ශ්‍රී ලංකාවේ අද පවතින දැවැන්ත ආර්ථික අර්බුදයේ සැබෑ අමාරුකමට මුහුණදෙමින් සිටින්නේ ග්‍රාමීය සහ නාගරික දිළිඳු ප්‍රජාව ගැන අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ඒ අර්බුදයෙන් ඔවුන් මුදාගන්නට කිසිවකු එන්නේ නැත. පෞද්ගලික අංශයේ පවා කර්මාන්තශාලා වැසී යයි. රැකියා අහිමි වී යයි. අප මේ ඉන්නේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත්ව අවදි කළ යුතු කාලයකය. ග්‍රාමීය ආර්ථිකයක් ශක්තිමත් කරන්නට පාවිච්චි කළ හැකි සියලු උපක්‍රම පාවිච්චි කළ යුතු කාලයකය. වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධනගේ පියා පිලිප් ගුණවර්ධන සිටියේ නම් ඒ ගැන යෝජනා ගොඩක් ඉදිරිපත් කරනු ඇත. ඒ සියලු යෝජනාවල කේන්ද්‍රයේ පවතිනු ඇත්තේ ‘සමුපකාර’ සංකල්පයයි. පිලිප්, සමුපකාර ක්‍රමය කෙතරම් විශ්වාස කළේද යන්න එකල ඔහු කර ඇති කතා පිරික්සන්නෙකුට මනාව තහවුරු වනු ඇත.

එහෙත්, පිලිප් තාත්තාගේ මතය, දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යතුමා පිළිගන්නේ දැයි පැනයක් දැන් ඇත. සමුපකාර ක්ෂේත්‍රයෙහි කොඳු බිඳ දමන තීන්දු ආණ්ඩුව ගනිමින් සිටී. ඒ වෙනුවෙන් පත් කළ කැබිනට් අනුකමිටුවක ප්‍රධානියා අගමැති දිනේෂ් ගුණවර්ධනය.

සමුපකාරිකයන්ගේ විරෝධය

ජනවාරි 13 වැනිදා මාතර නගරයට එක් වූ සමුපකාරිකයන් පිරිසක් විරෝධයක යෙදුණි. එය ජාතික මට්ටමෙන් සංවිධානය කෙරෙමින් පවතින විරෝධතා මාලාවක ආරම්භයකි. අරමුණ සමුපකාරය බේරගැනීමය.

පොල්ගොල්ල සමුපකාර විද්‍යාලය සුරැකීමේ සමුපකාරිකයන්ගේ ජාතික සංසදයේ සභාපති ඩී.එම්.ඩී. දිසානායක මහතා උක්ත විරෝධයේදී මාධ්‍ය අමතමින් කීවේ මෙසේය.

‘ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ තියෙන විශ්වවිද්‍යාලය, තක්ෂිලාව අද රජය විසින් අහිමි කිරීමට වැඩපිළිවෙළ යොදලා තියෙනවා. මේක නොකර සිටින ලෙස අප කරන ලද සියලු ඉල්ලීම් ඉවත දාපු වෙලාවේ අපට කරන්න තියෙන එකම දේ සමුපකාරිකයන් පෙළගස්වන එක. අපි කියන්නේ සමුපකාර සංවර්ධන ආයතනය සමුපකාර ව්‍යාපාරයට අවශ්‍යයි. සමුපකාර ව්‍යාපාරයේ පුහුණු කටයුතු සියල්ල කරන්න පුළුවන් මේ ආයතනය සමුපකාරයට ඉතිරි කරන්න. ලංකාවේ සමුපකාර සාමාජිකයන් සියලු දෙනා පුහුණු කරන විශ්වවිද්‍යාලයක් වගේම, ඊට වඩා වැඩි කාර්යයක් කරන වෘත්තීය අධ්‍යාපන ආයතනයක් ජාතික සමුපකාර සංවර්ධන ආයතනය. අපි හඬනඟා කියන්නේ කරුණාකරලා අපි කියන දේ තේරුම් ගන්න. ජාතික සමුපකාර සංවර්ධන ආයතනය අහිමි කරන්න එපා කියලා.’

ජනාධිපතිගේ කතාව

මෙලෙස සමුපකාරිකයන් කලබල වී ඇත්තේ ඉබේම නොවේ. කැබිනට් තීන්දු මෙන්ම ජනාධිපතිවරයා සිදු කළ ප්‍රසිද්ධ කතාවක්ද මේ කලබලයට හේතු වී තිබේ.

‘මහනුවර අමතක කරලා නෑ. තවත් ඒවා ආරම්භ කරන්න යනවා. චෙන්නායි අයිඅයිටී, ඉන්දියන් ඉන්ස්ටටියුට් ඔෆ් චෙන්නායි ආයතනයේ මණ්ඩපයක් මහනුවර අපි ආරම්භ කරනවා. පස්සේ අපට පුළුවන් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්න. තවත් විශ්වවිද්‍යාලයක් පොල්ගොල්ල පැත්තේ ආරම්භ කරන්න දැනට සාකච්ඡා කරගෙන යනවා.’ යනුවෙන් 2023 ඔක්තෝබර් 10 වැනිදා මහනුවරදී කතාවක් පවත්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීය. ඔහු එහිදී සියලු විශ්වවිද්‍යාල රජයෙන් ආරම්භ නොකරන බවත් විස්තර කළ නිසා, මේ කියන පොල්ගොල්ලේ විශ්වවිද්‍යාලය යම්කිසි පෞද්ගලික ව්‍යාපාරිකයකුට ලබා දෙන බව අවබෝධ කරගන්නට සිදු වේ.

පොල්ගොල්ලේ අලුතින් පටන් ගන්නා විශ්වවිද්‍යාලයට යොදා ගන්නේ, පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ හෙක්ටෙයාර් 08ක් පමණ භූමියයි. දැනට එම ආයතනයේ සිටින සේවකයන් කොල්ලුපිටියේ කඩ කාමර කිහිපයකට ගාල් කිරීමට ඉඩ ඇති බව කියන්නේ සමුපකාර සංවර්ධන ආයතනයේ එක්සත් සේවක සංගමයේ සම ලේකම් තුෂාර විජේරත්නය. අපි ඔහුව හමුවුණේ, මේ ආයතනය නිරීක්ෂණය කිරීම සඳහා පොල්ගොල්ලට ගිය මොහොතේය.

කැබිනට් පත්‍රිකාව

අසූහත් ලක්ෂයකට පාර පෙන්නූ සමුපකාර තක්ෂිලාව ඈවරයි

2023 ඔක්තෝබර් 04 වැනිදා හවස 2.30ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 03 හි පැවැත්වූ රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදී ගත් තීන්දු ඉදිරිපත් කිරීම යන මැයෙන් කැබිනට් අනුමැතිය සඳහා වාර්තාවක් ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඒ 2023 ඔක්තෝබර් 05 වැනිදාය.

එහි පෙන්වා දෙන පරිදි, අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 23/1626/627/020 වූ ‘ජාතික සමුපකාර ව්‍යාපාරය හා සම්බන්ධ රේඛීය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම’ යන මැයෙන් 2023 අගෝස්තු 24 වැනිදා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ කැබිනට් සංදේශය සහ අනෙකුත් නිර්දේශ අනුව සමුපකාර ව්‍යාපාරය ‘ප්‍රතිව්‍යුහගතකරණය’ කිරීමට නියමිතය. ඒ කටයුත්ත වෙනුවෙන් කැබිනට් අනු කමිටුවක්ද පත් කර ඇති අතර, එහි සභාපතිවරයා වන්නේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනය. ඊට අමතරව බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, කංචන විජේසේකර සහ නලීන් ප්‍රනාන්දු යන අය අමාත්‍යවරුන් ලෙස එම කමිටුවේ සිටී.

නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ කැබිනට් සංදේශයේ මෙසේ සඳහන්ය.

‘2001 අංක 1 දරන ජාතික සමුපකාර සංවර්ධන ආයතනය (සංස්ථාගත කිරීමේ) පනතේ 3 වන වගන්තියේ සඳහන් ආයතනයේ බලතල ක්‍රියාත්මක කිරීම හා එහි 4 වැනි වගන්තියේ සඳහන් ආයතනයේ කර්තව්‍ය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ජාතික සමුපකාර සංවර්ධන ආයතනය කොළඹ 03 ගාලු පාරේ පිහිටි ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලයේ ප්‍රධාන ගොඩනැඟිල්ලේ ස්ථානගත කිරීම.’

අප සමග අදහස් දැක්වූ තුෂාර වැඩිදුරටත් මෙසේ කීය. ‘මේ ආයතනය කොළඹ තියෙන කඩ කාමර කිහිපයකට ගාල් කරන්න පුළුවන් ආයතනයක් නෙවෙයි. මේ වුවමනාව තියෙන්නේ ආයතනයේ සේවකයන් කොළඹට ගාල් කරලා මේ දේපළ කොල්ලකෑම. ඒක පරාජය කරන්න තමයි සමස්ත රටේ ජනතාවගේ සහයෝගය අවශ්‍ය වෙන්නේ.’

පොල්ගොල්ලේ තක්ෂිලාව

‘ජාතික සමුපකාර සංවර්ධන ආයතනය 1943 ඉඳලා මේ වන තෙක් අවුරුදු 80ක් සමුපකාරිකයන්ගේ තක්ෂිලාව, විශ්වවිද්‍යාලය හැටියට ක්‍රියාත්මකයි. ජාතික සහ ජාත්‍යන්තර සමුපකාරික සංවිධානවල ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කරපු උසස් සංවර්ධන ආයතනයක්.

පළවැනි අධ්‍යාපන ආයතනය හැටියට 1940 පමණ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියේ බ්‍රිතාන්‍යයන් හැදුවා. ඒ එක්කම මහනුවර ආරම්භ කරපු ඊළඟ ආයතනය තමයි මේක. කැනේඩියානු ආධාර යටතේයි ඉදිකළේ. මේක ටී.බී. ඉලංගරත්න මැතිතුමාගේ මැදිහත්වීමෙන් පොල්ගොල්ලේ ස්ථාපිත කළා. ජාත්‍යන්තරයෙන් ලැබුණු සමුපකාර ප්‍රදානයන්ගෙන් වසර 80ක් තිස්සේ මේක සංවර්ධනය කළා.’ තුෂාර එලෙස විස්තර කළේය.

මේ කියන ආයතනයේ වටිනාකම රටේ ප්‍රකට නොවුණත්, දේශන ශාලා 13ක්, එකවර 260කට නේවාසිකාගාර පහසුකම් ලබාදෙන නේවාසිකාගාර 07ක්, එකවර 500කට ආහාර ගැනීමට භෝජනාගාර 02ක්, මුද්‍රණාලයක් සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශයක්, නවීන පරිගණක 91ක් සහිත පරිගණක විද්‍යාගාර 04ක්, සමූපකාර විෂයට අදාළ දකුණු ආසියාවේ විශාලම පුස්තකාලය, ආසන 1120ක් සහිත රඟහල, නිල නිවාස 19ක් ආදී පහසුකම් රැසක් සහිත ආයතනයකි. එම ආයතනය පුරා ඇවිද ගිය අපට, එයින් ලබාගත හැකි මහඟු ප්‍රයෝජන අවබෝධ කරගත්තෙමු. මේ නම් නිදා සිටින යෝධයෙකි.

‘මේ ආයතනය සමුපකාරිකන් සඳහා නිත්‍ය පුහුණු පාඨමාලා පවත්වනවා. ඊළඟට සමුපකාරිකයන් සඳහා වන විගණන ඩිප්ලෝමා, බැංකු ඩිප්ලෝමා, ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමා, පරිගණක හා තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා ආදී පාඨමාලා 14ක් පමණ පවත්වනවා. ඒ වගේම ක්ෂේත්‍රයේ ගැටලුවලට අදාළව කෙටිකාලීන වැඩමුළු, යාවත්කාලීන වැඩමුළු පවත්වන ආයතනය මේක.’ යැයි තුෂාර කීය.

ඊට අමතරව පනත අනුව මෙම ආයතනයේ කාර්යභාරයට පර්යේෂණ, තොරතුරු රැස්කිරීම්, නිතිපතා පුහුණු පැවැත්වීම් ඇතුළු මහා කාර්යභාරයක් යෝජනා කරයි. පැවරුණු සියලු කාර්යභාරයන් අද මේ ආයතනය කාර්යක්ෂමව ඉටුවන බවක් අපි නොකියමු. ඒ නිසාම දැන් කළ යුත්තේ මේ නිදිබර යෝධයා අවදි කර වඩාත් කාර්යක්ෂමව ගැමි ආර්ථිකය නංවන්නට යොදා ගැනීමයි. මේ ආයතනය උපරිම බලයෙන් ශක්තිමත් කිරීමයි. දුර්වල වූ ආර්ථිකයේ අස්සක් මුල්ලක් නෑර යමින්, දැනුම සොයමින්, පර්යේෂණ කරමින්, නවීන තාක්ෂණය හඳුන්වාදෙමින් කෘෂි, ධීවර, සුළු පරිමාණ කර්මාන්ත සියල්ල දැවැන්ත සංවර්ධනයක් වෙනුවෙන් දැනුමෙන් සන්නද්ධ කිරීමයි. එහෙත්, ආණ්ඩුව නොකරන්නේත් එයයි.

සමුපකාරයක වටිනාකම

ඔබ අඩු මිලට ලූනු කන්නට කැමතිද? සහල් ගන්නට කැමතිද? කිරි මෙන්ම තව බොහෝ නිෂ්පාදන සාධාරණ මිලකට ලබන්නට කැමතිද? එමෙන්ම ඒවා වගා කරන්නන් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවාට එකඟද? එසේ නම්, ග්‍රාමීය ආර්ථිකයත්, අතරමැදි මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දඬු අඬුවට හසු නොවූ ශක්තිමත් ගැමි නිෂ්පාදකයාත් වෙනුවෙන් ඔබ පෙනී සිටිනු ඇත.

ඔබ ෆොන්ටෙරා නම් වූ ප්‍රකට ආයතනය ගැන දන්නවා විය හැක. නවසීලන්තයේ සිට කිරි නිෂ්පාදන මෙරටට පවා අපනයනය කරන ෆොන්ටෙරා කිරි ගොවීන් 10,000ක් පමණ එක්ව ගොඩනඟාගත් සමුපකාර ආයතනයක් බව නොදන්නවා විය හැක. මේ වෙද්දී ලංකාවේ පොදුජන දේපළක් වූ මිල්කෝ ආයතනයේ අනාගතය භාරගත් අමුල් සමාගම ඉන්දියාවේ සමුපකාරයක් බව නොදන්නවා විය හැක. එවැනි ආයතනය පවත්වා ගැනීමේ හැකියාව අපටත් ඇත.

මෙරට සමුපකාරිකයන් ලක්ෂ 87ක් පමණ සිටී. ඒ සියලු දෙනා එක් විය යුතු බවත්, මෙම ක්‍රියාමාර්ගවලට විරුද්ධ විය යුතු බවත් පොල්ගොල්ල සමුපකාර විද්‍යාලය සුරැකීමේ සමුපකාරිකයන්ගේ ජාතික සංසදය කියා සිටී. එහි ලේකම් අනුර ගෝනවල මහතා මෙසේ කීය.

‘අපි මේ කරන්නේ අපරාධයක් කියා බය නැතිව ප්‍රකාශ කරනවා. අපේ රටේ තියෙන වටිනාම ආයතනයක් සහ සමස්ත ජනගහනයට ඉතාම පල ප්‍රයෝජන තියෙන ආයතනයක් මේ සමුකාර ව්‍යාපාරය. මේකට වෙමින් පවතින දේ ගැන හුදෙකලාව ඉන්න බැහැ. සමුපකාරිකයා සවිබල ගන්වමින් මේ අර්බුදයට, අපරාධයට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි සැලසුම් කරමින් ඉන්නවා. මේක පොල්ගොල්ල අධ්‍යාපන ආයතනය පමණක් විනාශ කරන්න සැලසුම් කළ එකක් නෙවෙයි. සමස්ත සමුපකාර ව්‍යාපාරය ලාංකේය සමුපකාර ව්‍යාපාරයම හකුළවලා, බිඳ වට්ටන ව්‍යාපාරයකට තමයි රජය කලෙක සිට සැලසුම් කරලා තියෙන්නේ. පහළ සාමාජිකයා සවිබල ගන්වමින්, මේ ව්‍යාපාරය විනාශ කරන්න නොදී රැකගැනීම සඳහා අපි පෙළගැහෙනවා.

මේ ආයතනය සමුපකාරිකයන් හැටියට ලෝක පරිමාණයෙන් ප්‍රයෝජනයට ගත හැකියි. ලෝක පරිමාණයෙන් මූල්‍ය අර්බුද පෙනෙන්නට තියෙනවා. සමුපකාර අධ්‍යාපනයේ වටිනාකම වැඩි වෙන කාලයක් මේක. මහජනතාවගේ යහපතට මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා සැලසුම් කරන්න. මේක විනාශ කරන්න හෝ වෙනත් කුමන හෝ කාර්යයකට පාවිච්චි කරන්නට ගැනීම බරපතළ අපරාධයක් කියන එක අපි විශ්වාස කරනවා.’

ගැමි ආර්ථිකය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ආචාර්ය අමාලි වෙදගෙදර සමුපකාරවල වටිනාකම ගැන මෙසේ විස්තර කළාය.

‘1911 සමුපකාර ව්‍යාපාරය එවකට හිටපු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ආණ්ඩුව පටන් ගත්තේ ඒ කාලයේ ගොවියන් අතර තිබුණු ණය අර්බුදයට උත්තරයක් හැටියට. එයට විසඳුමක් විදියට ඉන්දියාවේ තිබුණු සමුපකාර අත්දැකීම්වලින් ඉගෙනගෙන පටන් ගත්තා. එදා පටන් මේ විකාශනය වෙලා තියෙන අවුරුදු ගණනක කාලය තුළ සමුපකාර ව්‍යාපාරය බිම් මට්ටමේ ඉතිරි කිරීම සහ ණය දෙන සමිති, නිෂ්පාදන සමිති, විවිධ සේවා සමුපකාර සමිති ආදී විශාල පරාසයක විහිදිලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඉතිරි කිරීම් හා ණය දෙන සමිති තියෙනවා, නිෂ්පාදන ක්‍රියාවලියේ සිටින ගොවීන්, ධීවරයන්, පළතුරු නිෂ්පාදකයන් උතුරේ නම් තල් රා මදින අය ආදී බිම් මට්ටමේ ආර්ථික ක්‍රියාවලියක නියැළිලා ඉන්න අයට සමුපකාර සමිති වැදගත්. ඔවුන්ට නිෂ්පාදන ක්‍රියාවලිය සංවිධානය කරමින්, ජීවනෝපාය කරන මිනිස්සුන්ට ආර්ථිකමය ස්ථාවරත්වය සහ ආරක්ෂාව සපයනවා. මම දන්නවා උතුරේ තල් රා මදින්නන්ගේ සමුපකාර සමිතියේ රක්ෂණයක් පවා තියෙනවා. එතකොට පැහැදිලි වශයෙන් බිම් මට්ටමේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආර්ථිකයට දායකත්වයක් වෙන්න සම ුපකාර ව්‍යාපාරය ඇතිවෙලා තියෙනවා. ඒකේ අයිතිය තියෙන්නේ සමුපකාර ව්‍යාපාරයේ සාමාජිකයන්ට.

පිලිප් ගුණවර්ධන වැනි වාමාංශික ව්‍යාපාරවල නායකයන්ගේ දායකත්වයෙන් මේක ක්‍රියාත්මක වුණා. නව ලිබරල්වාදයත් එක්ක, වෙළෙඳපොළකරණය හමුවේ සමුපකාර දුර්වල වීමක් පේනවා. සමුපකාරය විශේෂයෙන් අභියෝගයක්.

2018 දී උතුරු පළාතේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ එය බිම් මට්ටමේ සංවිධානවලට ඍජුව බලපෑවා. ඒකට ලක් වූ සමුපකාර ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් එක්ක එක්වෙලා විශාල දේශපාලන හා සමාජ ව්‍යාපාරයක් ආරම්භ කළා. ඔවුන් පෙන්නුවා සාමාජිකයන්ට වාසිදායක ලෙස සාමාජිකයන් එක්ක කරගෙන යන ආර්ථික ක්‍රියාවලියට මූල්‍ය කම්පැණි බාධාවක් වෙලා තියෙන හැටි. ඒ වෙලාවේ වික්‍රමසිංහ අගමැතිවරයාත්, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාත් පිළිගන්නවා ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට විසඳුම තමයි සමුපකාර කියලා. හැබැයි 2018 ඉඳලා අවුරුදු 5ක් ගිහිල්ලා වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයේ සිටියදී බිම් මට්ටමේ තියෙන සමුපකාර සහ ප්‍රජාමූල්‍ය සංවිධාන දුර්වල කරන අණපනත් අරන් එන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා මේ නව ලිබරල් න්‍යායපත්‍රය අනුව, ව්‍යාපාරවල වුවමනාවට බිම් මට්ටමේ තියෙන සමුපකාර ආදී ආයතන දුර්වල කරන න්‍යාය පත්‍රයක් පෙනෙනවා.’

අධ්‍යාපන ආයතනය විනාශ කිරීමට අමතරව රේඛීය සමුපකාර දෙපාර්තමේන්තුව හකුළා දැමීමත් සිදුවීමට නියමිතය. දැනටමත් පසුගිය වසරේ මාර්තුවේ සිට සමුපකාර දෙපාර්තමේන්තුවේ නව සමුපකාර ලියාපදිංචි කිරීම නවත්වා ඇත.

මේ රජය ග්‍රාමීය ආර්ථිකය නොතකා ඉදිරියට යන බවක් මේවායින් පෙනෙන්නට තිබේ. මහා පරිමාණ ව්‍යාපාර මිස, මිනිසුන් එක් වී ගොඩනඟාගත් ආර්ථික ක්‍රියාවලි වෙනුවෙන් රජය කටයුතු නොකරන බව දැනේ. එවැනි ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධුරය පිලිප් ගුණවර්ධනගේ පුත් දිනේෂ් ගුණවර්ධන විසින් දැරීම වේදනාවකි. ඒ පසුබිමේ ‘ජාතික සමුපකාර සංවර්ධන ආයතනය ස්වයං මූල්‍ය පැවැත්මක් සහිත උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත් කිරීමේ සංකල්ප පත්‍රිකාව’ නම් ලියැවිල්ලක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ඉදිරිපත් කිරීමට ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ එක්සත් සේවක සංගමය කටයුතු කර ඇත. ඒ දැක හෝ බොරළුගොඩ සිංහයාගේ පුත්‍රයාගේ දෑස් විවරවේවා යැයි සමුපකාරිකයෝ ප්‍රාර්ථනා කරති.

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment