ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව 2-1 ක තරගාවලි ජයක් ලබයි

141

නුවන් තුෂාර පන්දු යැවූ අයුරෙන් මට ලසිත් මාලිංග සිහි වුණා – තරගයේ වීරයා ගැන තරගාවලියේ වීරයා කුසල් කියයි

බංග්ලාදේශයට එරෙහිව තීරණාත්මක අවසන් තරගයේ පළමු පන්දු වාරයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගෙන තරගය වෙනස් කරමින් කණ්ඩායමට අවශ්‍ය දේ උපරිමයෙන් ලබා දීමට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සමත් වූ බව දෙරට අතර පන්දු වාර 20-20 තරගාවලියේ වීරයා වූ කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේය.

බංග්ලාදේශයට එරෙහිව පැවති තරග තුනකින් යුත් තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී කුසල් මෙන්ඩිස් එසේ ප්‍රකාශ කළ අතර එම තරගයේ වීරයා වූ නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් සමගින් ලකුණු 20 කට බංගල්දේශ කඩුලු පහක් බිඳ දැමීය.

කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සිල්හෙට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් තීරණාත්මක තරගයට පෙරේදා පා තැබූ අතර එහිදී ලකුණු 28ක පහසු ජයග්‍රහණයක් ලබමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලියේ ශූරයෝ බවට පත්වූහ.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට පන්දු වාර 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.

මීට පෙර පන්දු වාර විස්සයි විස්ස තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් අවස්ථා ලෙස තිසර පෙරේරා, ලසිත් මාලිංග (දෙවරක්), අකිල ධනංජය හා වනිඳු හසරංග වාර්තා අතරට එක්ව සිටින අතර තුෂාරගේ කඩුලු ත්‍රිත්වය ශ්‍රී ලංකාවේ හයවැනි කඩුලු ත්‍රිත්ව අවස්ථාව වේ.

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව 2-1 ක තරගාවලි ජයක් ලබයි

“නුවන් තුෂාර පන්දු යවන ආකාරය ගැන අපි සියලු දෙනාම සතුටු වෙන අතරම මේ වන විට කණ්ඩායමේ සිටින හොඳම පන්දු යවන්නා ඔහුයි. එසේම ලෝක කුසලානය ආසන්නයේ ඔහු මෙලෙස ඉහළ දස්කම් අතර සිටීම ගැන සතුටු වෙනවා. කණ්ඩායමටත් එය ඉතාමත් අවශ්‍ය දෙයක්. පසුගිය කාලයේ දී ඔහු දිගින් දිගටම ලීග් තරග ක්‍රීඩා කළා. දකුණු අප්‍රිකාවේදීත් ඔහු හොඳින් ක්‍රීඩා කළා. ඒ අනුව මෙම තීරණාත්මක අවසන් තරගයේ දී කණ්ඩායමට අවශ්‍ය දේ උපරිමයෙන් ලබා දීමට ඔහුට හැකි වුණා.

කුසල් මෙන්ඩිස් නුවන් තුෂාර පිළිබඳව තවදුරටත් එසේ පැවසීය.

“එම කඩුලු ත්‍රිත්වයෙනුයි තරගය අපේ පැත්තට හැරුණේ. මට ඒ අවස්ථාවේ දී මාලිංග පන්දු යැවූ ආකාරය මතක් වුණා. ඊට සමාන ආකාරයෙන් තමයි ඔහු කඩුලු ත්‍රිත්වය ලබා ගත්තේ. එහිදී පළමු සහ දෙවැනි තරගවල දී යම් දායකත්වයක් ලබා දීමට හැකි වුවත් තෙවැනි තරගයේදී මාගේ උපරිමය කණ්ඩායමට ලබා දෙන්න හැකි වූ බව මම සිතනවා.” යනුවෙන් ද එම තරගයේදී ලකුණු 86 ක් ලබා ගත් කුසල් මෙන්ඩිස් පැවැසීය.

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් එහිදී පන්දු 55 කින් ලකුණු 86 ක් රැස් කළ අතර ඊට හයේ පහර 6 හා හතරේ පහර 6 ක් ඇතුළත් වූයේය.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු හය ලකුණු 32 ක් තුළ බිඳ වැටුණු අතර බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි පන්දු වාරයේ දෙවැනි, තෙවැනි හා සිව්වැනි පන්දුවලදී තුෂාර සිය කඩුලු ත්‍රිත්වය දවා ගැනීමට සමත් වූයේය. ඔහුගේ පන්දු හමුවේ පිට පිට දැවී ගියේ නජ්මුල් හොසේන් ශන්තෝ, තව්හිද් රිඩෝයි හා රියාද් මහ්මුදුල්ලාහ් යන ක්‍රීඩකයෝ වෙති.

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව 2-1 ක තරගාවලි ජයක් ලබයි

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 174/7 (පන්දු වාර 20)

කුසල් මෙන්ඩිස් 86, දසුන් ශානක 19, වනිඳු හසරංග 15, ටස්කින් අහ්මඩ් 2/25, රිෂාඩ් හොසේන් 2/35

බංග්ලාදේශය 146 /10 (පන්දු වාර 19.4)

රිෂාඩ් හොසේන් 53, ටස්කින් අහ්මඩ් 31, මහෙදි හසන් 19, නුවන් තුෂාර 5/20, වනිඳු හසරංග 2/32

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment