සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව දුන් සහන නොලැබීම උසාවියට

98

* මුදල් ඇමැති – මහ බැංකු අධිපති ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි

* සහනදීම ඇතැම් මූල්‍ය ආයතන හා බැංකු පැහැර හැරලා

ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා

මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයනට මූල්‍ය සහන ලබාදෙන ලෙස රජය හා ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ලබාදුන් නිර්දේශ නිසි ලෙස කි‍්‍රයාත්මක වන්නේ දැයි අධීක්ෂණය නොකිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට එරෙහිව දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව සහ සිටුවර ජයවර ව්‍යාපාර සංවිධානය විසින් ගොනුකර තිබූ පෙත්සම විභාග කිරිමට අභියාචනාධිකරණය ඊයේ (15 දා) තීරණය කළේය. 02 – පිටුවට

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් ලබන 11 වැනිදා අධිකරණයට කරුණු දැක්වීම සඳහා පෙනී සිටින ලෙස දන්වා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීමට ද නියෝග කළේය. එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර හා නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා නම් කර තිබිණි.

ලක්ෂ 50 කට අධික පිරිසකට ජීවන වෘත්තීය මාර්ග විවර කර දී දළ දේශීය ආදායමෙන් සියයට 52 කට ආසන්න මුදලක් උපයා දෙන මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් 2019 වසරේ එල්ල වූ පාස්කු ප‍්‍රහාර මාලාව හා කොවිඞ් වසංගත තත්ත්වය නිසා මුහුණ දී ඇති ගැටලූවලට වහාම සහන සලසන ලෙසට රජය හා ශී‍්‍ර ලංකා මහ බැංකුව ලබාදී ඇති නිර්දේශ පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතන කි‍්‍රයාත්මක නොකිරීම නිසා එකී ව්‍යාපාර කඩාවැටී සේවා නියුක්තයන් දැඩි අසරණභාවයට පත් වී ඇතැයි ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා අධිකරණයට පැවසීය. රජය හා ශී‍්‍ර ලංකා මහ බැංකුව ලබාදුන් එකී නිර්දේශ කි‍්‍රයාත්මක වන්නේ දැයි අධීක්ෂණය කිරීමේ වගකීම ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයට විසින් පැහැර හැර ඇතැයි ද දේශීය ව්‍යාපාර සුරැුකීමේ සභාවේ සභාපති මහේන්ද්‍ර පෙරේරා, ලේකම් ලලිත් ලොකුගේ ඇතුළු පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් අධිකරණයට වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

නීතිඥ නිලන්ති ද සිල්වා මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ රමිත කරුණාරත්න, තරුෂ බුද්ධදාස, මයුරු ඉහලහේවා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment