ප්‍රංශ කණ්ඩායමට කෙන්යානු ජනපතිගෙන් සුබ පැතුම්

508

මෙවර ‘ෆිෆා’ ලෝක කුසලාන පාපන්දු ශුරතා තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් බහුතරය අප්‍රිකානු සම්භවයක් සහිත ක්‍රීඩකයන් වීම හේතුවෙන් කෙන්යාවේ ජනාධිපති විලියම් සැමොයි රුටෝ එම කණ්ඩායම මගේ අප්‍රිකානු කණ්ඩායම ලෙස හඳුන්වා දී තිබේ. කටාරයේ ආර්ජන්ටිනාව සමග පැවති ලෝක කුසලාන පාපන්දු ශුරතා තරගාවලියේ අවසන් මහා තරගයේදී ‘මගේ අප්‍රිකානු කණ්ඩායම’ (ප්‍රංශ පාපන්දු කණ්ඩායම) සුපිරි දස්කම් දැක්වූ බව කෙන්යානු ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබේ.

මෙවර ලෝක ශුරතා පාපන්දු තරගාවලියේ අවසන් මහා ගැටුමේදී අප්‍රිකානු සම්භවයක් සහිත ක්‍රීඩකයන් රැසක් නියෝජනය කළ ප්‍රංශ පාපන්දු කණ්ඩායමට අප්‍රිකානු මහාද්වීපයේ ක්‍රීඩාලෝලීන් වැඩි පිරිසකගේ සහාය හිමිව තිබූ අතර කැමරුන් රාජ්‍යය ඇතුළු අප්‍රිකානු රටවල් රැසක ක්‍රීඩාලෝලීහු ප්‍රසිද්ධ ස්ථානවලට රැස් වී ප්‍රංශ පාපන්දු කණ්ඩායම සහභාගි වූ පාපන්දු තරග රූපවාහිනියෙන් නරඹා ඇත්තේ ප්‍රංශ ජාතික කොඩියේ වර්ණ සහිත ඇඳුම් පළඳිමින් බව වාර්තා වී තිබේ. වත්මන් ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායමේ අප්‍රිකානු සම්භවයක් සහිත ක්‍රීඩකයන් 15 දෙනකු සිටින අතර කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයා සේ සැලකෙන කයිලියාන් ම්බප්පේගේ දෙමවුපියන් අප්‍රිකානු රටවල් වන ඇල්ජීරියාවෙන් හා කැමරුන් රාජ්‍යයයේ සිට ප්‍රංශයට සංක්‍රමණය වූවන් බව අනාවරණය වී තිබේ. ප්‍රංශ කණ්ඩායමේ සිටින සෙසු අප්‍රිකානු සම්භවයක් සහිත ක්‍රීඩකයන්ගේ දෙමවුපියන් කොංගෝ රාජ්‍යය, ඇන්ගෝලාව, ටෝගෝ හා ගිනියාව ඇතුළු අප්‍රිකානු රටවලින් ප්‍රංශයට සංක්‍රමණය වූවන්ය. ප්‍රංශය සහභාගි වූ ලෝක කුසලාන තරගවලදී අප්‍රිකානු සංගීතය පසුබිමෙන් වාදනය කිරීමට පියවර ගෙන තිබූ බවද වාර්තා වේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment