මෙරට ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් අමිල මෙහෙයක් කරමින් රටේ ජනතාවට එළිය සපයන ලක්ෂපාන සංකීර්ණය හැදුණු කතාව අපි පසුගිය සතියේ ඔබට කීවෙමු. ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, සමනල, කැනියොන්, බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරවලින් සමන්විත මේ සංකීර්ණය ජාතික විදුලි පද්ධතියට ජලවිදුලියෙන් වැඩිම දායකත්වයක් එනම් 40% දායකත්වයක් ලබාදෙයි. ලක්ෂපාන නම හැදුණු හැටි ගැන ද හරි අපූරු කතාවක් ඇත. විමලසුරේන්ද්‍රයන්ට ලක්ෂපාන බලාගාරය සෑදීමට විවිධ බාධාවලට මුහුණදීමට සිදුවිය. අවසානයේ මේ ව්‍යාපෘතිය අතරමග නතරවුණු තැන් ද තිබිණි. මේ බලාගාරය ඉදිවූයේ සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති ශ්‍රීපාද අඩවියේය. අප යම් සුබ දෙයක් ආරම්භ කරන්නට පෙර ආගමික ආශිර්වාදය ලබාගැනීම අපේ සංස්කෘතික ලක්ෂණයකි. ඒ අනුව වරින් වර බාධාවන් පැමිණි ලක්ෂපාන බලාගාරයේ ඉදිකිරීම් අඛණ්ඩව සිදුකර ගැනීමට සමන් දෙවියන්ට බාරයක් වනුයේ 1947 වසරේදීය. ඒ නෝටන්බ්‍රිජ්හි ශ්‍රී සද්ධර්මාරාමයේදීය. අවසානයේ 1951දී බලාගාරයේ වැඩ නිම විණි. සමන් දෙවියන්ට වූ බාරය වූයේ ශ්‍රීපාද මග දෙපස පහන් ලක්ෂයක් දැල්වීම ය. බාරවූ ලෙසින් ශ්‍රීපාදයට යන මග දෙපස පහන් ලක්ෂයක් දැල්වුණි. ‘ලක්ෂ-පහන’ ‘ලක්ෂපාන’ ලෙසින් මෙම විදුලි බලාගාරය නාමකරණය වන්නේ එලෙසිනි.

සත්‍ය ලෙසින් ම ලක්ෂපාන දිය ඇල්ල සප්ත කන්‍යාවියගේ පාමුල ඇද හැළෙනා මනරම් දිය දහරකි.

අල්ලා අතින් වනමල් තුරුගොමු සිඹින
සොලවා සළඹ කිංකිණි හඬ නාද දෙන
කඳුකර නමැති රඟමඬලේ මැද රඟන
ඇය නළඟනකි දිය මතුපිට උපන්දින

ලක්ෂපාන දිය කොමළියගේ සුන්දර බව කියන අසේල ජයකොඩි කිතුල්ගල මේ පද පෙළ අප නෙත ගැටුණේ මුහුණු පොතෙන්ය. සැබැවින්ම ලක්ෂපාන සංකීර්ණය පිහිටා ඇත්තේ සොබාදම් මාතාවගේ අධි සංවේදී කලාපයක ය. එකී පරිසර පද්ධතිය සුරකිමින්, දැය ආලෝකවත් කිරීමට ලක්ෂපාන සංකීර්ණයේ විදුලි ඉංජිනේරුවන් මෙන්ම සියලු සේවක සේවිකාවන් ඇපකැප වී කටයුතු කරයි. එහෙත් මේ සුන්දරත්වය අතරේ වර්තමානයේ ඇසෙන අසුන්දර කතාවකි. එනම් මේ සොබාදම් මාතාව කෙළෙසන ආත්මාර්ථකාමී මිනිසුන්ගේ හැසිරීමය. අද වනවිට ශ්‍රීපාදය සහ මේ අවට සොබා සිරි නරඹන්නට එන මිනිසුන් ප්ලාස්ටික්, පොලිතින් වැනි අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම නිසා මාවුස්සාකැලේ ජලාශයේ ජලය දූෂණය වෙමින් තිබේ.

කොළඹ ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ පවස සංසිඳුවන කැලණි ගඟේ ප්‍රධාන මූලාශ්‍රයන් වනුයේ කෙහෙල්ගමුව සහ මස්කෙළිය ජලාශයයි. අග නගරයේ වෙසෙන ජනයාට වසර පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවනුයේ මෙම ජලාශ දෙකෙහි ජලය නොඅඩුව රැඳී තිබුණොත් පමණි. එනිසා ලක්ෂපාන සංකීර්ණය භාරව සිටින විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් මෙන්ම සේවකයන් මෙම ජලාශ ඉතා සුපිරිසුදුව පවත්වාගෙන යෑමට උත්සුක වේ. සැබැවින්ම ඔවුන් කරන තවත් එක් ජාතික මෙහෙවරකි එය.

“පානීය ජලය අපි කාටත් ජීවිතය පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා ලක්ෂපානෙන් විදුලිය ලබාදෙනවා වගේම, අපි ලබාදෙන ජලය රැක ගැනීම, තත්ත්වය පාලනය කිරීම සහ නිසි වෙලාවට සැපයීම අපේ ප්‍රධාන වගකීමක් විදිහට තමයි හිතන්නෙ. අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා අපි කැපවී වැඩකරනවා වගේම, පානීය ජලය ලබාදීමටත් අපි දැඩි සේ කැපවී වැඩ කරනවා. ඒත් කියන්න කනගාටුයි අපිට එතනදි සෑහෙන බලපෑම් තියෙනවා. අපේ සංස්කෘතියෙ මෑතක ඉඳල තියෙන ඉතා ම නරක පුරුද්දක් තමයි අපි පරිසරය ගැන හිතන්නෙ නැති වීම. අද ඇවිත් වුණත් බලන්න, කාසල්රී වගේම මාවුස්සාකැලේ ජලාශවල තත්ත්වය. ජලාශවල ඉවුරු දෙපැත්තෙ තියෙන්නෙ ප්ලාස්ටික් කඳු. ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් කෑන්, කොළකෑලි ඉවුරු දෙපැත්තෙ ගොඩගැහිල. ඒක නිසා ඇතිවන්නෙ ඛේදනීය පල විපාක.”

කඳුළු ගඟක් වන්නට පෙර සුරැකිය යුතු ලක්ෂපාන

ලක්ෂපාන සංකීර්ණයේ ජලාශවල තත්ත්වය පිළිබඳ මේ ලෙසින් හඬ අවදි කළේ ලක්ෂපාන සංකීර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්. ඉලුක්තැන්න මහතා යි.

අපි සිස්ටම් චේන්ජ් කරන්නට කතා කරන්නෙමු. එහෙත් අපේ ඔළුවේ සිස්ටම් තවමත් අවුල්ය.

“අපිට මූලික ජලාශ දෙකෙන් විදුලිබල මණ්ඩලයට වෙන්වුණු රක්ෂිත ලකුණු කරල තියෙනවා. හැබැයි අද වෙද්දි මේ ඒ රක්ෂිත ඇතුළෙත් බලහත්කාරයෙන් අනවසර පදිංචිකරුවන් ඉන්නවා. ඒ විදිහට කාසල්රී ජලාශය අවට අනවසර පදිංචිකරුවන් 150ක් 200ක් විතර ඉන්නවා. මෙහි භයානක තත්ත්වය තමයි ඔවුන් පදිංචි වෙන්නෙ විශාල ගස් තියෙන තැන්වල. ඔවුන් එහෙම පදිංචිවෙලා අර ගස් කපන්න අපෙන් අවසරය ඉල්ලනවා. අපි මේ ගැන ප්‍රාදේශීය ලේකම්තුමත් එක්කත් කතා කළා. ඇත්තටම ගස් කියන්නෙ මේ රක්ෂිතයේ විතරක් නෙමෙයි අපේ ජලාශවල ප්‍රධාන පෝෂකය. ඒවා විනාශ කළොත් මේ ජලාශ හිඳිල විදුලිබලය විතරක් නෙමෙයි, බීමට ජලය පවා නැතිවෙන තැනට එනව. මණ්ඩලය විදිහට නීතිමය වශයෙන් අපට කරන්න පුළුවන් ළඟම තියෙන පොලිසියට ගිහින් පැමිණිලි කරන්න විතරයි. ඒත් ඒවා ඒ තරම් පලක් නෑ. ඒ නිසා මම හිතන්නෙ වගකිව යුතු අංශ මේවට වහා මැදිහත්වෙන්න ඕන. නැත්නම් මේ ප්‍රධාන ජල පෝෂක පරිසර පද්ධතිය කාන්තාරයක් වෙන එක වැඩි ඈතක නැහැ.”

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියන පරිදි සිදුවෙමින් තිබෙන පරිසර සංහාරය ඉතා දරුණුය. මේ විනාශවෙමින් තිබෙන්නේ අධි සංවේදී පරිසර කලාපයකි. රක්ෂිතය අවට අනවසර ඉදිකිරීම් කරන මුග්ධයන්ට වහා දඬුවම් කළ යුතුය. මෙය එක අතකට රාජ්‍ය දේපල අවභාවිතාවකි. අනෙක් පසින් රටම අනතුරේ හෙළීමකි. මෙහි ප්‍රතිවිපාක ඉතා දරුණු වනු ඇත. එනිසා මේ රක්ෂිතය රැක ගැනීමට බලධාරීන් වහා ක්‍රියාකළ යුතුමය. නැත්නම් එහි සාපයෙන් පීඩා විඳිනුයේ මෙරට අනාගත පරපුරය.

මේ ලක්ෂපාන සංකීර්ණයේ ඉංජිනේරු ඉරෝෂ් ප්‍රනාන්දු ය.

“කාසල්රී ජලාශය වර්ග කිලෝ මීටර් 115ක වපසරියකින් යුක්තයි. මාවුස්සාකැලේ ජලාශය වර්ග කිලෝ මීටර් 128ක විහිදී තියෙනවා. ලක්ෂපාන ජලාශය වර්ග කිලෝමීටර් 28.5ක්. කැනියොන් ජලාශය 22.6ක්, ඒ වගේම නෝර්ටන් ජලාශයේ පැතිරීම 19.42ක්.

අපේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තුමා කියපු විදිහට ගස් කැපීම සිදුවෙනවා. පළමු කාරණය තමයි ජලාශ අසල භූමි ප්‍රදේශ ඉහළ වෙළඳ වටිනාකමක් තියෙනවා. මොකද ඉතා සුන්දර පරිසර පද්ධතියක් තමයි තියෙන්නෙ. ඕන කෙනෙක්ගෙ හිත් ඇද ගන්නා පරිසරයක් තමයි අවට තියෙන්නෙ. ඒ නිසා පරිසර සංවේදී කලාපවල හෝටල්, අවන්හල් හදනවා. මොකද ඒවාට ලොකු සංචාරක ආකර්ෂණයක් තියෙනවා. හැබැයි මේ හෝටල්, අවන්හල් හදන අයට තේරෙන්නෙ නැති දෙයක් තියෙනවා. ඒ තමයි මේ විදිහට ගස්කපල පරිසරය විනාශ කර ජලාශ වටේම හෝටල් හැදුවොත් ස්වභාවික ලස්සන නැතිවෙනවා. විනාශ වෙනවා. එතකොට සංචාරකයෝ එන්නෙ නැහැ. අනෙක මේ විදිහට ජලාශ අවට කරන ඉදිකිරීම් නිසා ජලාශවල ඉවුරු ඛාදනය, අපද්‍රව්‍ය එකතුවීම නිසා ජලාශවල එක් රැස්වෙන ජලයේ ප්‍රමිතිය බාල වෙනවා. ජලය දූෂණය වෙනවා. ඒක අපිට හොඳටම පේන්නේ දැඩි නියං කාලවලදි.

ඒ කාලයට ඇල්ගි වර්ධනයන් කාසල්රී ජලාශයේ අපි දකිනවා. ජලාශයක ඒ විදිහට ඇල්ගී පැතිරෙනවා කියන්නේ ඒ ජලාශයේ ජෛව තුලිතතාවය බිඳී යනවා. එය ජලජ ජීවීන්ට සුදුසු පරිසරයක් නෙමෙයි. මත්ස්‍යයන් වැනි ජලජ ජීවීන් ජලාශයක ජීවත්වෙනවා කියන්නෙ ඒක හොඳ සජීවී ජලාශයක්. මොකද ඉන් කියැවෙන්නෙ ඒ ජලයේ හොඳ ඔක්සිජන් ප්‍රතිශතයක් තියෙන බව. එහෙම වුණාම තමයි ජලජ ශාක හැදෙන්නේ. එහෙම වුණොත් තමයි පිරිසිදු ඔක්සිජන් ජලයට එකතුවෙන්නෙ. ජලාශවලට වාතයේ තියෙන ඔක්සිජන් උරාගන්න බැහැ. ඒ නිසා ඒ ජලාශ ඔක්සිජන් උරාගන්නෙ ජලාශයේ තියෙන හිතකර ජල ශාකවලින්. ඇල්ගී වගේ ජලාශයට අහිතකර ශාක පැතිරුණොත් ජලයේ ඔක්සිජන් ප්‍රතිශතය පහළ යනවා. එතකොට මාළු මැරෙනවා. ඒ සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වාතය ජලය සමග මුසු වීම නිසා. අපිට පල් වතුරෙන් හරි ජල විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒත් තියෙන ප්‍රශ්නය තමයි මේ වතුර තමයි කොළඹ, අඹතලේ ජනතාව බොන්නෙ. ඒ ආරක්ෂාව ගැන අපට වගකීමක් තියෙනවා, මොකද මේ ජලාශ භාරව ඉන්න අපි නිසා.”

කඳුළු ගඟක් වන්නට පෙර සුරැකිය යුතු ලක්ෂපාන

සිවිල් ඉංජිනේරු ඉරෝෂ් කියන්නේ අපේ තොල් කට වියළී යන කතාවකි. සුඵ පිරිසකගේ අධම ක්‍රියාවන් නිසා අවසානයේ මුළු මහත් ජාතියක්ම පීඩාවට පත්වන කතාවකි. එහෙත් මෙය අපට දැනෙන්නේ කොළඹ මහල් නිවාසවල හෝ කොළඹ අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණවල කරාමයක් විවෘත කර බොන වතුර පල් ගඳ හමන දිනයේදීය. එවිට සියල්ල සිදුවී අවසානය. මෙරට පරිසරය සුරැකීම වෙනුවෙන් නීති රීති බොහෝ ඇත. සෑම නීතියක් සේම පරිසර නීතිය ද පොතට සීමාවෙමින් දේශපාලන හයියෙන් හෝ මුදල්වල බලෙන් මෙරට පරිසර පද්ධතිය විනාශවෙමින් තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. හැම නීතියක්ම බලයට, මුදලට යටය. එහෙත් මේ යන විදිහට නම් අපටත් පානීය වතුර බෝතල් පිටරටින් ගෙන්වීමට සිදුවන දිනය වැඩි ඈතක නොවනු ඇත. බලධාරීන් නොදකින, දැක්කත් නොදැක්කා සේ සිටීමෙන් සිදුවන මේ හානියට අනාගතයේදී බිහිවෙන ආණ්ඩුවලට වන්දි ගෙවීමට සිදුවනුයේ ඩොලර්වලිනි. ඒ පානීය වතුර බෝතල් ද පිටරටින් ගෙන්වන තත්ත්වයට පත්වීමෙනි. අපි එහෙව් ජාතියකි.

“ඇත්තට මේ පාරිසරික විනාශයට විරුද්ධව ක්‍රියාමාර්ග නැති නිසා තත්ත්වය ඉතා නරක අතට හැරෙමින් තියෙනවා. කවුරු හරි ඇවිල්ල බලෙන් පදිංචි වුණාට පස්සෙ ඔවුන්ව ඉවත් කරන එකත් ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. සමහර වෙලාවට අනවසර ඉදිකිරීම් අයින් කරන්න තීන්දු කරල තියෙද්දි ඒවා ප්‍රතික්ෂේප වුණ අවස්ථා තියෙනවා. මස්කෙළිය, හැටන්, නෝර්ටන් පොලිස් ස්ථාන තමයි මේ රක්ෂිතයට අයත් පොලිස් බල ප්‍රදේශ. පොලීසිය නීතිය ක්‍රියාත්මක කලත් අධිකරණ කටයුතුවල පවතින මන්දගාමී බව නීති කඩන්නන් උත්තේජනයක් කරගෙන තියෙනවා . ඒත් ඇත්තටම සමහර වෙලාවට පොලිස් නිලධාරීන් පවා අසරණ වෙන තැන් අපි දකිනවා. මොකද මේ පරිසර සංහාරය කරන අය දන්නවා පොලිසියේ පැමිණිල්ලක් දැම්මත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ කියල. ඒ නිසා මේ ක්‍රියාකාරකම් එන්න එන්නම වැඩිවෙලා.”

එලෙසින් නැවත අප හා එක්වූයේ සාමාන්‍යාධිකාරී ඉලුක්තැන්න ය. රක්ෂිතය අවට කැලෑ කපා ඉදිකරන වෙළඳ ඉදිකිරීම්වලින් කිසිදු ආදායමක් රජයට නොලැබේ. එහෙත් ඔවුන්ට කිසිදු ගැටලුවක් නැත. දිනෙන් දින රක්ෂිතයෙන් අල්ලාගන්නා බිම් ප්‍රමාණය වැඩිවෙමින් තිබේ.

“මැණික් ඉල්ලම් බහුල ප්‍රදේශයක් විදිහට තමයි මාවුස්සාකැලේ වගේ කාස්ලරී අවට ප්‍රදේශ සැලකෙන්නෙ. ඒ නිසා වතුර අඩුවෙන කාලයට අනවසර මැණික් ගැරීම් ජලාශවල සිද්ධවෙනවා. අපට තියෙන පහසුකම් එක්ක අපිට හරි අපහසුයි නිතරම මේ ගැන සොයා බලන්න, ඒවා ආරක්ෂා කරන්න. මොකද ඒකට අවශ්‍ය මානව සම්පත හිඟයි. ජලය අඩුවුණාම කරන මැණික් ගැරීම නිසා විශාල වශයෙන් ඉවුරු ඛාදනයක් වෙනවා. මඩ තැන්පත්වෙනවා ජලාශවල. එහෙම වුණාම ජලාශවල ජල ධාරිතාව අඩුවෙනවා. ඊට අමතරව පසුගිය කාලයේ යෝජනා ආවා ජාතික මට්ටමින් පවා ජලාශවල පතුල හාරලා මැණික් ඉල්ලම් ලබාගන්න. ඒ විදිහට මැණික් ගැරීම් කරන්න ගියොත් තත්ත්වය තවත් දරුණු වේවි.

මොකද ජලාශවල ජලය රඳවාගෙන ඉන්නෙ පස්වලින්. පස්වල පැලුම් තියෙනවා. සාමාන්‍ය තත්ත්වය තමයි ඒ පැලුම්වලින් වතුර එළියට යන්න පුළුවන්. නමුත් කාලයක් තිස්සේ රොන් මඩ තැන්පත්වෙලා හොඳ ලේයර් එකක් අපේ ජලාශ පතුලෙ තියෙනවා. හැබැයි මැණික් ගැරීම නිසා ඒ තට්ටුව ඉවත්වීමෙන් ජලාශවල ජල ධාරිතාව රඳවා ගැනීමේ ගැටලු එන්න පුළුවන්. ඒ මැණික් වගේ නෙමේ මේ ජලය මේ රටේ ආර්ථිකට කෝටිගාණක දායකත්වයක් දෙනවා. ජලය ධාරිතාව රඳවා ගැනීමේ වගකීමක් අපට තියෙනවා. එහෙම නැත්නම් නියං කාලයේ මීට වඩා වේගයෙන් ජලාශ සිඳී යනවා. එතකොට ලංකා විදුලිබල මණ්ඩලයට සිද්ධවෙනවා, තෙල්වලින් විදුලිය නිෂ්පාදනය කරන්න. ඩීසල් විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න. එතකොට තෙල් ගෙන්වන්න ඩොලර් ඕන. අන්තිමේ ඒ බර එන්නෙ විදුලි පාරිභෝගිකයාගෙ බිලට. මොකද එහෙම වුණොත් විදුලිබිල තව වැඩි කරන්න වෙනවා. අනෙක දැඩි නියං කාලවලදී කැලණි ගඟට කරදිය එකතුවීම වළක්වන්න, කැලණි ගඟේ ජල මට්ටම ඉහළ තත්ත්වයක පවත්වාගෙන යන්න අපි අපේ ජලාශවලින් කැලණි ගඟට ජලය නිකුත් කරල තියෙනව. ඒ නිසා මේ පරිසරය පද්ධතිය රැකගත්තෙ නැතිවුණොත් ඉදිරියට මේවා පවත්වාගෙන යෑම දැඩි
අභියෝගයක්.”

ඉරෝෂ මහතා කියනුයේ මසුරන් වටින කතාවකි. එනම් ජලය ද මැණික් හා සමාන වටිනාකමක් ඇති ස්වභාවික සම්පතකි. මැණික් නොමැතිව මානවයාගේ ජීවය පවත්වාගත හැකිය. එහෙත් ජලය නැතිවීමෙන් ඇතිවන තත්ත්වය අමුතුවෙන් කිව යුතු නොවේ. සැම දේ ම මුදලින් පමණක් මැනීම මානව සමාජයේ පැවැත්මට සාධාරණ නැත. ජලාශ හාරා මැණික් ගැරීම අටුව කඩා පුටුව හැදීම වැනි වැඩකි. අනෙක ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීමට යෑම අපි මේ පෙළන ආර්ථික අර්බුදයේ අන්තයටම අපව හෙළන්නකි.

කතාව දැන් පැහැදිලිය. අතළොස්සකගේ ක්‍රියාකාරකම් නිසා සිදුවෙමින් තිබෙන විනාශය වචන වලින් කිව නොහැක. එක් පසෙකින් වාර්ෂිකව ටොන් ගණනින් ජලාශවලට එකතුවන ප්ලාස්ටිස් බෝතල්ය. අනෙක් පසින් ලක්ෂපාන රක්ෂිතය තුළ ඉදිවී සහ ඉදිවෙමින් තිබෙන අනවසර ඉදිකිරීම්. එමෙන්ම අනවසර මැණික් ගැරීම්ය. විමලසුරේන්ද්‍රයන් එදා ලක්ෂපාන සංකීර්ණය ඉදිකිරීමට සැලසුම් සැකසුවේ පරිසර හිතකාමී ලෙසිනි. එය පරිසරය සුරකින ව්‍යාපෘතියකි. එය අදටත් එසේම පවත්වා ගැනීමට විදුලිබල මණ්ඩලය දැඩි වෙහෙසක් ගනී. එයට ඔවුන් උරදි සිටින්නේ ජාතික වගකීමක් ලෙසිනි. එහෙත් මුදලින් සහ බලයෙන් සියල්ල තීරණය වන සමාජයක මෙවැනි ජාතික වැදගත්කමකින් යුත් සංකීර්ණයක් රැකගැනීම අති දුෂ්කර කටයුත්තකි. කිනම් දුෂ්කරතාවක් තිබුණ ද විදුලිබල සේවකයින් ලක්ෂපාන සංකීර්ණයේ සංවේදී පරිසර පද්ධතිය සුරැකීම වෙනුවෙන් වෙහෙසෙන අයුරු ප්‍රශංසනීය වේ. අප ඔවුන් කියූ දේ අකුරු කරන්නේද ඔවුන්ගේ ඒ උත්සාහයකට ජාතික පුවත්පතක් වශයෙන් අපෙන් ඉටුවිය යුතු යුතුකම ඉටුකරන්නටය. මේ ගැන බලධාරීන්ගේ පමණක් නොව මේ පරිසර පද්ධතිය විනාශ කරන්නට ටොෆි කොළයෙන් පවා දායකවන්නන්ගේ ඇස් පෑදෙන්නටය. ඉදින් මේ විනාශය වළක්වාලීමට ඔබ කළ යුත්තේ ඔබේ පා සටහන පමණක් ඒ බිමෙහි තබා ඒම පමණි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment