“මයිකල් මගේ ළඟ හොඳින් ඉන්නවා” කොස්ගොඩ සුජී කියයි

සුජීගේ දකුණු අතලු

තවත් පාතාලයේ හතක් ඉන්නවා

කොස්ගොඩ සුජී යනු කවුරුන්ද කියා අමුතුවෙන් කිව යුතු නැත. ඔහු මෙරට ප්‍රසිද්ධ මැර චරිතයකි. දකුණු පාතාලයේ ප්‍රබලයකු වන ඔහු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මෙහෙයවන්නේ නීතිය ද සත පහකට මායිම් නොකරය.

පසුගිය වසර කිහිපය තුළ ඔහු තම ගෝල බාලයින් යොදා සිදුකළ අපරාධ සංඛ්‍යාව කොතෙක්දැයි කිව නොහැකිය. ඒ තරමටම ඔහු ඔහුගේ ඝාතන සහ ඇතැම් අපරාධ සිදුකර තිබේ. එයට අමතරව ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම ද ජයටම සිදු කරගෙන යයි. තවද දකුණු පාතාලයේ කිරුළ හිමි කර ගැනීම සඳහා රත්ගම විදුර සමග කොස්ගොඩ සුජී දරුණු සටනක නියැළෙයි.

මෙලෙස පාතාලයේ ප්‍රබලයකු වන කොස්ගොඩ සුජී ගේ දකුණු අත බඳු වන්නේ ඌරගහ මයිකල්ය. මයිකල් හිටපු හමුදා සෙබළෙකි. ඌරගහ ප්‍රදේශයේ පදිංචි ඔහු කොස්ගොඩ සුජී දැන හඳුනාගන්නේ දැනට වසර කිහිපයකට ඉහතදීය. සුජීගේ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් මයිකල් සිදු කළ අතර ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීමට ද ඔහු කටයුතු කළේය. කලක් එලෙස ඒ ආකාරයෙන්ම ගතවිය. අවසානයේ මයිකල් පසුපස පොලිසිය පන්නන්නට පටන් ගත්තේය.

මයිකල් ඒ බව සුජීට පැවසූයේ මෙලෙසය.

“සුජී මට පොඩි දෙයක් කියන්න තියෙනවා.”

“ඒ මොකක්ද මයිකල්”

“දැන් නම් මට මෙහෙ ඉන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ”

“ඇයි ඒ”

“පොලිසිය මං ගැන ඇහැ ගහගෙන ඉන්නෙ”

“එහෙමද..?”

“කෝ මට තැන් දෙක තුනකින්ම ආරංචි ආවා. පසුගිය කාලේ සිදුකළ අපරාධ මගේ අනුදැනුම මත සිදු වූ ඒවා බව පොලිසිය හොයාගත්තා.”

“එහෙනම් මයිකල් ඔයා ඔහේ ඉන්න එක භයානකයි.”

“ඒක තමයි සුජී කොයි වෙලාවක හරි මාව හොයා

ගන්නවා පොලිසියෙන්.”

“දැනට කොළඹට වෙලා ඉන්න. මම සුපිරි තැනක් සෙට් කරලා දෙන්නම්.”

“කොළඹ ඉන්නත් බයයි මොකද මගේ පස්සෙන් සී.අයි.ඩී එකත් ඉන්නවා…”

“ඒකත් එහෙමද? එහෙම නම් දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි.”

“ඒ මොකක්ද මයිකල් උඹත් මෙහෙට වරෙන් මම උඹව ඉක්මනට ගන්නම්. ”

“එතකොට මේ වැඩ ටික කරන්නෙ කවුද…?”

“ඒකට අපි එකෙක් හදාගමු. මගේ ළඟ පොඩි ප්ලෑන් එකක් තියෙනවා මම පස්සෙ කියන්නම් එතකං මයිකල් පරිස්සමෙන් හිටපන් මම ඉක්මනට උඹව මෙහාට ගන්නම්.”

ඌරගහ මයිකල් ඩුබායි පොලිසියත් අන්දලා

ඒ අනුව කොස්ගොඩ සුජී හැකි ඉක්මනින් ඌරගහ මයිකල් ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වා ගත්තේය. මයිකල් යනු අපරාධ සැලසුම් කිරීමට උපන් හපනෙකි. එම නිසා මයිකල් වැඩිකල් නොගොස්ම කොස්ගොඩ සුජීගේ ප්‍රධාන ගෝලයා බවට පත්විය.

එතැන් සිට ඌරගහ මයිකල් කොස්ගොඩ සුජී ගේ අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට සහය දුන්නා පමණක් නොව මෙහෙයවන්නට ද පටන් ගත්තේය. එල්ටීටීඊ සංවිධානය චාල්ස් ඇන්ටනී බලකායේ වෙඩික්කරුවකු වූ බුම්මා නොහොත් කෙනෙඩි නමැත්තාව කොස්ගොඩ සුජීගේ ම කුලී ඝාතන සඳහා යොදා ගන්නේ ද ඌරගහ මයිකල් විසින් ය.

සති කිහිපයකට ඉහතදී බෙලිඅත්තේ සිදු වූ පංච පුද්ගල ඝාතනය මෙහෙය වූ අය අතර ඌරගහ මයිකල් ද සිටියේය. එලෙස ඝාතනය වූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා සමග ඌරගහ මයිකල් සිට ඇත්තේ වෛරයකිනි. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු ඝාතනය කිරීම සඳහා සමන් පෙරේරා උදව් කිරීමය. එම ගෝලයා ඌරගහ මයිකල්ට ද කාලයක් තිස්සේ වැඩ කර තිබිණි.

ඩුබායි සිට එලෙස අපරාධ සැලසුම් කරන මයිකල් රාත්‍රී සමාජ ශාලා වෙත යෑමට දැඩි කැමැත්තක් දැක්වූයේ ය. විවේක ලද සෑම මොහොතකම ඔහු තම හිතවතුන් සමග රාත්‍රී සමාජ ශාලාවල කාලය ගත කරමින් විනෝද විය.

දිනය පසුගිය 21 වැනිදාය. වෙලාව රාත්‍රී දහය පසුවී තිබිණ. ඩුබාහි පිහිටි එක්තරා රාත්‍රී සමාජ ශාලාවක විදේශිකයින් ඇතුළු පිරිසක් විනෝද වෙමින් සිටියහ. ඒ පිරිස අතර ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක් ද විය. ඒ අය මෙරටින් පැනගොස් එරට සැඟව සිටින අපරාධකරුවන්ය. එක්වරම එහි සිටි දෙපාර්ශ්වයක් අතර බහින්බස්වීමක් ඇති විය. එය එන්න එන්නම දරුණු අතට හැරිණි. දෙපාර්ශ්වය අතර ගුටිබැට හුවමාරුවක් ඇති විය.

රාත්‍රී සමාජ ශාලාවේ සේවය කළ ආරක්ෂක අංශ නිලධාරීන්ට එය මැඩ පැවැත්වීමට ද නොහැකි විය. වහාම ඔවුන් ඩුබායි පොලිසියට මේ බව දැන්වීය. විනාඩි කිහිපයක් ගතවීමට මත්තෙන් පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණියහ. පොලිස් නිලධාරීන් පැමිණෙන විටත් ගැටුම අවසන් වී නොතිබිණි. එතැනට පැමිණි පොලිස් නිලධාරින් ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයින් දහතුන් දෙනකු අත්අඩංගුවට ගත්තේය.

ඒ අතර ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක්ද විය.

ඩුබායි පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූවන් අතර කොස්ගොඩ සුජීගේ දකුණු අත බඳු ඌරගහ මයිකල් සහ අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නාවික හමුදාවේ විශ්‍රාමික සෙබළකු වන චම්පික ප්‍රසන්න කුමාර ඇතුළු පිරිසක් සිටිනා බවට තොරතුරු හෙළි විය.

පසුව එය මෙරට ආරක්ෂක අංශ වෙතද දැනගන්නට ලැබිණි. ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට පත් වූවන් අතර ඌරගහ මයිකල් සිටින බවට නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේය. ඔහු පැවසුවේ මෙතෙක් ඩුබායි පොලිසිය ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය මගින් තහවුරු කිරීමක් සිදු නොකර ඇති බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති ජාත්‍යන්තර පොලිස් ශාඛාවේ නිලධාරීන් තොරතුරු ගැනීමට උත්සාහ කරමින් සිටින බවද ඔහු කියා සිටියහ.

කොස්ගොඩ සුජී මෙම සිද්ධිය පිළිබඳව පවසා තිබුණේ මෙවැනි දෙයකි. “මයිකල් ඩුබායි පොලිසිය විසින් ම අත්අඩංගුවට ගත්තේ නැහැ. ඔහු හොඳින් ඉන්නවා. මගේ ළඟ ඉන්න මයිකල් අත්අඩංගුවට ගත්තා කියන්නේ කොහොමද….? මේක තනිකරම බොරුවක්..” මේ වග අපට පැවසුවේ ඩුබායි සිටින කොස්ගොඩ සුජීගේ ළඟම හිතවතෙකි.

කොස්ගොඩ සුජී එලෙස පැවසුවත් පසුව සිදු කළ විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනගන්නට ලැබී ඇත්තේ එලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ ඌරගහ මයිකල් ඇතුළු පාතාල සාමාජිකයින් හත් දෙනෙකු බවයි. ඌරගහ මයිකල් නමැත්තාට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් ලබාගෙන තිබීම නිසා ඔහු මෙරටට රැගෙන ඒමට හැකි බවත් ඒ පිළිබඳව ඩුබායි පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සමග සාකච්ඡා පවත්වා ඇති බවත් ය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment