බොරලුකන්ද උණුසුම් කරන මොකක්ද මේ අවනඩුව

573

බොරලුකන්ද බෞද්ධ පුදබිම විහාරස්ථානයක් විදිහට ලියාපදිංචි කරලා තියෙන්නෙ…
අමරපුර මහානිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝ නායක අම්පිටියේ සීලවංශ තිස්ස හිමි

බොරලුකන්ද චෛත්‍යය හාරලා නිධන් හොරු කොල්ලකාගෙන තියෙන්නෙ වටිනා මැණික් පොදියක්…
දෙමළ විෂය පිරිවෙන් ගුරු උපදේශක, බොරලුකන්ද රජමහා විහාරාධිකාරී ත්‍රිකුණාමලයේ සුඛිතවංස තිස්ස හිමි

මේ වෙනකොට ජීවිත තර්ජන එමටයි. ඒත් ආගම, ජාතිය වෙනුවෙන් ජීවිතය පූජා කරන්න මම ලෑස්තියි…
උතුරු, නැගෙනහිර, තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පොල්හේන්ගොඩ උපරතන හිමි

2008 අවුරුද්දෙ මේ ස්ථානයට වැඩම කරනකොටත් චෛත්‍යය හාරලා නිධානය කොල්ල කාලා…
පුරාවිද්‍යා චක්‍රවර්වතී ආචාර්ය එල්ලාවල මෙධානන්ද හිමි

ප්‍රෞඪ බෞද්ධ උරුමයක් සඟවාගෙන සිටින බොරලුකන්ද මනරම් පරිසරයකි. ඈතට විහිදී යන කඳු ගැටයේ පසුපස වෙල්ගම් වෙහෙර විසල් වැවට සහ ඉදිරිපස ත්‍රිකුණාමලය – නිලාවේලී මාර්ගයට මායිම් වී ඇත. එම මාර්ගයේ හයේ කණුව, ඉලුප්පු කුලම ප්‍රදේශයෙන් පහළට බෑවුම් වන බොරලුකන්ද බිම්තැන්නෙ දිය පිරුණු කුඩා පොකුණකි. පිපී හිනැහෙන නෙළුම් මල්වලින් පිරුණු ඒ දිය කඳ පතුළ නොපෙනෙන තරමට ගැඹුරු බව අපට පැවසුවේ පාර අද්දර කඩේ මුදලාලිය.

‘මේ කන්ද උඩ විශාල චෛත්‍යයක කොටස් තියෙනවා. 2008 අවුරුද්දෙ ඒ චෛත්‍ය හාරල නිධන් කොල්ලකාගෙන යනකොට කීපදෙනෙක්ව පොලිසිය අත්අඩංගුවට අරගෙන සිරගත කරලත් තිබුණා. දැන් නම් ඒ චෛත්‍යය විශාල ගස් කොළන්වලින් වැහිලා තියෙන්නෙ. අදටත් ඇතැම් කණ්ඩායම් හිටි, හැටියේ ඇවිත් තැන්, තැන්වලින් හාරනවා…’ ඒ කතා කළේ ප්‍රදේශයේ සිංහල පදිංචිකරුවෙක් නොවේ. දෙමළ මිනිසෙකි. ජාති, ආගම් බේදයෙන් තොරව එකම ජාතියක් ලෙස සාමයෙන් ජීවත්වීමට කැමැති හින්දු ජාතිකයෙකි.

“අර තියෙන්නෙ හින්දු කෝවිල. පාරෙන් එහා පැත්තෙ කන්ද මුදුනෙ තියෙන්නෙ ක්‍රිස්තියානි පල්ලිය. මේ කන්ද මුදුනෙ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරලා පන්සලක් හැදුවම සර්ව ආගමික පුදබිමක්. ඒක මේ ප්‍රදේශයට විශාල ආශීර්වාදයක් වෙනවා. එහෙම වුණොත් ප්‍රදේශයේ තියෙන දැකුම්කලු බවත් එක්ක නිලාවේලී යන මිනිස්සු මෙතැනත් නතර වෙලා වැඳ පුදාගෙන යනවා. එතකොට අපිටත් සෙතක් වෙනවා. ඒ නිසා අපේ ගමේ පදිංචි කිසිම කෙනෙක් මේ පන්සල හදනවට විරුද්ධ නෑ. අපිව කාටවත් උසිගන්වන්නත් බෑ. දේශපාලනඥයන්ගේ කියුම් බහට වෙන ප්‍රදේශවල මිනිස්සු ඇවිත් උද්ඝෝෂණ කළාට, විරුද්ධකම් පෑවට අපිට කරන්න දෙයක් නෑ…” කැඩුණු සිංහලෙන් හේ අපූරුවට කතා කළේය. දෙමළ දේශපාලනඥයන් කරගෙන යන ආගම්වාදී යුද්ධය ගැන ඔහුට දැනෙන ආකාරයට පැහැදිලි කළේය.

ඔහු පැවසූ ආකාරයට ත්‍රිකුණාමල නගරයේ සිට පැමිණෙන විට හයේ කණුව, ඉලුප්පු ප්‍රදේශයේදී මාර්ගයෙන් දකුණු පස කන්ද මුදුනේ ක්‍රිස්තියානි පල්ලියකි. වම් පස, මාර්ගයට ආසන්නයේම අලුතින් ඉදි කරන ලද හින්දු කෝවිලකි. ඊට මඳක් ඈතින් කඳු බෑවුමේ පන්සලක් ඉදිකිරීමට භූමිය සකස් කරමින් තිබෙන අයුරු පෙනේ. කටු කම්බි වැටකින් ආවරණය කර තිබූ ගැටලුකාරී පන්සල් භූමියට ඇතුළුවීමට අපි උත්සුක නොවෙමු. පොකුණ අසල හිඳගෙන අවට විපරම් කරනවිට පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය එල්ලාවල මෙධානන්ද නායක හාමුදුරුවෝ බොරලුකන්ද පුරාවිද්‍යා භූමිය සම්බන්ධව පැවසූ කතාවක් මගේ මතකයට නැඟිණි.

“යුද්ධය පැවැති කාලේ මේ ස්ථානයට මම වැඩම කළා. මගෙ මතකයේ හැටියට 2008 අවුරුද්දෙ. මේ ස්ථානය ගැන මට දැනුම් දුන්නෙ ත්‍රිකුණාමලය පහේ කණුව ප්‍රදේශයේ පන්සලක වැඩසිටිය හාමුදුරුනමක්. එම ස්ථානය වෙල්ගම් වෙහෙර විහාරස්ථානයට අයිති බව පැවසූ නිසා එම විහාරස්ථානයට වැඩම කර එහි නායක හාමුදුරුවෝ සමඟ බොරුලුකන්දට වැඩම කළා. අපි එතැනට යනකොටත් චෛත්‍යය හාරල නිධානය කොල්ලකාගෙන ගිහින් තිබුණා. නිධානය වහල තිබුණු ගල් කරඬුව පැත්තකට විසි කරල තිබුණා. ඒ කරඬුවේ බ්‍රහ්මීය අක්ෂර තිබුණා. පැහැදිලි මදි නිසා කියවන්න බැරි වුණා. ඒ වගේම වටිනා පුරාවස්තුවක් නිසා එය අතපත ගාන්න මම බය වුණා. පින්තූර ටිකක් අරගෙන ‘මේ වටිනා පුරාවස්තුව පොලිස් භාරයට ගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දෙන්න කියලා නිලාවේලී පොලිසියට දැනුම් දුන්නා. ඒකට මොනව කළා ද කියලා පසුව විපරම් කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ…” එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ එම ස්ථානයට වැඩම කළ අවස්ථාවේදී බොරලුකන්දට පහළ නිවසේ පදිංචි පවුලේ සාමාජිකයන් සමඟ එකට හිඳගෙන ලබාගත් ඡායාරූපයක් ද අපට පෙන්නූහ. ඒ සිතිවිලි මනසේ ඇඳෙනවිට වෙල්ගම් රජමහා විහාරාධිපති අමරපුර මහානිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝ නායක අම්පිටියේ සීලවංශ තිස්ස නායක හිමි බැහැදැකීමට අපි ගියෙමු. පාදයේ වේදනාවකට ප්‍රතිකාර ලබාගෙන විවේකී සුවයෙන් විහාරස්ථානයේ වැඩ සිටි උන්වහන්සේ බොරලුකන්ද බෞද්ධ පුදබිමේ අයිතිය සම්බන්ධයෙන් සාක්‍ෂි සහිතව කරුණු පැහැදිලි කළහ. කිසිදු පාර්ශ්වයකට ඇඟිලි ගැසීමට නොහැකි වන ආකාරයට විහාරස්ථානයක් ලියාපදිංචි කිරීමේ නිසි ක්‍රමවේදයට, ඊට අදාළ සියලු ආයතනවල ලිඛිත අවසරය ඇතිව බොරලුකන්ද බෞද්ධ පුදබිම විහාරස්ථානයක් ලෙස ලියාපදිංචි කර ඇති බව ද උන්වහන්සේ වගකීමෙන් අපට පැවසූහ.

“ඔය විවිධ කණ්ඩායම් උද්ඝෝෂණ සංදර්ශන කළාට ඵලක් නෑ. කරන්න ඕන වැඩේ අපි කරල තියෙන්නෙ. මේ උද්ඝෝෂණ, එදිරිවාදිකම් අපිට අරුම නෙමෙයි. අවුරුදු පනහකට වැඩි කාලයක් මම ජීවත් වුණේ ජාතිවාදී, ආගම්වාදී ගැටලුත් එක්ක තමයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මාව මරන්න කිහිප වතාවක් උත්සාහ කළා. පන්සලට ඇවිත් පහර දුන්නා. ඒත් මේ බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව උදෙසා මගේ පණ හයිය තිබුණා. ඔය බොරලුකන්දෙ තියෙන්නෙ වෙල්ගම් වෙහෙර චෛත්‍යයට අයත් පරිවාර චෛත්‍යයක්. එවැනි චෛත්‍ය හතක් මේ අවට තියෙනවා. එම චෛත්‍ය සංරක්‍ෂණය කිරීමටත් මේ වෙල්ගම් වෙහෙරට අයත් බෞද්ධ උරුමය ආරක්‍ෂා කිරීමට දිවි හිමියෙන් මම බැඳී සිටිනවා. ත්‍රස්තවාදී අරගලවලට පෙර වගේම පසු ත්‍රිකුණාමලයේ පන්සල් කිහිපයක් හදන්න මම නායකත්වය දීලා තියෙනවා. ඒ කිසිම අවස්ථාවක දෙමළ මිනිස්සුන්ගෙන් බාධා ආවේ නෑ. බොරලුකන්දෙ පන්සල හදනවටත් අවට මිනිස්සුන්ගෙන් කිසිම බාධාවක් නෑ. අපි කැත්ත, උදැල්ල ඉල්ලගන්නෙත් ඒ මිනිස්සුන්ගෙන්. වටින්, ගොඩින් නැතිව කෙළින්ම කියනවා නම් මේ පන්සල හදනවට විරුද්ධ වුණේ දෙමළ දේශපාලනඥයො. ඒත් ඔවුන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. බොරලුකන්ද බෞද්ධ පුදබිම විහාරස්ථානයක් විදිහට ලියාපදිංචි කරලා ඉවරයි. බොරලුකන්දෙ කුටියක් හදාගෙන වැඩ හිඳින්න ගියේ දෙමළ භාෂාව හොඳින් කතා කරන, දෙමළෙන් ධර්මය දේශනා කරන තරුණ භික්‍ෂූන්වහන්සේ නමක්. මේ ඉන්නෙ උන්වහන්සේ තමයි…” අම්පිටියේ සීලවංශ තිස්ස නායක හාමුදුරුවෝ අප අසල හිඳගෙන සිටි තරුණ භික්‍ෂූන්වහන්සේ නමක් දෙසට වමත දිගු කළහ. ප්‍රසන්න පෙනුමැති උන්වහන්සේ ත්‍රිකුණාමලයේ සුඛිතවංස තිස්ස හිමිය. නැගෙනහිර පළාත් දෙමළ විෂය පිරිවෙන් ගුරු උපදේශක සහ බොරලුකන්ද රජමහා විහාරාධිකාරී ලෙස විශාල ශාසනික මෙහෙවරක් කරගෙන යන භික්‍ෂූන්වහන්සේ නමකි. සංයමයෙන් යුක්තව අප දෙසට හැරුණු උන්වහන්සේ දීර්ඝ දේශනාවකට මුලපිරූහ.

බොරලුකන්ද උණුසුම් කරන මොකක්ද මේ අවනඩුව

‘බොරලුකන්දෙ තියෙන්නෙ විශාල චෛත්‍යයක්. ඒ චෛත්‍ය වහන්සේ හාරල නිධන් හොරු කොල්ලකාගෙන ගිහින් තියෙන්නෙ වටිනා මැණික් ගල් පොදියක් කියල තමයි ආරංචිය. දෙමළ මිනිස්සු කිහිපදෙනෙක් තමයි ඒ පුරාවස්තු මංකොල්ලය සිදු කරලා තිබුණේ. උක්කුවේලී පොලිසිය නීති කටයුතු කරලා තිබුණා. ඒත් දැනට ඒ පිළිබඳව කිසිදු තොරතුරක් නෑ. ඊට පස්සෙත් කිහිපවිටක්ම නිධන් හොරු බොරලුකන්ද හෑරුව බව අසල්වාසීන් අපට කිව්වා. මේ සිද්ධස්ථානයත් බෞද්ධ නටබුන්වලින් පිරුණු තැනක්. කැලයෙන් යට වෙලා තවත් පුරාවස්තු තිබෙන බවට සාක්‍ෂි මතු වෙමින් තියෙනවා. ක්‍රි. පූ. 65-109 කාලයේ මේ චෛත්‍ය ඉදිකරලා තියෙන්නෙ වසභ රජු කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නෙ. මේ බෞද්ධ උරුමය විනාශ කරනවා බලා ඉන්න බැරිම තැන තමයි නායක හාමුදුරුවන්ගේ උපදෙස් මත කුටියක් හදාගෙන මේ භූමියේ වැඩ හිඳින්න සූදානම් වුණේ. නටබුන් සහිත ඉඩම් අක්කර තුනක පුරාවිද්‍යා ප්‍රදේශයක් ගැසට් කරල තියෙනවා. ඒ භූමිය ආසන්නයේ පර්චස් විසිහයක අපිට අයිති ඉඩම් කැබැල්ලෙ තමයි ආවාසය හදන්න සූදානම් වුණේ. විශේෂයෙන්ම අපි මේ පන්සල ගොඩනැඟීමට ඉක්මන් වුණේ මේ ප්‍රදේශයේ ජීවත්වන දෙමළ මිනිස්සුන්ගේ ඉල්ලීමට. ඔවුන් බෞද්ධ දර්ශනය අවබෝධ කරගැනීමට කැමැති, ධර්මය අහන්න ප්‍රිය කරන පිරිසක්. මේ විහාරස්ථානය ගොඩනැඟීමට ඒ මිනිස්සු අදටත් අපිට උදව් උපකාර කරනවා…”

“ඒ වගේම අපි මේ විහාරස්ථානය ගොඩනඟන්නෙ අදාළ ආයතනවල ලිඛිත අවසරය සහිතව. ඒත් අපේ පන්සලට යාබද අලුතින් ආරම්භ කරපු කෝවිලේ ලියාපදිංචිය ගැන කවුරුවත් හොයන්නෙ නෑ. ඒ විදිහට පහුගිය වසර දෙක තුළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පමණක් කෝවිල් පනස් හතරක් ආරම්භ කරලා තියෙනවා. පුංචි, පුංචි ඉඩම් කෑලි අල්ලගෙන තව තවත් කෝවිල්, මුස්ලිම් පල්ලි, ක්‍රිස්තියානි පල්ලි හතු පිපෙන ගානට හදනවා. ඒවට ප්‍රාදේශීය සභාවේ අනුමැතිය තියෙනවද? වෙනත් ආයතනවල අනුමැතිය තියෙනවද කියල දන්නෙ දෙයියො තමයි. ඒත් ඒවට කවුරුවත් බාධා කරන්නෙ නෑ. ත්‍රිකුණාමලයේ වැඩිසිටින භික්‍ෂූන්වහන්සේ විරුද්ධ වෙන්නෙත් නෑ. අපේ භික්‍ෂූන්වහන්සේ ඉදිරියට විරුද්ධ වෙන්නෙත් නෑ. අපිට ඕන සියලු ජාතීන් සාමයෙන් ජීවත් වනවා දැකීමයි…” සුඛිත හාමුදුරුවන්ගේ වචනවල ගැබ් වී ඇත්තේ ආවේගශීලී ස්වරූපයක් නොවේ, වේදනාකාරී හඬකි. තවදුරටත් උන්වහන්සේ අපහසුතාවට පත් කිරීමට අපගේ සිත් එකඟ නොවිණි. එහෙයින් වෙල්ගම් වෙහෙරෙන් පිට මං වූ අපි ත්‍රිකුණාමලය ගම්, නියම්ගම්වල ඇවිද ගියෙමු.

ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ග ආසන්නයේ මෙන්ම අතුරු මං මාවත්වල අලුතින් ගොඩනැඟෙන හින්දු කෝවිල්, ක්‍රිස්තියානි පල්ලි බොහෝමයක් අපගේ නෙත ගැටිණි. සුඛිත හාමුදුරුවෝ පැවසූ ආකාරයට හතු පිපෙන ගානට කෝවිල්, පල්ලි ආරම්භ වන බව සැබෑය. අලුතින් ඉදිකෙරෙන, මේ වනවිටත් ආරම්භ වී තිබෙන ඒ පූජනීය ස්ථානවල තොරතුරු, ඡායාරූප අප සතුය. එහෙත් පන්සලක් ඉදිකිරීමට එරෙහි වන අන්තවාදීන් ඉදිරියේ අන්‍ය ආගම්වලට ගරු කරන ජාතියක පුරවැසියන් ලෙස එකී පූජනීය ස්ථාන ආරම්භ කිරීමට අපි විරුද්ධ නොවෙමු. එය ජාතියක, ජන සමාජයක මූලික අවශ්‍යතාවකි. එවැනි සිතුවිලිවලින් හද මඬල පිපෙනවිට බොරලුකන්ද අවනඩුව ගැන තවදුරටත් විමසා බැලීමට උතුරු, නැගෙනහිර, තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මොරවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පොල්හේන්ගොඩ උපරතන හාමුදුරුවන්ට අපි දුරකථන ඇමතුමක් ගත්තෙමු. පෙළගැසෙන කතාව සම්බන්ධයෙන් උන්වහන්සේ මෙසේ අදහස් ප්‍රකාශ කළහ.

“බොරලුකන්ද පුරාවිද්‍යා ස්ථානය අපට උරුම ඉපරැණි සිද්ධස්ථානයක්. ඒ යාබද ඉදිකිරීමට ගිය පන්සල තමයි තහනම් කළේ. ඒත් අපේ අයිතිවාසිකම් ඔප්පු කරලා ඒ තහනම ඉවත් කරගත්තා. ඒ වගේම පන්සල් ඉදිකිරීමට ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ගත යුතුයි කියලා ප්‍රාදේශීය සභා පනතෙ නෑ. පූජනීය ස්ථාන ආදායම් බද්දෙන් නිදහස් කරල තියෙන නිසා අරයා, මෙයා ළඟට ගිහින් ප්ලෑන් ඉදිරිපත් කරල අනුමැතිය ගන්න අවශ්‍යත් නෑ. පාදර්ට ඕන විදිහට පල්ලිය හදාගන්න පුළුවන්. පූජකතුමාට ඕන විදිහට කෝවිල හදාගන්න පුළුවන්. ලෙබ්බෙට ඕන විදිහට මුස්ලිම් පල්ලිය හදාගන්නත් පුළුවන්. හාමුදුරුවන්ට ඕන විදිහට පන්සල හදාගැනීමේ අයිතිය තියෙනවා. ඒක තේරුම් ගන්න බැරි ආණ්ඩුකාරවරයෙක් තමයි නැගෙනහිර පළාතේ වැඩ බලන්නෙ. මොන විදිහට පැහැදිලි කළත් එතුමා පිළිගන්නෙ නෑ. ඒ නිසා නැවත අපි පැහැදිලි කරන්න යන්නෙ නෑ. බෞද්ධ චාරිත්‍රවලට මුල් තැන දෙමින් අපේ වැඩේ කරගෙන යනවා. රජයේ සල්ලිවලින්වත්, වෙනත් සංවිධානයක මුදල්වලින්වත් නෙමෙයි බොරලුකන්ද පන්සල හදන්නෙ පින්වත් දායකයන්ගේ පරිත්‍යාගවලින්. දෙසැම්බර් මාසෙ 20 වැනිදට මට අවුරුදු පනස් පහයි. එදාට පන්සල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනවා. මම වැඩක් පටන් ගත්තොත් අතරමඟ නතර කරලා නෑ…”

“ත්‍රිකුණාමලයට වැඩම කරලා අවුරුදු තිහක් වෙනවා. මේ වෙනකොට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පුරා ජීවත් වෙන සිංහල මිනිස්සුන්ට, අපේ හාමුදුරුවන්ට මගෙන් වෙන්න ඕන යුතුකම මම ඉෂ්ට කරල තියෙන්නෙ. විහාරස්ථාන හතක් හදලා තියෙනවා. ඒත් දකුණේ පොල්හේන්ගොඩ ඉපදුණු මම අද වැඩ ඉන්නෙ පවුල් පනස් පහක් ජීවත් වෙන අති දුෂ්කර කැලෑ ගමක. ඕන වෙලාවක මාව අපවත් කරන්න පුළුවන්. මේ වෙනකොට ජීවිත තර්ජන එමටයි. දුරකථන ඔස්සෙ විවිධ අය කතා කරලා පාරට බහින්න එපා කියනවා. මම මැරෙන්න බය නෑ. සිංහල ජාතියයි, බෞද්ධ ආගමයි වෙනුවෙන් ජීවිතය වුණත් පූජා කරන්න පුළුවන්. කොටි වෙඩි තියලත් අපවත් නොවුණු උපරතන හාමුදුරුවෝ නිර්නාමික මරණ තර්ජනවලට බය වෙන්නෙ නෑ මහත්තයො… අවසානයට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. කොළඹ ඉඳගෙන අනුශාසනා කරල, කෑගහල ඵලක් නෑ හාමුදුරුවනේ… නැගෙනහිරට, උතුරට වඩින්න… බෞද්ධ ජනතාව පිරිවරාගෙන බස්වලින් වඩින්න…” උපරතන හාමුදුරුවන්ගේ වචනවලට රෝම කූප ඉලිප්පිණි. එමෙන්ම උන්වහන්සේගේ ජීවිතය ගැන අපට බියක් දැනිණි.

මේ වනවිට නැගෙනහිර පළාතේ අන්තවාදී ක්‍රියාකාරකම් විශාල වශයෙන් වර්ධනය වී තිබෙන බව වාර්තා වේ. විශේෂයෙන්ම නැගෙනහිර බෞද්ධ විහාරස්ථාන මෙන්ම එහි වැඩ හිඳින භික්‍ෂූන්වහන්සේ අන්තවාදී කණ්ඩායම්වලට දැඩි බාධාවක් වී තිබෙන බව ද වාර්තා වේ. ලේ පිපාසයෙන් පෙළුණු එල්.ටී.ටී.ඊ. අවතාර ද ඒ අන්ත්‍රවාදී පිරිස් අතර සිටින බවට සැක නැත. එහෙයින් පොල්හේන්ගොඩ උපරතන හාමුදුරුවෝ පමණක් නොව එම පළාතේ වැඩහිඳිමින් එහි බෞද්ධ උරුමය සුරක්‍ෂිත කිරීමට වෙහෙසන සියලු භික්‍ෂූන්වහන්සේ අතිශය පරිස්සම් විය යුතුය.

එමෙන්ම බොරලුකන්ද බෞද්ධ උරුමයකි. එහෙයින් බොරලුකන්ද අවට 90% ක් නොව 100% ක් අන්‍ය ආගමික ප්‍රජාව ජීවත් වුවද එම උරුමය බෞද්ධය. එය ආරක්‍ෂා කිරීමට බෞද්ධ භික්‍ෂූන්වහන්සේ නමක් වැඩ සිටිය යුතුය. ගල් කුටියක් හෝ නොමැති එම භූමියේ භික්‍ෂූන්වහන්සේ නමකට වැඩ හිඳීමට සෙවණක් තිබිය යුතුය. බොරලුකන්දෙ ඉදිකිරීමට ගොස් ඇත්තේ භික්‍ෂූන්වහන්සේ නමකට වැඩ හිඳීමට ආවාසයක් විනා මහා බෞද්ධ මන්දිරයක් නොවන බව කිසිවකුට තේරුම් කිරීමට අවැසි නැත. බෞද්ධයන් කල්ලතෝනී නොවේ. මේ රටේ උරුමක්කරුවන්ය. එය තේරුම් ගැනීමට භාෂා දැනුමක් නැති නිලධාරීන් ගැන අපි අනුකම්පා කරමු…

තරංග රත්නවීර
ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment