුණු මුදු මොළොක් සිත් ඇති අය මරණින් මතු දෙව්ලොව උපදිති. ඔවුහු මිනිසත් බව ලැබූවද දීර්ඝ ආයුෂ විඳිති.
  3. අතින්, පයින්, දඬු මුගුරුවලින් හෝ ආයුධවලින් තලා පෙළා සතුන්ට හිංසා කරන අය මරණින් මතු අපායෙහි උපදිති. මිනිසත් බව ලැබුවහොත් දරුණු රෝගාබාධ බහුල ජීවත ලබති.
  4. සතුන්ට හිංසා නොකරන අය සුගතියෙහිම උපදිති. මිනිසත් බව ලැබූ කල අල්පාබාධ වෙති. නිරෝගි වෙති.
  5. සුළු දෙයට පවා කිපෙන කෝප සහිත අය මරණින් මතු දුගතියෙහි උපදිති. ඔවුවු මිනිසත් බව ලැබූ කල විරූපීව අවලක්ෂණව උපදිති.
  6. තරහා ගති අඩු, ඉවසිලිවන්ත අය මරණින් මතු සුගතියෙහි උපදිති. මිනිසත් බව ලැබූ කල මනා රූප ශෝභා ඇතිව උපදිති.
  7. අනුන්ගේ සැපතෙහි සතුටු නොවන ඊර්ෂ්‍යාවෙන් පෙළෙන අය මරණින් මතු දුගතියෙහි උපදිති. මිනිසත් බව ලැබූ කල අල්පේශාක්‍යව උපදිති.
  8. අනුන්ගේ සැපතෙහි සතුටු වන මුදිතා ගුණයෙන් යුතු අය මරණින් මතු සුගතියෙහි උපදිති. මිනිස්ව ඉපිද මහේශාක්‍ය ජීවිත ලබති.
  9. පූජ්‍ය පක්ෂය වෙත ආහාර පාන, යාන වාහන, වස්ත්‍ර, සයන ආසන නොදුන් අය මරණින් මතු දුගතියෙහි උපදිති. මිනිසත් බව ලැබූ කළ ස්වල්ප සම්පතත් ඇති දුගියන්ව උපදිති.
  10. පූජ්‍ය පක්ෂය වෙත ආහාරපාන, යාන වාහන, වස්ත්‍ර, සයන, ආසන දුන් අය මරණින් මතු සුගතියෙහි උපදිති. මිනිසත් බව ලැබූ කළ බොහෝ සම්පත් ඇතිව උපදිති.
  11. පිදිය යුත්තන් නොපුදන, ගරු කළ යුත්තන්ට ගරු නොකරන, උතුමන්, දැක හුනස්නෙන් නොනගිටින මාන්නාධික අය මරණින් මතු දුගතියේ උපදිති. මිනිසත් බව ලැබූ කල කුලහීනව උපදිති.
  12. පිදිය යුත්තන් පුදන, ගරු කළ යුත්තන්ට ගරු කරන උතුමන් දැක හුනස්නෙන් නැගිටින අය මරණින් මතු සුගතියෙහි උපදිති. මිනිසත් බව ලැබූ කළ උසස් වංශවත් කුලවල උපදිති.
  13. කුසල්, අකුසල්, වරද, නිවරද, කළ යුතු දේ නොකළ යුතු දේ, වැඩ පිණිස, අවැඩ පිණිස, පවතින දේ විමසා දැන නොගන්නා අය මරණින් මතු දුගතියෙහි උපදිති. මිනිසත් බව ලැබූ කල අඥානව මෝඩව උපදිති.
  14. පූජ්‍ය පක්ෂය වෙත එළඹ, කුසල්, අකුසල්, වරද නිවැරද, කළ යුතු නොකළ යුතු, වැඩ අවැඩ පිණිස පවතින දේ යනාදිය විමසා දැන ගන්නා පුද්ගලයා මරණින් මතු සුගතියේ උපදිති. මිනිසත් බව ලැබූ කළ මහත් නුවණැති ප්‍රඥාවන්තයෙක්ම උප දිතිති.

සමහරු දුප්පත් වූවන් නිරෝගි ජීවිත ගත කරති. තවත් අය ධනවත්ව රෝගීව කල් ගෙවති. තව කෙනෙකුට කොතෙක් ධනය තිබුණද ඔවුන්ට තමන්ගේ ධනයෙන් ප්‍රයෝජනයක් ගැනීමට අවස්ථා නොලැබේ. මෙවැනි සමවිෂමතාවන්ට හේතු වනුයේ පෙර කරන ලද කර්මයන්ය.

මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ විසූ දුප්පත් විරූපී තරුණියකි. ඇය මාලාකාරයෙකුගේ දියණියකි. විරූපීව දුප්පත්ව උපන් ඇය උපක්‍රමශීලීව කටයුතු කර කොසොල් රජුගේ අග මෙහෙසිය බවට පත්වූවාය. එතැන් සිට කෝසල මල්ලිකා දඹදිව විසූ ධනවත්ම හා බලවත්ම කාන්තාව ලෙස පිළිගැනීමට ලක්වූවාය. කෝසල මල්ලිකාව දුප්පත්ව විරූපීව උපන්නේ පෙර කළ පව්කම්වල විපාක ලෙසයි. මේ ජීවිතයේදීම කළ දානාදී පිංකම්වල ආනිසංස ලෙස ඇයට රජ සැප විඳීමේ වරම්ද ලැබුණි.

කර්මය ලෝක සත්ත්වයන්ගේ දුක සහ සතුට තීරණය කරන වැදගත්ම බලවේගයයි. ඒ බව චුල්ලකම්ම විභංග සූත්‍රයේ දැක්වේ.

“සත්ත්වයෝ කර්මය හේතුකොට උප්පත්තිය ලබති. කර්මය දායාද කොට උපදිති. කර්මය පිළිසරණ කොටගෙන ජීවත් වෙති. උසස් ලෙස සත්ත්වයන් බෙදීමට ලක්කරනුයේ කර්මය නිසාය. කර්ම බලවේගයේ බලමහිමය එබඳුය.

ජීවිතයේ දුක් කරදර නොකඩවාම පැමිණෙනවා. මහ මූදේ රැල්ල වගේ එක පිට එක පෙළෙනවා. එකක් පැමිණ යන්නට පෙර අනික ඇවිත් අත ළඟටම. මහ මඟ අප මුණ ගැහෙන අය වාගෙයි දුක් කරදර. හිටිහැටියේ. ඇවිත් යනවා.

ශාස්ත්‍රපති – රත්ගම සුනීත හිමි
සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment