පාසල් සිසුවා දිවි නසා ගත්තේ වීඩියෝ ගේමක් නිසාද? තර්ජනවලට බියෙන් ද?

626

වට්ස්ඇප් බිලිගත් බණ්ඩාරගම පාසල් සිසුවා

හේතුව දැනගත්තේ මාස 02කට පස්සේ

සඳුන් බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි. වයස අවුරුදු දාහතකි. එම ප‍්‍රදේශයේම ජනප‍්‍රිය පාසලක ඔහු උසස් පෙළ හදාරමින් සිටියේය. කිසිවකුටත් කරදරයක් නොමැතිව තමන්ගේ පාඩුවේ ජීවත් වීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වූයේය. මිතුරු ඇසුරට වැඩි කැමැත්තක් නොදැක්වූ ඔහු සීමිත යහළුවන් පිරිසක් ඇසුරු කළේය.

පවුලේ එකම දරුවා නිසා දෙමව්පියන්ද ඔහුට කිසි අඩුපාඩුවක් දැක්වූයේ නැත. මාස කිහිපයකට ඉහතදී නවීන පන්නයේ ජංගම දුරකතනයක් ද ඔහුට ලබා දුන්නේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහාය. අධ්‍යාපන කටයුතුවලට අමතරව ඔහු අන්තර්ජාලය හරහා ගේම් ගැසීමට ද ඇබ්බැහි වී සිටියේය.

දැනට මාස කිහිපයකට ඉහතදී වට්ස්ඇප් හරහා ඔහුට තරුණියක හඳුනාගැනීමට හැකි විය. නමින් ඇය සෙව්වන්දිය. දින කීපයක් ඔහු ඇය සමඟ කෙටි පණිවුඩ හරහා තොරතුරු හුවමාරු කරගත්තේය. ඉන් පසු ඔහු එම තරුණිය සමඟ පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කරගත්හ. සති කිහිපයක් එලෙස ගත විය. දෙදෙනා අතර දැඩි මිත‍්‍රත්වයක් ගොඩ නැඟුණහ. ඒ අතර කාලය තුළ සඳුන්ගේ සිතේ එම තරුණිය පිළිබඳ දැඩි ආදරයක් ගොඩනැඟුණි.

”සෙව්වන්දි ගොඩක් ලස්සනයි. ඒ වගේම හරි හොඳ කෙනෙක්. මං ගැන නිතරම හොයලා බලනවා. මං දන්න විදිහට එයාට බෝයිෆ්‍රෙන්ඞ් කෙනෙක් නැතුව ඇති. එයාව වෙන කෙනෙකුට අයිති වෙන්න දෙන්න බැහැ. ඒක නිසා මගේ හිතේ තියෙන ආදරය ඉක්මනටම එයාට කියන්න ඕනා.”

සඳුන් නිතරම සෙව්වන්දි ගැන එලෙස සිතුවේය. ඒ අනුව දිනක් ඔහු ඇය සමග කෙටි පණිවිඩ මගින් මෙලෙස තොරතුරු හුවමාරු කරගත්තේය.

”සෙව්වන්දි මම ඔයාට වැදගත් දෙයක් කියන්න හිටියේ දවස් ගණනක ඉඳන්.”

”ඒ මොකද්ද සඳුන්.”

”මේක ඇහුවා කියලා ඔයා තරහ වෙන්න එපා මාත් එක්ක.”

”ඇයි මම ඔයා එක්ක තරහ වෙන්නේ. ඔයා මගේ හොඳ යාළුවෙක්නේ.”

”මම ඔයාගේ හොඳ යාළුවෙක් විතරද?”

”ඔව් ඔයා මගේ හොඳම යාළුවා. ඒක නෙවෙයි ඔයා මොකක්ද මගෙන් අහන්න ඉන්නේ.”

”එහෙනම් මම කෙලින්ම කියන්නම්.”

”කියන්න සඳුන් ඔයාට කියන්න බැරි දෙයක් නැහැනේ මට.”

”මම ඔයාට ආදරෙයි.”

”ඔය ඇත්තමද කියන්නෙ.”

”ඔව් ඇත්ත තමයි කියන්නේ. මම මොකටද ඔයාට බොරු කියන්නේ. කාලෙක ඉඳන් මම මේක හිතේ හිරකරගෙන හිටියා.”

”ඇයි ඔයා ඒක හිතේ හිර කරගෙන හිටියේ. මම හිතුවේ මීට කලින් ඔයා මට ආදරෙයි කියයි කියලා.”

”ඒ කියන්නේ ඔයත් මං ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා.”

”ඔව් සඳුන් ඇත්තටම. මමත් ඔයාට ගොඩක් කැමැත්තෙන් හිටියේ. මටත් ඕන උනේ ඉක්මනටම ඔයාගේ පෙම්වතිය වෙන්න.”

”ඇයි එහෙනම් ඔයා මට ඒක නොකිව්වේ.”

”කෙල්ල නොවෙයිනෙ මුලින්ම ආදරය කියන්නේ කොල්ලනේ.”

”එහෙමද? ඒ කියන්නේ ඔයා මට ආදරෙයි.”

”ඔහු සඳුන් මම ඇත්තටම ඔයාට ආදරෙයි.”

දෙදෙනාගේ පේ‍්‍රම සම්බන්ධතාවය එලෙස පටන් ගත්හ. ඉන් පසු සඳුන්ගේ එකම ලෝකය වූයේ සෙව්වන්දිය. ඔහු ඇයට නොසෑහෙන ලෙස ආදරය කළේය. එළිවෙනතුරු දෙදෙනා කෙටි පණිවිඩ මගින් තොරතුරු හුවමාරු කර ගත්හ. ඒ අනුව දිනක් සෙව්වන්දි ඔහුට මෙලෙස පැවසුවාය.

”සඳුන් මට ඔයාව නිතරම මතක් වෙනවා. මට නින්ද යන්නෙත් නැහැ.”

”මටත් එහෙම තමයි.”

”මම ආසයි ඔයා ළඟට වෙලා ඉන්න. ඒත් අම්මලා මට ගෙදරින් එළියට බහින්නවත් දෙන්නේ නැහැනේ. නැත්නම් මං එනවා ඔයාව බලන්න.”

”මමත් ආසාවෙන් ඉන්නේ ඔයාව දකින්න.”

”තව ටික දවසක් ඉවසන්න සඳුන්. මම එනවා ඔයාව හම්බවෙන්න.”

”අනේ ඉක්මනට එන්න සෙව්වන්දි මම මග බලාගෙන ඉන්නේ.”

”හරි හරි මම ඉක්මනටම එනවනේ. ඒ ආපු දාට ඔයා කැමති තැනකට මාව එක්කන් යන්න. මම ඉන්නවා දවසම ඔයාට තුරුල් වෙලා.”

”ඔය ඇත්තමද කියන්නෙ.”

”ඔව් ඇත්ත තමයි කියන්නේ.”

”ඔයාට බය නැද්ද?”

”ඇයි මං බය වෙන්නේ. මට ඔයාව මටත් වඩා විශ්වාසයි. ඒක නිසා මගේ හැම දෙයක්ම ඔයාට මං දෙනවා. මං හිතනවා ඔයා කවදාවත් මාව දාල යන එකක් නැහැ කියලා.”

”නැහැ සෙව්වන්දි මම ඔයාව කවදාවත් දාලා යන්නේ නැහැ.”

”සඳුන් මම ගැන වැරදියට හිතන්න එපා. මම ආසයි ඔයාගේ නිරුවත් පින්තූර ටිකක් බලන්න.”

”එහෙමද?”

”ඔව් ඔයා දැන් මගේ නේ. ඒක නිසා ඔයාගේ හැම දෙයක්ම මට අයිතියි. මම ආසයි ඔයාගේ ……. බලන්න. ඒක නිසා මට එතන පින්තූර ටිකක් එවන්න.”

”හරි හරි මම ඔයාට ඇති තරම් පින්තූර එවන්නම් මගේ…”

ඒ අනුව සඳුන් තම ශරීරයේ රහස් ප‍්‍රදේශවල පවා පින්තූර වට්ස්අප් හරහා තම පෙම්වතියට යැව්වේය. දින කිහිපයක් ගත විය. සඳුන්ගේ පෙම්වතිය දවසක් ඔහුට මෙලෙස පවසා කෙටි පණිවිඩයක් යැව්වාය.

”සඳුන් ඔයා හිතනවද මම කෙල්ලෙක් කියලා. මම කෙල්ලෙක් නොවේ කොල්ලෙක්. මම කෙල්ලෙක් වගේ රඟපෑවේ ඔයාගේ නිරුවත් පිංතූර

ගන්න. දැන් ඔයාගේ නිරුවත් පින්තූර රාශියක් මගේ ළඟ තියෙනවා. ඒක නිසා මම කියන විදිහට වැඩ කරන්න ඕනා. එහෙම නොවුණොත් මේ පින්තූර සේරම අන්තර්ජාලයට දානවා. එතකොට ඔයාට සමාජයටවත් මුහුණදෙන්න බැරි වේවි.”

තම පෙම්වතිය යැයි කියූ තරුණිය එලෙස එවූ කෙටි පණිවිඩ දුටු විගස සඳුන්ගෙ සියොළඟම දහඩියෙන් නැහැවුණි. තමන් වංචාකාරයකුට රැවටී ඇති බව ඔහු තේරුම් ගත්තේය. නිරුවත් පිංතූර රාශියක් ඔහු ළඟය. ඒවා අන්තර්ජාලයට දැමුවහොත් දෙමව්පියන්ට සමාජයට මුහුණ දීමට නොහැකිය. ඒ ගැන සිතා ඔහු දස අතේ කල්පනා කළේ කුමක් සිදු කරන්නේද කියාය. අවසානයේ ඔහු එම පුද්ගලයාට මෙලෙස පැවසුවේය.

”අනේ අයියේ මම ගොඩක් අසරණයි. ඒක නිසා මගේ පින්තූර ටික ඩිලීට් කරලා දාන්න. මම හිතුවේ ඇත්තටම අයියා මගේ පෙම්වතිය කියලා. ඒකයි කිව්ව ගමන් නිරුවත් පිංතූර පවා එව්වෙ.”

”දැන් කරන්න දෙයක් නැහැ. මම මේවා ඩිලීට් කරන්නේ නැහැ. ඔයා දැන් මං කියන විදිහට වැඩ කරන්න ඕනා.”

”මොනවද මම කරන්න ඕනේ.”

”ලොකු දෙයක් නෙමේ පොඩි දෙයයි. මම කියන වෙලාවට ඔයා මට ඬේටා කාඞ් දෙන්න ඕනා එච්චරයි. එහෙම නොකළොත් මේ පිංතූර සේරම අන්තර්ජාලයට දානවා.”

එතැන් පටන් එම නාඳුනන තරුණයා කියන සෑම මොහොතකම සඳුන් ඔහුට ඬේටා කාඞ් ලබා දුන්නේය. සමහර දිනවල රුපියල් දහසක පමණ ඬේටා කාඞ් ලබා දීමට ඔහුට සිදුවිය. එන්න එන්නම මේ තත්ත්වයේ අඩුවක් නොවුණි. දෙමව්පියන්ට විවිධ බොරු පවසමින් ඔහු එම පුද්ගලයාට ඬේටා කාඞ් ලබා දුන්නේය.

සඳුන් පාසල් සිසුවකු නිසා අතේ මුදල් ද නොතිබුණි. දිනක් ඔහු එම පුද්ගලයාට ඒ පිළිබඳව පැවසුවේය. එහිදී ඔහු පැවසුවේ ”මට ඒවායින් වැඩක් නැහැ. කොහෙන් හරි සල්ලි හොයලා මම කියන වෙලාවට ඬේටා කාඞ් දෙන්න ඕනා. එහෙම නොවුණොත් වෙන දේ දන්නවානේ.”

එය ඇසූ සඳුන් තවත් මානසිකව වැටුණේය. ඬේටා කාඞ් ලබා ගැනීම සඳහා ඔහු නොයෙක් බොරු පවසමින් දෙමවුපියන්ගෙන් මුදල් ලබා ගත්තේය. තවත් ඉදිරියට එය කළ නොහැකිය. එම නිසා නැවත වරක් ඔහු එම පුද්ගලයාට මෙලෙස පැවසුවේය .

”අයියේ මම තාත්තට ගොඩක් ආදරේයි. එයාට තවත් බොරු කියන්න බැහැ. මම ඉගෙන ගන්න ළමයෙක් තවත් මට ඬේටා කාඞ් දාන්න විදිහක් නෑහැ. ඒක නිසා මට කරදර කරන්න එපා.”

සඳුන්ගේ එම අහිංසක ඉල්ලීමට එම පුද්ගලයාගේ සිත උණු නොවුණි. ඔහු තර්ජනාත්මක ස්වරූපයෙන් පැවසුවේ දිගින් දිගටම ඬේටා කාඞ් දමන ලෙසයි.

එදින දවස පුරාම සඳුන් මෙම ප‍්‍රශ්නයට විසඳුමක් කල්පනා කළේය. එහෙත් සාර්ථක විසඳුමක් ඔහුට සොයා ගැනීමට නොහැකි විය. ඒ අනුව මානසිකවද ඔහු බින්දුවටම වැටී තිබුණි. කොටින්ම කිවහොත් ජීවිතය පවා ඔහුට එපාවී තිබුණි.

”මට කවදාවත් මේ පුද්ගලයාගේ ගැලවීමක් නැහැ. ජීවිත කාලයටම ඔහුට යටත් වෙලා ඉන්න වෙනවා. ඉදිරියේදී තව මොන මොනවා කරන්න කියයිද දන්නේ නැහැ. තවදුරටත් තාත්තට බොරු කියලා ඬේටා කාඞ් දාන්න සල්ලි ඉල්ලන්න බැහැ. මගේ ළඟත් සල්ලි නැහැ. මට මේ ප‍්‍රශ්නෙ කාටවත් කියන්නත් බැහැ. ඒක නිසා හොඳම දේ ජීවිතය නැති කර ගන්න එක.” නිතරම ඔහු එලෙස කල්පනා කළේය.

එන්න එන්න එම පුද්ගලයාගෙන් කරදර වැඩි වන්නට පටන් ගත්තේය. ඒ අනුව සඳුන් ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කළේය. නිවසේ කවුරුත් නොමැති මොහොතක ඉතාමත් අවාසනාවන්ත ලෙස කාමරය තුළ ඔහු ගෙල වැලලාගෙන මිය ගියේය.

එම පාසල් සිසුවා එලෙස මියගියේ කුමන හේතුවක් අරභයාද යන්න කිසිවෙකුටත් එක්වරම සිතාගැනීමට නොහැකි විය. ඔහුට එලෙස මිය යෑමට තරම් ප‍්‍රශ්නයක් තිබුණේ නැත. අවසානයේ සියල්ලන්ම නිගමනය කළේ අන්තර්ජාලයේ වීඩියෝ ගේම් ගැසීමට ඇබ්බැහි වී සිටි නිසා එවැනි ගේමකට අනුව ඔහු සිය දිවි හානි කරගන්නට ඇති බවයි.

එකම දරුවාගේ වියෝවෙන් දැඩි ලෙස කම්පා වී සිටි ඔහුගේ පියා මාස දෙකකට පමණ පසු තම මිය ගිය පුතාගේ ජංගම දුරකථනය පරීක්ෂා කර බැලූවේය. එලෙස පරීක්ෂා කිරීමේදී ඔහුට කිසියම් පුද්ගලයකු නිතරම ඬේටා කාඞ් ලබාගෙන තියෙන අයුරු දැක ගැනීමට හැකි විය. එම පුද්ගලයා සමග හුවමාරු කරගත් කෙටි පණිවිඩ සියල්ලම පාහේ ඔහු කියෙව්වේය. ඒ අනුව තම පුතාගේ නිරුවත් පිංතූර ගැන පවසමින් එම පුද්ගලයා ඬේටා කාඞ් ලබාගෙන තිබුණි. ඒ අනුව තම පුතා මියගියේ වීඩියෝ ගේමකට අනුව නොවන බවත් මෙම ගැටලූව නිසා විය හැකි බවත් ඔහු උපකල්පනය කළේය. ඒ අනුව වහාම ඔහු ඒ පිළිබඳව බණ්ඩාරගම පොලිසියට ගොස් පැමිණිල්ලක් දැමුවේය.

පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු ඒ පිළිබඳව පරික්ෂණ මෙම ලිපිය ලියන විටත් පවත්වමින් සිටියහ. එම පාසල් සිසුවා දිවි නසා ගත්තේ ඔහුට තර්ජනය කළ පුද්ගලයා නිසාද යන්න පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට එම පොලිස් නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වෙයි.

ඔබත් මෙවැනි කරදරයක පැටළුණු අයෙක් නම් ජීවිතය නැතිකර ගැනීමට සිහිනෙකින්වත් සිතන්නට එපා. පළමුව ඒ පිළිබඳව වැඩිහිටියන් දැනුවත් කරන්න. ඉන්පසු ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් දමන්න. එවිට නිසැකවම ඔබට සාධාරණය ඉටුවනු ඇත. තවද බොහෝ පිරිස් සමාජයට මුහුණ දීමට ඇති බිය නිසා මෙවැනි ප‍්‍රශ්න ගැන කතා කිරීමට අකැමැතිය. අද සිටවත් ඔබ එසේ නොවන්න නීතිය ඇත්තේ ඔබට පිහිට වීම සඳහා ය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment