දැන් මිල තීරණය කරන්නෙ අපි නොවෙයි ගොවියෝ…
වෙළෙන්දෝ මැසිවිලි නඟති.

අපි කුස්සියේ විප්ලවය ආරමිභ කළා….
කාන්තාවෝ පවසති.

මලු පුරවා අරන් ගිය එළවළු කුස්සියට දැන් එපාලු…

මේව ඇත්තද යාළු……

වසර පුරා සාර අස්වනු පුදන “සාර භූමියක් ” ලෙස නමි ලද රටක “කැරට්” කිලෝවක් රුපියල් 2000 ඉක්මවා මිල ඉහළ ගොස් ඇත. කැරට් මිල එලෙස ඉහළ යමින් පවතින්නේ තම නිවසේ “කරන්ට්” බිලවත් හරිහැටි ගෙවා ගත නොහැකි බහුතරයක් ජනතාව ජීවත් වෙමින් සිටින රටකය. කැරට් මිල මොහොතකට අමතක කොට අනෙකුත් එළවළු වර්ගවල මිල පිළිබඳ විමසිලිමත් වීමේදී පෙනී යන්නේ ද එම එළවළු වර්ගයන් ද කැරට් සමග තියුණු තරගයක් දෙමින් දිනෙන් දින මිල ඉහළ යන ආකාරයක්ය. ඒ අනුව කරටි කැඩෙන ප්‍රශ්න හමුවේ හෙමිබත්ව සිටින රටක් ලෙස අප හමුවේ පැන නැඟී අති අලුත්ම පැනය “කැරට්”ය.

උද්ගතව පවතින තත්ත්වය තුළ ගොවියන් විසින් වෙළෙන්දන්ටත්, වෙළෙන්දන් විසින් ගොවියන්ටත් “එළවළු මිල” සම්බන්ධව ඇඟිල්ල දිගු කරමින් සිටින අතර ඔවුන් පවසා සිටින්නේ ගොවි බිම තුළ ගොවියා මෙන්ම වෙළෙඳ පොළ තුළ වෙළෙන්දා ද නන්නත්තාරව ඇති බවක්ය. පුවත්පත්, රූපවාහිනි නාලිකා ඉදිරිපිට ඔවුහු හඬා වැටෙති. වැලපෙති. කනගාටුවට කරුණ නම් වෙළෙඳ පොළ තුළ වැදගත්ම සාධකය වන “පාරිභෝගිකයා” පිළිබඳව කතා කරන්නට තරම් උණුවන හදවතක් සහිත කිසිවෙකුත් මේ වනවිට රට තුළ නොසිටීමය. වෙළෙන්දා මෙන්ම ගොවියා ද නඩත්තුවන්නේ පාරිභෝගිකයාගෙන් බව අමතක කොට තම තමන් පත්ව ඇති අසරණ බව පිළිබඳව පමණක් මේ වනවිට ගොවියන් සහ වෙළෙන්දුන් අඳෝනා නඟමින් ඇත. එවැනි වටපිටාවක් තුළ හාල්, පොල්, බිත්තර, මස්, මාළු මිල පසුකර යමින් කැරට් අලය ඇතුළු අනෙකුත් සියලු එළවළු මිල ගණන් හෙණ ගෙඩියක් බවට පත් වී අවසන්ය. එය ජනතාවගේ හිස මත පතිත වෙමින් ඇත.“එදා වේල”සරිකර ගැනීමේ බරපතළ සටනකට මුහුණ දී සිටින ජනතාවකට කළ හැකි එකම දේ බවට පත්ව ඇත්තේ හුරු පුරුදු ලෙස “දෙවියන්ගේ පිහිට” පැතීම පමණය. තමන් බුද්ධත්වයට පත් වූවා යෑයි පවසමින් අපතයන් පිස්සු කෙළින රටක බඩු මිලත් “කජ්ජක් දැයි “දෙවියන්ද කල්පනා කරන බැවින් තිස් තුන් කෝටියක් දෙවියන් ද දැන් අප දෙස බලන්නේ නැත. එළවළු මිල සම්බන්ධව දෙවියන්ට ද කළ හැකි දෙයක් නොමැති බව සබුද්ධික ජනතාව හොඳින් අවබෝධ කරගෙන හමාරය.

එබැවින් ගැටලුව පවතින්නේ කොතැන ද ඒ සඳහා විසඳුම් පවතින්නේ කොතැන ද යන පැනයන් අප විසින් ම විසඳා ගතයුතු බැවින් එසේත් නැත්නම් ඒ සම්බන්ධව විසඳුමක් ලබාදීමට වගකිවයුතු පාර්ශ්වයන් මැදිහත් වියයුතු බැවින් මහ පොළොව මත දැනට පවතින “ඇත්ත” ඇති සැටියෙන් වාර්තා කිරීම මෙම ලිපියේ අරමුණ බවට පත්වන අතර ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව කීපයක් දක්වන අදහස් පහත පළවේ.

පළමුව මහ පොළොව සමග හරි හරියට තරග වදිමින් වගා බිම් අස්වද්දන ගොවියන් විසින් පවසන කතාව මෙහි ලියා තබන්නේ ඔවුන්ගේ “දහදිය මහන්සියට” කරනු ලබන ගෞරවයක් පිණිස මිස ඔවුන් පවසන දෑ පරම සත්‍යය යැයි මුළුමනින්ම එල්බ ගත් විශ්වාසය මත නොසිටිමින්ය.

පළමුව මේ සම්බන්ධව අප හා අදහස් දක්වන්නට වුයේ මේ දිනවල ඉතිහාසගත වාර්තාවක් තබමින් මිල ඉහළ ගොස් ඇති “කැරට්”සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන කීපයක ක්‍රියාකාරිකයන් කීපදෙනෙක්ය. සුපුරුදු පරිදි ඔවුන් පවසා සිටින්නේ දැනුම පළපුරුද්ද නැති කෘෂිකර්ම නිලධාරීන් හේතුවෙන් ගොවියන් වගා බිම් තුළ අනාථයන් බවට පත්වූ බවත් ප්‍රතිපත්තියක් නැති කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය නැවත හරි මඟට ගෙන ඒම පිණිස රජය ඇතුළු නිලධාරී පාර්ශ්වය දැන්වත් කටයුතු කළ යුතුව ඇති බවත්ය. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය නොකළහොත් ඉදිරියේ දී රටේ ජනතාවට එළවළු වෙනුවට තණකොළ කෑමට සිදුවන බවත් වරක් රටේ ඇමතිවරයකු ප්‍රකාශ කළ පරිදි එය වයිමාට නොව සක්‍රයාගේ පුතාටවත් නතර කළ නොහැකි දෙයක් බවට පත් වන බවත්ය.

ඒ පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන සාමාජිකයන් වැඩිම පිරිසකගෙන් යුත් ගොවි සංවිධානය වන රුවන් එළිය එක්සත් ගොවි සංවිධානයේ සභාපති රුවන් සම්පත් ජයරත්න මහතා අදහස් දක්වමින් මෙලෙස සඳහන් කර සිටින්නේය.

තව මාස දෙක තුනක් යද්දී එළවළු නැත්තටම නැති වෙනවා…

“රටේ කෘෂිකර්මාන්තය කඩා වැටීම සම්බන්ධයෙන් අර ආණ්ඩුව වැරදියි මේ ආණ්ඩුව වැරදියි කියලා වෙන වෙනම දොස් කියන්න බෑ. පැවතුණු හැම ආණ්ඩුවක්ම මේ විනාශයට වගකිව යුතුයි. මෑත කාලීනව පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම කරපු වරදක් තමයි කෘෂිකර්මාන්තය සම්බන්ධව දැනුමක් නැති පුද්ගලයන්ව මහ පුටුවලට පත් කරපු එක. ඒ අය කෘෂිකර්මාන්තයට අලුත් වැඩපිළිවෙළවල් හඳුන්වා නොදුන්නා කියමුකෝ . අඩුම තරමින් ගොවියා කරන්නේ මොකක්ද කියලවත් ඒ අය දැනගෙන හිටියේ නෑ. අලුත් දැනුම අලුත් තාක්ෂණය ගොවි බිමට ගේන්න ඒ අය කටයුතු කළේ නෑ. මේ තත්ත්වය ඇතුළේ විශේෂයෙන් නුවරඑළිය, වැලිමඩ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ගොවි ජනතාව දවසින් දවස කබලෙන් ළිපට වැටෙන තත්ත්වයක් තමයි තිබුණේ. ආසන්න වසර හය ගත්තොත් එදා ඉඳලා අද දක්වා මේ ක්ෂේත්‍රයේ බරපතළ කඩා වැටීමක් ඇතිවුණා. මුලින්ම සියවස් ගණනාවක් පුරාවට සිදුකරගෙන ආව ක්‍රමවේදයන් වෙනස් කරන්න ගත්තා. රසායනික පොහොර නවත්තලා කාබනික පොහොර ප්‍රවර්ධනය කරන්න ගත්ත උත්සාහයත් එක්ක කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ බරපතළම කඩා වැටීම සිද්ධ වුණා. ඒක අමතක කරලා අද දවසේ තත්ත්වය අරන් බැලුවොත් කෘෂිකර්මාන්තයට සම්බන්ධ බීජ වර්ග පොහොර වර්ග විකුණන කඩවල් වැහි වැහැලා. ඒ හැම කඩේකම තියෙන්නේ එළවළු වර්ගවල දෙමුහුන් ප්‍රභේදයේ බීජ වර්ග. ඒවාට සරිලන බෙහෙත්, පොහොර තමයි ඒ අය අලෙවි කරන්නේ. මෙම ලංකාවට ගෙන්නන්න අවසර දුන්නේ කවුද? මේ ප්‍රභේදයන් ශ්‍රී ලංකාවට ගැළපෙනවද නැද්ද කියලා පර්යේෂණ සිදු කළේ කවුද? මේ කිසි දෙයක් පර්යේෂණ මගින් සනාථ කරලා කරන දේවල් නෙවෙයි. ගොවියන් වශයෙන් අපිට මේක ප්‍රශ්නයක්. නමුත් උත්තරයක් දෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒ මොකද දේශපාලඥයන්ගේ චග් ගෝලයන්ගේ වුවමනා පරිදි තමයි මේවා සිද්ධ වෙන්නේ. කොමිස් කුට්ටියේ තරම අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ.

දෙමුහුන් බීජ ලංකාවට එන්න කලින් රටේ කෘෂිකර්මාන්තය හොඳ තත්ත්වයක පැවතුණා. උදාහරණයකින් කියනවනම් එදා අක්කරයකින් කිලෝ ලක්ෂයකට එහා අස්වැන්නක් ගත්තා. ඒ තත්ත්වය අද වෙද්දි සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඉවරයි. එදා ගත්ත අස්වැන්නෙන් සියයට දහයක්වත් අද ලබා ගන්න බෑ. ශ්‍රී ලංකාවේ හා විශේෂයෙන් නුවරඑළියේ කාලගුණයට නිවැරදිව ගැළපෙන බීජ තමයි එදා තිබුණේ. අද මොකද වෙලා තියෙන්නේ. චීනයේ කාෂ්ට අව්වෙ රෝපණය වන දෙමුහුන් බීජ ප්‍රභේද නුවරඑළියට එවලා ඊට පස්සේ ඵලදාව නෑ කියලා ලතෝනි දෙනවා. මාධ්‍ය සන්දර්ශන පවත්වනවා. මේක නතර කළ යුතුයි. ජපානය වගේ කෘෂිකර්මාන්තය දියුණු රටවල භාවිත කරන ඉස්තරම් බීජ ලංකාවට ගෙන්නලා ඒ බීජ ගොවියන්ට හඳුන්වලා දෙන්න ඕන. එහෙම නැතුව කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ නැවත නඟා සිටුවන්න බැහැ. ප්‍රතිපත්තියක් ඇතුව තීන්දු තීරණ ගන්න රජය දැන්වත් කටයුතු කරන්න ඕන. ඒක කරන්න නම් ඇමතිවරයාට ඉතාම සමීප පුද්ගලයන්ට වගකීම් භාර දෙනවා වෙනුවට කෘෂිකර්මය සම්බන්ධව ඉහළ දැනුමක් සහිත නිලධාරීන් අදාළ තනතුරුවලට පත් කළ යුතුයි කියන මතයෙ තමයි ගොවි ජනතාව වශයෙන් අපි ඉන්නේ. කැරට්වලට සිද්ධ වෙච්ච දේ තව මාස දෙක තුනක් ඇතුළත අර්තාපල් වලටත් සිද්ධ වෙනවා. මොකද හැම අවුරුද්දෙ ම මහ කන්නයට රජයේ බීජ අර්තාපල් සහනදායී මිලකට ගොවියන්ට ලබා දුන්නා. නමුත් මෙවර ඒ සම්බන්ධව වග කිවයුතු නිලධාරීන් දැනටමත් ගොවි සංවිධානවලට දැනුම් දීලා තියෙනවා දිලීර රෝගයක් වැළඳීම හේතුවෙන් මෙවර බීජ අර්තාපල් නිෂ්පාදනය කරන්න ලැබුණේ නෑ කියලා. සුළු පරිමාණ ගොවියන් බීජ අර්තාපල් නිෂ්පාදනය කරනවනම් රජයේ ආයතනවලට මේක කරන්න බැරි වුණේ ඇයි. මේවා ගැන කවුරුවත් හොයා බලන්නැත්තේ ඇයි. මේවා තමයි අද ගොවියාට තියෙන ප්‍රශ්න. එහෙම නැතුව නුවරඑළියේ එළවළු මිල වැඩියි කිය කිය මාධ්‍ය සන්දර්ශන තිබ්බට වැඩක් නෑ…”

ගොවි බිම් ආශ්‍රිතව එලෙස අඳෝනා නැඟෙද්දී පෑලියගොඩ මැනිං මාර්කට් හී එළවළු මිල ගණන් දිනෙන් දින ඉහළ යමින් ඇත. මෙම සටහන තබන අවස්ථාව වනවිට එහි ලොකු කැරට් කිලෝවක තොග මිල රුපියල් 1800 – 2000 අතර මිලකට අලෙවි වන අතර බෝංචි කිලෝවක තොග මිල රුපියල් 700 -1000ත් අතර අගයක් ගෙන ඇත. එතකින් නතර වන්නේ නැත. අනෙකුත් සෑම එළවලු වර්ගයක්ම එම ඉරණමට ගොදුරුව ඇත. එළවළු කිලෝවක තොග මිල එවැනි අගයක පැවතීම තුළ ඈත දුර බැහැර ගම් දනව්වල “එළවළු තට්ටු” පාරිභෝගික ජනතාව “මට්ටු” කරමින් සිටින අතර උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මැනිං මර්කට් වෙළෙඳුන් පවසන්නේ මෙවැනි කතාවක්ය.

“එළවළු මිල ඉහළ යෑම සම්බන්ධයෙන් නුවරඑළියේ ගොවියන් වගකිව යුතුයි. ඒ අය නියම කරන මිල ගණන්වලට තමයි අපිට බඩු ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අය කියන ගණන්වලට සල්ලි යැව්වෙ නැත්නම් එළවළු එවන්නේ නෑ .ඒ හින්දා තමයි එළවළු මිල මෙච්චර වැඩි වෙන්නේ. ඇතැම් අය චෝදනා කරනවා මේ මිල වැඩිවීම පිටුපස වෙළෙඳ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒක බොරුවක්. වෙනදට දහ පහළොස් දහසක පිරිසක් බඩු ගන්න මැනිං මාර්කට් එකට එනව. නමුත් මේ වෙද්දි ඒ පිරිස දෙතුන් දාහට අඩුවෙලා. එළවළු මිල මෙහෙම ඉහළ ගියොත් හෙට අනිද්ද වෙනකොට අපිටත් මේවා වහල දාලා ගෙවල් වලට යන්න සිද්ධ වෙනවා. ලයිට් බිල වතුර බිල ගෙවන්න නම් බිස්නස් තියෙන්න ඕනා. පිට පළාත්වල එළවළු කඩ සියයට පනහක් විතර මේ වනවිටත් වහල දාලා ඉවරයි. කොළඹ ඇවිල්ල බඩු අරගෙන ගිහින් කීයට විකුණන්නද? එළවළුවක් දෙකක් ගන්න අද කාලේ හැටියට රුපියල් 1000ක් විතර යනවා. කෝ මිනිස්සුන්ට සල්ලි. වෙළෙන්දා,ගොවියා, පාරිභෝගිකයා මේ හැමෝම නන්නත්තාරයි. මල්ලත් අරන් මාර්කට් එකට ගිහිල්ලා ගණන් අහලා ගෙදර එන්න පුළුවන්. දැනට කියන්න තියෙන්නේ එච්චරයි. මැනිං වෙළෙඳ පොළින් එල්ල වන චෝදනා සම්බන්ධව නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසීමේදී ඒ මහතා සඳහන් කර සිටියේ ඉහත සඳහන් කළ පරිදිම ප්‍රතිපත්තියකින් තොර කෘෂිකර්ම ක්ෂේත්‍රයක් ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පැවතීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වන බවත් රටේ එළවළු මිල කොතරම් ඉහළ ගියද තවමත් අඩුම තොග මිල පවතින්නේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

තව මාස දෙක තුනක් යද්දී එළවළු නැත්තටම නැති වෙනවා…

මේ තත්ත්වය උද්ගත වෙන්න කලින් ආර්ථික මධ්‍යස්ථානය විසින් තීරණය කරන මිලට අනුව තමයි ගොවියගෙන් එළවළු ටික මිලට ගත්තේ. නමුත් අද තත්ත්වය වෙනස්. අද ගොවියා කියන ගාණට තමයි අපිට බඩු ගන්න වෙලා තියෙන්නේ. අපි කවදාවත් ගොවිජනතාවට අසාධාරණයක් කළේ නෑ. නමුත් කාලගුණික හේතුන් ඇතුළු බීජ තෙල් පොහොර මිල ගණන්වල වෙනස් වීම් එක්ක ගොවියා තමන්ගේ නිෂ්පාදනවල මිල ඉහළ දාලා තියෙනවා. අපිත් අපේ ජීවිකාව පවත්වාගෙන යෑම පිණිස ගොවියාට නියම කරන මිලට බඩු ටික අරගෙන කීයක් හරි ලාභ තියාගෙන විකුණනවා. ඕක තමයි ඇත්ත. ඇයි එහෙම වුණේ කියලා හොයන්නේ නැතුව එක එක්කෙනාට චෝදනා කර ගත්තා කියලා එළවළු මිල පහළ යන්නේ නෑ. දැනට ලැබෙමින් තිබෙන ආරංචිවලට අනුව මේ ගතවෙමින් පවතින්නේ එළවළු ගොවිතැනේ අවසාන කාල පරිච්ඡේදය. තව මාස දෙක තුනක් යද්දි එළවළු නැත්තටම නැති වෙලා යන්නත් ඉඩකඩ පවතිනවා. මේ තත්ත්වය අද ඊයේ ඇතිවූ දෙයක් නොවෙයි. කාලයක් තිස්සේ ටිකෙන් ටික එළවළු ගොවිතැන විනාශ වෙන්න ගත්තා. නමුත් කිසිදු රජයක් මේක තේරුම් ගත්තේ නෑ. අන්තිමට මොකද වුණේ. අද එළවළුවක් බතක් කන්නවත් බැරි තැනට රටේ ජනතාව ඇදලා දැම්මා..”

කතා මාලාව පෙළ ගැසෙන්නේ ඒ ආකාරයට. එකිනෙකාට චෝදනා කර ගන්නවා හැරෙන්නට පෙනෙන තෙක් මානයක විසඳුමක් නැත. එළවළු වගාකරුවන් තමන්ගේ හෙට දවස පිළිබඳව අනියත බියකින් පසු වන අතර එළවළු වෙළෙඳුන් පවසා සිටින්නේ පාරිභෝගික ජනතාව දිනෙන් දින අඩු වෙමින් පවතින බවත් “කැරට්” මුල් කරගත් එළවළු භීතිකාව රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගොස් ඇති බවත්ය. එවැනි වටපිටාවක් තුළ “කරන්ට්” වදින “කැරට්” මිල ඇතුළු අනිකුත් එළවළු වර්ගවල මිල ඉහළ යෑමත් ඒ හේතුවෙන් තමන්ට අත්විඳින්නට ලැබෙන අපහසුතාවයන් පිළිබඳවත් පාරිභෝගික ජනතාවගෙන් අප කළ විමසීමක දී ඔවුහු පවසා සිටියේ දහසක් අපහසුතා මැද දිවි ගෙවන ජනතාවක් ලෙස එළවළු මිල ගණන් පිළිබඳ තම තමන්ට සිතන්නට වෙලාවක් නැති බවත් කලක පටන් “කෑම” වෙනුවට “ලෙව කෑම” හුරු පුරුදු වූ ඔවුන් සුපුරුදු පරිදි වෙනත් විකල්ප තෝරා ගනිමින් හිඳින බවත්ය.

ඒ සම්බන්ධව අදහස් දැක්වූ සුනිල් ශාන්ත මහතා,

“එකක් කියලා නෑ. කාලෙකට පොල් නෑ. තව කාලෙකට හාල් නෑ. ඊළඟට බී ලූනූ නෑ. බිත්තර නෑ. කිරිපිටි තියෙනවා. ගන්න සල්ලි නෑ. දරුවෙකුට බිත්තරයක් කන්න දෙන්න බැරි රටක් මේක. රටත් හිඟමනට ඇද දාලා. ඒ රටේ මිනිස්සුන්වත් නන්නත්තාර කරලා එක්තරා පිරිසක් විතරක් සතුටින් සනීපෙන් ජීවත් වෙනවා. ඕක තමයි ඇත්ත. දැන් කැරට් මිලක් අල්ලන් දඟලනවා. ඒ මදිවට බුදුවරු පහළ වෙනවා. යාපනය වෙරළට අද්භූත වස්තූන් ගොඩ බහිනවා. මාධ්‍යත් කිසිම ලැජ්ජාවක් නැතුව මේවා වාර්තා කරනවා. බඩු මිල වැඩි වුණා කිව්වා විතරයි කැමරා උස්සගෙන අපිට මයික් දික් කරනවා. අපිත් ගිරව් වගේ කියවනවා. ඕක තමයි ඇත්ත. අද එළවළුවක් දෙකක් ගත්තොත් පොල් ගෙඩිය ගන්න බෑ. ඒ ජාති දෙක ගත්තොත් හාල් නෑ. දරුවන්ට හරිහැටි කෑම වේලක් දෙන්න බැරි තාත්තලා ඉන්න රටක් මේක. ලැජ්ජයි. මේ වගේ රටක ඉපදීම පවක්… එච්චරයි කියන්න තියෙන්නේ”

“කුස්සිය” ඇති වී තිබෙන ප්‍රශ්නය පිළිබඳ කාන්තාවන් කීපදෙනෙකුගෙන් විමසීමේදී ඔවුන් සඳහන් කර සිටියේ උද්ගතව ඇති ප්‍රශ්නයට තම තමන් වෙන වෙනම විකල්ප තෝරමින් හිඳින බවත් “අල වගේ ද ගෝවා” න්‍යාය යටතේ ඉදිරියේදී කටයුතු කරන බවත්ය.

“එළවළු මිලයි කියල පොඩි උන්ට කන්න නොදී ඉන්න බෑ. මොනවා හරි රත් කරලා දෙන්න ඕනා. රුපියල් හය හත්සීයක් දීලා එළවළුවක් ගන්නව වෙනුවට හාල්මැස්සො 250ක් ගන්නවා. ඕකට අලගෙඩියක් කපලා දාලා රත් කරල ගත්තම බත් අහුරක් කන්න බැරි කමක් නෑනේ. මොකෝ එළවළු ගණන් අඩුයි කියලා අපි හරියට කෑවද? නෑ… වතුර බිල, ලයිට් බිල, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඔය ටික කරහම කෑමට බීමට කියලා ඉතිරියක් නෑ. එහෙම එකේ මේ කැරට් අලයක් අල්ලගෙන නාඩගම් නටනවා. කොහොමත් පාලකයෝ අපිට එදා ඉඳන්ම කැරට් අල කැව්වනේ. ඒ හින්දා දැන් කැරට් අල කෑවා ඇති. මෙහෙම ගියොත් ඉදිරියේදී වහ කන්න තමයි වෙන්නේ. ඒ හින්දා කාන්තාවන් විදිහට අපි කුස්සියේ විප්ලවය දැනටමත් ආරම්භ කරලා ඉවරයි..”

රටේ ජනතාවගේ මතය ඉහත ආකරයේ හැඩයක් ගනිමින් ඇත. ඒ අනුව ගොවියන් එක තැනකත් වෙළෙඳුන් තවත් තැනකත් පාරිභෝගික ජනතාව ඊට හාත්පසින්ම වෙනස් තැනකත් වෙන වෙනම කඳවුරු බඳිමින් සිටින අතර ආණ්ඩු බිහිවීමේදී හා බිඳ වැටීමේද මේ සියල්ලන්ම තිරණාත්මක සාධකය. එබැවන් වැඩි විස්තර වැඩක් නැත. මන්ද යත් මේ වනවිට“කැරට් අල” දේශපාලනය ජනතාවට තිත්ත වී අවසන්ය.

රුවන් ජයවර්ධන
නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment