මීට දශක තුනහමාරකට පෙර ඉන්දියාව බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට ඇතුළු කළ 13 වැනි සංශෝධනය ඉවත් කිරීම මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් විය යුතුද? එජාප නායක ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීමෙන් 1987 නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුව සම්මත කළ 13 වැනි සංශෝධනය මත ගොඩනැඟූ පළාත් සභා ක්‍රමය ඉවත් කිරීම/ වර්තමාන දේශපාලනික තත්ත්වය තුළ කළ හැකිද?

පළාත් සභා ක්‍රමය 1987 ජුලි 29 දින අත්සන් කරන ලද ඉන්දු – ලංකා ගිවිසුමේ ඍජු ප්‍රතිපලයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

පළාත් සභා සහ 13 වැනි සංශෝධනය ඉවත් කළ යුතු බවට මෑතකදී හිටපු දකුණු පළාත් සභාවේ සාමාජික පසඳ යාපා අබේවර්ධන කළ කරුණු දැක්වීම විමසා බැලිය යුතුය. ඒ එම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරයා ලෙස ඉන්දියාවේ සේවය කළ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩගේ (අගෝස්තු 2021 – සැප්තැම්බර් 2023) අනුදැනුම මත කළ නිසාය.

ලංකා ලෝකය සංවිධානයේ ප්‍රධානියා ලෙස හිටපු එජාප මන්ත්‍රී ආර්. ඒ. ඩී. සිරිසේන සහ නීතිඥ කනිෂ්ක බස්නායක දෙපසින් තබාගෙන කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ඥාති පසඳ යාපා (ඔහු වත්මන් සතොස සභාපතිවරයාය) නිපොන් හෝටලයේ පෙබරවාරි 19 දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී බංකොළොත් ශ්‍රී ලංකා රාජ්‍ය තවදුරටත් සුදු අලියකු වූ පළාත් සභා පවත්වාගෙන යෑම අපරාධයක් ලෙස අවධාරණය කළේය.

පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළ දින පටන් අද වනතුරු ඊට රුපියල් බිලියන 7,000 මහජන මුදල් වැයකර ඇති බව දැඩිව අවධාරණය කළ පසඳ යාපා ප්‍රධාන දේශපාලන පක්ෂවලට මෙම තත්ත්වය සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ කිරීමට ආරාධනා කළේය. ලංකාලෝකය පෙන්වා දුන්නේ මෙම ක්‍රමයේ ප්‍රයෝජනය දැනටම දේශපාලනයේ සිටින පවුල්වලට බවයි.

ඉන්දියාව මෙවැනි යෝජනාවක් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය යහපත් විය නොහැකි බවට මෙම ලියුම්කරු එම මාධ්‍ය සාකච්ඡාවේදී පෙන්වා දුන් අතර පසඳ යාපා ප්‍රකාශ කළේ හිටපු අමාත්‍ය මොරගොඩ මේ තත්ත්වය සම්බන්ධයෙන් තමන්ව දැනුවත් කළ බවත් ඉන්දියාවේ අවශ්‍යතාවය ද්‍රවිඩ ප්‍රශ්නය විසඳීම මිස පළාත් සභා පවත්වාගෙන යෑම නොවන බවත්ය. මෙම ලියුම්කරු නැවත අවධාරණය කළේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී පවා දිගින් දිගටම ඉන්දියාව 13 සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ අවශ්‍යතාවය ප්‍රකාශ කර ඇති බවයි.

එජාප කැබිනට් මණ්ඩලය සහ ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කැබිනට් මණ්ඩලය 2001 සිට 2010 දක්වා නියෝජනය කළ මොරගොඩ මහකොමසාරිස් තනතුරු ලැබීමට පෙර සිටම 13 වැනි සංශෝධනය ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයක් ලෙස අවධාරණය කර ඇත. ලංකාලෝකය වෙනුවෙන් පසඳ යාපා කළ ප්‍රකාශය පාත් ෆයින්ඩර් ආයතනයේ (Path Finder) නිර්මාතෘ මොරගොඩගේ න්‍යාය පත්‍රයේ කොටසකි.

පසඳ යාපාගේ පියා හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා වත්මන් වයඹ ආණ්ඩුකාරය වීම නොසලකා භූමියේ තත්ත්වය විමසා බැලිය නොහැක. පසඳ යාපා සතොස සභාපති ලෙස පත්වීම සහ ලක්ෂ්මන් යාපා ආණ්ඩුකාර තනතුරට පත්වීම රනිල් වික්‍රමසිංහ 2022 ජූලි මාසයේ ජනාධිපති ධුරයේ දිව්රුම් දීමෙන් පසුව සිදුවිය.

ගෝඨාභයගේ ව්‍යවස්ථාවෙත් 13

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා නායකත්වයෙන් සැකසූ නව ව්‍යවස්ථා කෙටුම්පතෙන් 13 වැනි සංශෝධනය ඉවත් කර තිබුණේ නැත.

රොමේෂ් ද සිල්වාගේ නම දෙනකුගෙන් සමන්විත කණ්ඩායමේ සාමාජිකයකු වූ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා පසුගිය ඔක්තෝබරයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වූ රැස්වීමකදී අවධාරණය කළේ තම කණ්ඩායම 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කළ යෝජනා හරහා තවදුරටත් එය රටේ ඒකීයභාවයට තර්ජනයක් නොවන බවයි. බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය රොමේෂ් ද සිල්වා සහ මනෝහර ද සිල්වාගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබූ එම රැස්වීමෙන් සංවිධායකයන්ගේ අවශ්‍යතාවය ඉටු වූවාද ?

මහජන මුදල් වැයකර සකස් කළ එම යෝජනාවලියට සිදුවූ දෙයක් නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයෙන් 2022 ජූලි 09 වැනි දින ඉවත් වනතුරු එතුමා එම යෝජනාවලිය නිල වශයෙන් රටට ඉදිරිපත් කළේ නැත. අරගලය සමයේ එම යෝජනාවලිය රටට ඉදිරිපත් කිරීමට සැලසුම් කළ නමුත් එය සිදුකිරීමට අවශ්‍ය වුවමනාව ගෝඨාභයගේ ආණ්ඩුවට තිබුණේ නැත. කෙසේ වෙතත් ගෝඨාභයගේ යෝජනාවලියේද 13 වැනි සංශෝධනය අඩංගු වීම සම්බන්ධයෙන් ආන්දෝලාණාත්මක තත්ත්වයක් ඇති විය. ඒ වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුවය.

වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, විශ්‍රාමික ජෙනරාල් ජගත් ඩයස් ඇතුළු කණ්ඩායමක් ගෝඨාභයගේ මැදිහත්වීමෙන් සැදූ ව්‍යවස්ථා කෙටුම්පතේ 13 තව දුරටත් තිබීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත. ආරම්භයේදී ඉන්දියාව පෝෂණය කළ ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමට තම දිවි පරදුවට තබා සටන් කළ නිලධාරියකු ලෙස ඩයස්ගේ මතය 13 වැනි සංශෝධනය මත රැඳී සිටින පළාත් සභා ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට තර්ජනයක් බවයි. එය කිසිසේත්ම හුදෙකලා අදහසක් නොවේ.

පළාත් සභා ක්‍රමය ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක (ඡන්දයෙන් පත්වූ සභිකයන් නොමැති තත්ත්වයක් තුළ පවා) හෙයින් විධායක ජනාධිපතිධුරය කිසිසේත් ඉවත් කිරීම නොකළ යුතු බව ජාතික සංවිධානවල ස්ථාවරයයි. ජනාධිපතිවරණය කැඳවීමට මාස කීපයකට පෙර විධායක ජනාධිපතිධුරය ඉවත් කිරීම නැවතත් මතුකර ඇත. පළාත් සභා අහෝසි කරනතුරු විධායක ජනාධිපතිධුරය තිබිය යුතු බව අවධාරණය කරන කණ්ඩායම ඉන්දියානු බලපෑම මධ්‍යයේ වුවද ජයවර්ධන ජනාධිපතිවරයා රටේ ආරක්ෂාවට යම් පියවර ගනු ලැබූ බවට පිළිගෙන ඇත. එම පියවර වන්නේ (1) සමගාමී ලැයිස්තුව

ඒ අනුව යම් පළාතක වෙසෙන ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයට අදාළ විෂයන් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවට නීති පැනවීමට තිබෙන ව්‍යවස්ථාපිත අයිතිය (2) ආණ්ඩුකාරවරයා හරහා ක්‍රියාත්මක විධායක බලතල (3) ජාතික ප්‍රතිපත්ති සැදීමේ බලය මධ්‍යම ආණ්ඩුවට (4) මූල්‍ය බලය සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට නොදීම සහ (5) ඉඩම් අන්සතු කිරීමේ බලය ජනාධිපතිවරයාට සතුවීම.

නමුත් බෙදුම්වාදයට පක්ෂපාති ආණ්ඩුවක් හරහා තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට ඊළාම්වාදීන්ට හැකිය. ද්‍රවිඩ ත්‍රස්තවාදී යුද බලයෙන් ලබා ගැනීමට නොහැකි වූ ෆෙඩරල් බලය ජාත්‍යන්තරයේද පූර්ණ සහය ඇතිව ව්‍යවස්ථා මෙහෙයුමක් හරහා ලබා ගැනීමේ උත්සාහය තවමත් අතහැර නැත.

නව ඉන්දියානු විරෝධයක්

ජාතික මැතිවරණ දෙකක් පැවැත්වීමට නියමිත 2024 අග සහ 2025 දී 13 ට එරෙහිව ස්ථාවරයක් ගැනීමට ප්‍රධාන පක්ෂ පොළඹවා ගැනීමට මොරගොඩ -ලංකාලෝකය කරනු ලබන උත්සාහය සුළුකොට තැකිය යුතු නැත. නමුත් එම මෙහෙයුම සමස්තයක් ලෙස ආර්ථික කරුණු කාරණා අවධාරණය කරමින් කරන බව පෙන්වා දිය හැකිය. කරුණු කාරණා පරස්පර වුවත් පළාත් සභා සහ 13 වැනි සංශෝධනයට එරෙහිව පුළුල් ව්‍යාපාරයක් ගොඩනැගීමට යම් උත්සහයක් කළ හැකිය. ප්‍රධාන දේශපාලන පක්ෂ එය ජාතික අවශ්‍යතාවයක් ලෙස පිළිගතහොත් සැප්තැම්බර් 17 – ඔක්තෝබර් 17, 2024 අතර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සහ ඊට පසුව පැවැත්වෙන මහමැතිවරණයේදී පළාත් සභා අහෝසි කිරීම දේශපාලන මාතෘකාවක් වෙනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජනබලවේගය මෑතකදී ඉන්දියානු ආරාධනයෙන් එහි ඉහළ පෙළේ සංචාරයක යෙදීම, ඉන්දියානුවන්ට මෙරට රැකියා වෙළෙඳපොළ සහ වෙළෙඳාමට නිදහසේ පිවිසිය හැකි ආකාරයට සැකසෙමින් තිබෙන එට්කා ගිවිසුම, බංකොළොත්භාවයට පත්වූවාට ඉන්දියාව ශ්‍රී ලංකාවට කරනු ලබන බලපෑම සහ හරින් ප්‍රනාන්දු ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව පැවසීම හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය මත නව ඉන්දීය විරෝධයක් ඇතිවී ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතිවී තිබෙන අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුව නියෝජනය කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටු පක්ෂයට) පාර්ලිමේන්තුවේදී දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේ ඔවුන් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමිනි. වීරවංශ ප්‍රහාරය පසුබිමේ 13 වැනි සංශෝධනය සහ පළාත් සභා අහෝසි කිරීම බොහෝ දුරට ආකර්ශනීය මාතෘකාවක් විය හැකිය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තමන් තීරණය කර ඇති බව ප්‍රකාශ කර ඇත. හිටපු අමාත්‍ය මොරගොඩ පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට කරන යෝජනාව ආන්දෝලණාත්මක වන්නේ ඇමෙරිකාව සහ ඉන්දියාව ඒ සම්බන්ධයෙන් එක මතයක සිටින බව රහසක් නොවන නිසාය. ඒ හිටපු අමාත්‍යවරයාට ඇමෙරිකාව සමග කිට්ටු සම්බන්ධතාවයක් ඇති බවට යම් පාර්ශ්ව චෝදනා කරන නිසාය.

ජනාධිපතිවරයා තමන්ගේ ස්ථාවරය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මියව දැනුවත් කළේය. ඇමෙරිකාව අමුතුවෙන් දැනුවත් කිරීමට අවශ්‍ය නැත. ඒ ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ ඇමෙරිකානු – ඉන්දීය න්‍යාය පත්‍රයට අනුව නිසාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවාසය ඉදිරිපිටිඅරගලය ආරම්භ වූයේ නූලන්ඩ් ශ්‍රී ලංකාවේ කළ සංචාරයෙන් දින කීපයකට පසුවය. පැඟිරිවත්ත පිපිරීම මාර්තු 31 දින සිදු විය. නූලන්ඩ් වසරක් යෑමටත් පෙර නැවතත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ වෙන රාජකාරියක් නැතුව නොවන බව අවධාරණය කළ යුතුය.

යුක්රේනය අස්ථාවර කිරීමට මීට වසර 10කට පමණ පෙර ඇය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියක ලෙස කළ කාර්ය ලෝකයම දනී. යුක්රේනය සම්බන්ධව බටහිර ආණ්ඩු අතර ‘ගනුදෙනුවේදී’ යුරෝපීය සංගමය සමඟ සංසර්ගයේ යෙදෙන්න (‘‘Fuck the EU’’) කියා ඇය දුරකථන සංවාදයකදී කළ ප්‍රකාශය ලෝකයේ දැඩි අවධානයට ලක් විය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදය චීනයට එරෙහි බටහිර මෙහෙයුමේ ඉන්දියාව ස්ථානගතවීම මත තීරණය වනු ඇත. ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව නූලන්ඩ් වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් දැඩි ලෙස දොස් පවරන්නේ චීනයටය. ඒ තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසක් ඉදිරියේය. ඉන්දු – බටහිර න්‍යාය පත්‍රය පැහැදිලිය. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම එම න්‍යාය පත්‍රයේ ඉහළින්ම ඇති බව ශ්‍රී ලංකාව හසුරුවන ආකාරයෙන් තේරුම්ගත හැක.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉඩම් සහ පොලිස් බලතල ඇතුළුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට තමන් තීරණය කර ඇති බව ප්‍රකාශ කිරීමෙන් පාර්ලිමේන්තුවට කර ඇති අභියෝගය සුළුපටු නොවේ. එය විශේෂයෙන්ම පොහොට්ටු පක්ෂය අපහසුතාවයට ලක්කරන තත්ත්වයකි.

එජාප නායක වික්‍රමසිංහ එම අභියෝගය ජනවාරි 26, 2023 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී එල්ල කළේ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා සහ දෙවරක් ජනාධිපති මහින්ද රාජපක්ෂ තම දකුණු පසින් තබාගෙනය. ජනාධිපතිවරයාගේ වම් පසින් මහින්ද යාපා කථානායකවරයා සහ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ද විය.

අතිශය ගැටලුකාරී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා පළමුවෙන්ම ප්‍රකාශ කළේ 2023 ජනවාරි 15, දින තෛපොංගල් සැමරීමට යාපනයේ සංචාරය කළ අවස්ථාවේදීය. දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාද එම අවස්ථාවට සහභාගි විය.

ජනාධිපතිවරයාගේ ස්ථාවරය

වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලිය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් පක්ෂ 15 තම ස්ථාවරය හෙළි කළ යුතුය. ජනාධිපතිවරයා එම පක්ෂවලට පසුගිය වසරේ මෙලෙස අනතුරු ඇඟවීය. “දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නෙත් නෑ, අහෝසි කරන්නෙත් නෑ කියලා පාර්ලිමේන්තුවට තවදුරටත් තීරණයක් ගැනීමෙන් වැළකී සිටිය නොහැකියි. ඕනෑම මන්ත්‍රීවරයකුට අවස්ථාව තිබෙනවා පාර්ලිමේන්තුවට 13 වැනි සංශෝධනය අහෝසි කරන්න කියලා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරන්න. එම යෝජනාව බහුතරයක් ප්‍රතික්ෂේප කළහොත් 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා.”

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා තමන්ගේ න්‍යාය පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අභියෝගය පාර්ලිමේන්තුව වෙනුවෙන් ගත හැකි පක්ෂයක්/ කණ්ඩායමක්/ මන්ත්‍රීවරයකු සිටිනවාද ?

පාර්ලිමේන්තුවේ එජාපයට ඇත්තේ එක ජාතික ලැයිස්තු ධුරයකි. (වජිර අබේවර්ධන) අග්‍රාමාත්‍යධුරය හිමි මහජන එක්සත් පෙරමුණට පාර්ලිමේන්තුවේ හිමි ආසන තුනකි. (දිනේෂ් ගුණවර්ධන, සිසිර ජයකොඩි සහ අග්‍රාමාත්‍ය පුත්‍ර ජාතික ලැයිස්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන). දිනේෂ් ගුණවර්ධනද ජනාධිපතිවරයාගේ යෝජනාවට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යෝජනාවට පක්ෂව කෙටි අදහස් දැක්වීමක් කළ අතර යෝජිත ක්‍රියාමාර්ගයට පූර්ණ ලෙස විරුද්ධ වූයේ යුතුකම සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග (පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තුව) සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පමණි. (පොහොට්ටු පක්ෂය) පමණි. යුතුකම සංවිධානයේ නායක ඉතාමත් නිවැරදිව පෙන්වා දුන්නේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබිඹු නොකරන බවයි.

විශ්‍රාමික ලුතිනල් කර්නල් ඒ. එස්. අමරසේකර ජාතික ඒකාබද්ධ කමිටුව වෙනුවෙන් නිකුත් කළ නිවේදනය වර්තමාන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු දෙනාගේම අවධානයට යොමු විය යුතුය. එලෙසෙම ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කළ ප්‍රකාශයද වැදගත්ය. එම දෙපාර්ශ්වයම මහින්ද රාජපක්ෂ සහ දිනේෂ් ගුණවර්ධනට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය හෙළි කිරීමට අභියෝග කර ඇත.

ජාතික ඒකාබද්ධ කමිටුව අවධාරණය කළේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අභියෝගය ඉදිරියේ ඔවුන් දෙදෙනාගේ නිශ්ශබ්දතාවය කනගාටුදායක බවයි.

ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන් දෙවන කැරැල්ලට (1987-1990) ප්‍රධානතම හේතුව වූයේ එම ඉන්දියානු මැදිහත්වීමයි. ඉන්දු – ලංකා ගිවිසුමට අනුව උතුරු – නැගෙනහිර පළාත් දෙක (පරිපාලන දිස්ත්‍රික්ක පහක්) එකතු කර එක උතුරු නැගෙනහිර පළාත් සභාව පිහිටුවූ අතර, තමන් සන්නද්ධ කළ සියලුම ද්‍රවිඩ ත්‍රස්තවාදී කණ්ඩායම් නිරායුධ කිරීමට ඉන්දියාව පොරොන්දු විය. ඉන්දියාව තමන් ශ්‍රී ලංකාවට ලිඛිතව ලබා දුන් ප්‍රධානතම පොරොන්දුව කඩ කළේය.

එදා ත්‍රස්තවාදය හරහා ඉන්දු – ලංකා ගිවිසුම පිළිගැනීමට අප රටට කළ බලපෑම පාර්ලිමේන්තුව අමතක කර දමා ඇත. අද අප රට බංකොලොත්භාවයට පත්වීම තුළ ඉන්දියානු බලපෑම වෙනස් ආකාරයකින් ක්‍රියාත්මකය. ඇමෙරිකානු ඩොලර් බිලියන 50 කට අධික ණය කන්දකට යටවී සිටින ශ්‍රී ලංකාව ඉන්දියාව, චීනය, ජපානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ නමා ඇත. තත්ත්වය ඉතාමත් සංකීර්ණය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වසර හතරක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ලබා ගැනීමට තවමත් තටමන ශ්‍රී ලංකාව පසුගිය වසරේ පමණක් ඊට වඩා වැඩි මුදලක් ඉන්දියාවෙන් ලබා ගෙන ඇත.

දහතුන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළහොත් රටේ ඒකීයභාවය නැතිවී යන බවට ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් අනතුරු අඟවන පසුබිම තුළ ඉන්දියාවේ භූමිකාව ශ්‍රී ලංකාව තේරුම්ගත යුතුය. ඉන්දියානු මෙහෙයුමට ලෝක බලවතා වන ඇමෙරිකාවේ සහය ඇත. ඒ චීනය සමඟ ගැටුමේ ඇමෙරිකාවේ ප්‍රධාන මිතුරා ඉන්දියාව වන හෙයිනි. එමෙන්ම ශ්‍රී ලංකාව ජිනීවා යුද අපරාධ උගුලේ ස්ථිරව හිරකර තැබීම සමස්ත බටහිර – ඉන්දියානු උපක්‍රමයේ ප්‍රධාන සාධකය බව තවමත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ අවධානයට යොමු වී නැත.

බංකොළොත් ශ්‍රී ලංකාව සමඟ ඇමෙරිකාව යුද අභ්‍යාස පැවැත්වීම, ඉන්දීය යුද නැව් ශ්‍රී ලංකාවට පැමිණීම, ඔස්ටේ්‍රලියාව ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාවට ඉන්දියාව හරහා ඉන්ධන ලබා දීම සහ ජපානය සමඟ පුළුල් සම්බන්ධතා සමස්ත සැලැස්මේම අංග බව ශ්‍රී ලංකාවට වැටහිය යුතුය. ඇමෙරිකාව – ඔස්ට්‍රේලියාව -ජපානය – ඉන්දියාව ස්ථාපිත කර ඇති ‘කෝඩ්’ නමැති සංවිධානය චීනය සමඟ ඇතිකර ගෙන ඇති ගැටුමට ශ්‍රී ලංකාව පාවිච්චිකරන ආකාරය ඇත්ත වශයෙන්ම අසික්කිතය.

ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කර වසර හතරකට පසුව එවකට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. එම්. ක්‍රිෂ්ණා (2012 ජනවාරි) සහ ඉන්දීය විපක්ෂ නායිකාව වූ සුෂ්මා ස්වරාජ් (2012 අප්‍රේල්) දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට ‘එහා’ යෑමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් සමඟ පැවසූ බවට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ එදා ඉන්දු – ලංකා සම්බන්ධතා අභියෝගයට ලක් කළේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන් එලෙස පොරොන්දුවක් ලබා නොදුන් බව පසුව ප්‍රකාශ කළේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය අවධාරණය කරන්නේ ඉන්දියාව ඇතිකරන දැඩි තෙරපුමයි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment