අය වැයේ පුද්ගලික න්‍යාය පත්‍ර නැහැ – මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

55

පළමුව යා යුත්තේ ජනාධිපතිවරණයකට

රාජ්‍ය දේපළ රැක දේපල රැකගන්න උඩුගම් බලා පීනන්න බෑ

අපි මේ ලිහමින් ඉන්නේ පැටලු‍ණු නූල් බෝලයක්

මෙවර අයවැය මැතිවරණයක් ඉලක්ක කර ඉදිරිපත් කළ අයවැයක් බව බොහෝ දෙනකු චෝදනා එල්ල කරමින් පවතී. ජනප්‍රිය තීන්දු ගන්නේ නැතැයි කී ආණ්ඩුව ඇත්තටම මැතිවරණයක් ඉලක්ක කර අයවැයක් සකස් කර ඇත්ද? විශාල අයවැය හිඟය පියවා ගන්නේ කෙසේද ? ඇතුළු කරුණු කාරණා කිහිපයක් පිළිබඳ විමසීම සඳහා දිවයින ඉරිදා සංග්‍රහය මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාව සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළ ගැසෙන්නේ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සමඟ සිදුකළ එම සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – මැතිවරණයක් ඉලක්ක කර අයවැය සකසා ඇති බව විපක්ෂය ඇතුළු බොහෝ දෙනකු චෝදනා එල්ල කරනවා.

පිළිතුර – ඔය චෝදනාවට මම සරල උත්තරයක් දෙන්න ද? මෙවර අය-වැයෙන් රටේ සමස්ත ජනතාව නියෝජනය කර තිබීමයි ඔය චෝදනාවට ප්‍රධාන හේතුව. ආණ්ඩුව මැතිවරණයක් ඉලක්ක කර හෝ වෙන කිසිදු ලාභ ප්‍රයෝජනයක් වෙනුවෙන් අයවැය සකස් කර නැහැ. රටේ තියෙන තත්ත්වය අනුව එහෙම කරන්නත් බැහැ. මෙවර අයවැය අප සකසා තිබෙන්නේ රටේ අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන්. එහි පුද්ගලික න්‍යාය පත්‍ර නැහැ.

ප්‍රශ්නය – පුද්ගලික න්‍යාය පත්‍ර නැති බව ඔබ සඳහන් කරනවා. නමුත් රට බරපතළ ආර්ථික අර්බුදයක පවතින මොහොතක මෙවර අයවැයෙන් රාජ්‍ය අංශය, විශ්‍රාමිකයන් ඇතුළු අංශ ගණනාවක් වෙත දීමනා ඉහළ නංවනවා. ඔවුන් වෙනුවෙන් වැටුප් හෝ දීමනා ඉහළ නැංවීම පිළිබඳ අපට කිසි ගැටලුවක් නැහැ. නමුත් අපගේ තර්කය රට බරපතළ ආර්ථික අර්බුදයකට නතුව ඇති මොහොතක එලෙස කරන්නේ කෙසේද යන්නයි.

පිළිතුර – මෙහෙමයි. ජනාධිපතිතුමා සඳහන් කළේ බුද්ධ වචනය අනුව සමජීවිකතා තත්ත්වයක ට යන්නේ කියලා. ස්ථිර වැටුපක් ගත්ත අය ආර්ථික අර්බුදය හමුවේ මේ වන විට බරපතළ ගැටලු රැසකට මුහුණ දෙමින් සිටිනවා. ඒක තමයි ඇත්ත. රාජ්‍ය සේවකයන්ට ජීවත් වෙන්න අපහසුයි. එබැවින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරවීම වෙනුවෙන් යම් තීන්දු තීරණ ගන්න අපට සිදුවෙනවා.

ප්‍රශ්නය – මිනිස්සු අහන්නේ රාජ්‍ය සේවකයන් විතරද කන්නේ බොන්නේ ජීවත් වෙන්නේ කියලා.

පිළිතුර – රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ නංවනවා යනු ඒ වගේ තුන් ගුණයක් ඉන්න පුද්ගලික අංශයටත් සංඥාවක් යොමු වෙනවා වැටුප් ඉහළ නැංවීම වෙනුවෙන්. මෙය පඩි වැඩි කිරීමකට වඩා ජීවත්වෙන්න ලබාදුන් දීමනාවක්.

අපි ජනප්‍රිය තීන්දු ගත්තේ නම් මුදල් අච්චු ගහලා හරි ණයට අරන් හරි ජනවාරි මාසයේ සිට මේවා දෙන්න තිබුණානේ. අපි බලාපොරොත්තු වෙන්නේ ජනප්‍රියතාවට එහා ගිය පැවැත්මක්. අප වැඩ කරන්නේ ඒ වෙනුවෙන්. ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් හෝ වෙන යම් කාරණයක් නිසා ජනප්‍රිය වෙන්න තීන්දු තීරණ ආණ්ඩුවට ගන්න වුණා කියලා නිකමට හිතන්නකෝ. ඒත් එහෙම කරන්න බැහැ. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ දෙස බලා සිටිනවා. මේ අයවැය අකුරක් අකුරක් නෑර ඔවුන් බලනවා. අපට ඕන විදිහට කේක් එකට අයිසින් දාන්න බැහැ. අපි එම කරන්නෙත් නැහැ. කරන්නත් බැහැ.

ප්‍රශ්නය – ලබන වර්ෂය තුළ රජයට ලැබෙන ආදායම රුපියල් බිලියන 4181 ලෙස සඳහන් වෙනවා. වියදම දැක්වෙන්නේ රුපියල් බිලියන 7827 ලෙස. අයවැය හිඟය රුපියල් බිලියන 3646 ක්. මේ සා දැවැන්ත හිඟයක් පියවා ගන්නේ කෙසේද ?

පිළිතුර – අයවැය ගිඟය පියවගන්න වෙන්නේ ණය තුළින් තමයි. වසර 75 ක අයවැය ඉතිහාසය තුළ ප්‍රාථමික හිඟය ධන අගයක් වෙලා තිබෙන්නේ අවුරුදු පහක් පමණයි. ඉතුරු වසර 70 ම ප්‍රාථමික හිඟය සෘණ අගයක්. එය තමයි දිගින් දිගටම ඇවිත් දැන් පත්තු වී තිබෙන්නේ.

ප්‍රශ්නය – අයවැය හිඟය පියවා ගැනීම වෙනුවෙන් ණය ගන්න වෙන බව ඔබ සඳහන් කරනවා. බංකොලොත් රටකට ණය දෙන්න ණයහිමියන් කැමති වේවිද ?

පිළිතුර – ඇත්තටම මේ වන වෙනකොට අපි හුඟක් ධනාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපට විශාල අභියෝගය වුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම. එය දැන් අප සිදු කර තිබෙනවා. එම නිසා ඒ ණය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

බහුපාර්ශ්වීය ණය වල ප්‍රශ්නයක් නැහැ. ද්විපාර්ශ්වික ණය වලදී රටවල් අතර කෙරෙන ණය ඉතාමත් ඉක්මනින් ප්‍රති්‍යුහගත කරන්න තරම් හොඳ තැනකට ඇවිත් තිබෙනවා. ඒ වගේම පුද්ගලික ණය ඉතා ඉක්මනින් නිම කරන්න අපට පුළුවන් වේවි. මේ වෙනුවෙන් පසුගිය කාලය තුළ අප සෑහෙන වැඩ කොටසක් ඉටුකර තිබෙනවා. ඇත්තටම අපට ප්‍රශ්නය වුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙදී රටේ අමාරුකම තේරුම් නොගත් විපක්ෂයක් සිටීමයි.

ප්‍රශ්නය – දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති ජනතාව වෙත ආණ්ඩුව තව තවත් බදු බර වැඩි කරනවා . මිනිසුන්ට මේ තත්ත්වය දරා ගත හැකිද ?

පිළිතුර- රාජ්‍ය ආදායම ඉහළ නංවා ගන්න බදු අය කරන්න වෙනවා. ඒක නැතුව යන්න බැහැ. 2021 වන විට ලෝකයේ අඩුම බදු රාජ්‍ය ආදායම තියෙන රටක් ලෙස අප පත්වුණා. මෙහෙම යන්න බැහැ. දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව බදු ආදායම සියයට 8.3 ක් පල්ලෙහාට ආවා. දැන් එම අගය සියයට දහයේ සිටිනවා. එය 15% දක්වා වැඩි කරගන්න ඕන.

ඇත්තටම අපට වසර දහයක් කරගන්න බැරි වුණ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු විද්‍යුත් ක්‍රමයට රැස්කිරීමේ රැමිශ් ව්‍යාපෘතිය මේ වසර අවසන් වීමට ප්‍රථම අවසන් කරන්න අපට හැකි වෙනවා. මේ තුළින් විශාල ඍජු බදු වර්ධනයක් අප බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – රටේ මිනිස්සු නම් කියන්නේ බදු ඇමරිකන් ස්ටයිල් එකට. ජීවිතය සෝමාලියානු ස්ටයිල් එකට කියලයි.

පිළිතුර – ඒ කතාව හරි වෙන්න පුළුවන්. හැබැයි සිල්ලර කතාවක්. ඇත්තටම අපි මේ හදන්නේ සෝමාලියාව ඇමරිකාවක් කරන්න. ඒක එක රැයකින් කරන්න බැහැ. වත්මන් ජනාධිපතිවරයා මේකට කර ගැහුවෙ නැත්නම් ඇත්තටම මේක සෝමාලියාවටත් එහා යනවා.

ඉතිහාසයේ රට පාලනය කර සෑම නායකයෙක්ම එම තනතුරට ආවේ පාර්ලිමේන්තු කණ්ඩායම 100 ටත් එහා ගිය කණ්ඩායමක් සතුව තබා ගෙන. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක මන්ත්‍රීවරයකු සිටියදී තමයි මෙම තනතුර භාර ගත්තේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ එහෙම නොකර නම් අද සෝමාලියාවට එහා තත්ත්වයක තමයි අපි ඉන්නේ. ඔය කතා කරන කවුරුත් එදා රට භාරගන්න ආවේ නැහැ.

ප්‍රශ්නය – ලබන වසරේ පොලී ගෙවීම් සහ ණය මුදලේ ආපසු ගෙවන කොටස රුපියල් බිලියන 3919 ක්. අපට ලැබෙන ආදායම රුපියල් බිලියන 4181 යි. ණය පොලී නොගෙවා ඉන්න බැහැ. එහෙම තත්ත්වයකදී ආදායම් ලබාගන්න ඔබ කිව්වා වගේ ණය ගන්න වෙනවා. ඊට එහා ගොස් රාජ්‍ය දේපළ විකුණන්නත් වෙනවා. මේ හිඟය පුරවන්න වෙන්නේ රාජය දේපල විකිණීම තුළින් නේද?

පිළිතුර – ඒ තුළින් එය පුරවන්න යනවා නෙමෙයි. එය අතුරු ඵලයක්. ආසන්න වසර 10 ක 15 ක ඉතිහාසයට පොඩ්ඩක් යන්න. රාජ්‍ය දේපළ නඩත්තුවට අයවැයෙන් රුපියල් බිලියන පන්සියයක් හයසියයක් වැය කරනවා. අධ්‍යාපනයට රුපියල් බිලියන 500 යි. සෞඛ්‍යයට රුපියල් බිලියන 500 යි. රාජ්‍ය දේපළ නඩත්තුවට රුපියල් බිලියන 500 යි. මේවා ගෙවන්නේ රටේ බදු ගෙවන මිනිස්සු. එහෙම කරා කියලා රටටවත් මිනිස්සුන්ට වත් යහපතක් වුණාද. ඇත්තටම ලෝකයේ අලුත් සංකල්පය රාජ්‍යයන් ව්‍යාපාර කරන්නේ නැතිව සිටීමයි. රජය සිදුකළ යුත්තේ හොඳ නියාමනයක් පමණයි. රාජ්‍ය සම්පත් පුද්ගලික අංශයට ලබා දී හොඳ බදු ආදායමක් ලබා රටේ මිනිස්සුන්ව නිදහස් කිරීමයි සිදුකළ යුත්තේ. රාජ්‍ය දේපළ රැක ගමු කියමින් අපට විතරක් උඩුගම් බලා යන්න බැහැ. ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ඒ ආයතනයන්ට ගැළපෙන විදිහට රටට ගැළපෙන විදිහට එය කළ යුතුයි. හරි නියාමනයක් රජය සතු කරගන්න ඕනා. හොඳ විනිවිදභාවයකින් එය කළ යුතුයි. එම අභියෝගය විතරයි අපට තියෙන්නෙ. පරණ ප්‍රතිපත්ති අපි වෙනස් කරගත යුතුයි.

ප්‍රශ්නය – ලබන ජනවාරි පළවෙනිදා සිට වැට් බද්ද සියයට 18 ක් වෙනවා. කුඩා සහන ප්‍රමාණයක් එක අතකින් දී අනිත් අතින් ජනතාවගේ මුදල් සූරා කන්න නේද ආණ්ඩුව හදන්නේ ?

පිළිතුර – බදු ආදායම් ඉහළ නොදමා රජයට ඉදිරියට යන්න බැහැ. රජය බදු අය කරන්නේ නැහැ. ඒ නිසා මොකුත් කරන්නෙත් නැහැ. ඒ වගේ කියලා රජයකට රටක් ඉදිරියට අරගෙන යන්න බැහැ. ඒ නිසා බදු අය කරන්න වෙනවා. හැබැයි වැඩි කරන්නේ සියයට තුනයි.

ප්‍රශ්නය – සියයට තුනක් පමණක් යැයි ඔබ සඳහන් කළත් ඒ තුළින් විදුලිය ජලය ආහාර ඇතුළු සෑම දෙයකම මිල ඉහළ යනව නොවේද?

පිළිතුර – වැට් බදු වැඩිවීම විදුලි බිල්පතට අදාළ වන්නේ නැහැ. විදුලි බිල වැට් වලින් නිදහස්. වැට් වලින් නිදහස් අංශ 131 ක් තිබෙනවා. ඉන් නිදහස අහිමි කළේ අංශ 70ක පමණයි. විදුලිය, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර කෘෂිකාර්මික ද්‍රව්‍ය වැට් වලින් නිදහස්. ජනතාවගේ ජන ජීවිතයට සෘජුව බලපාන භාණ්ඩ ඉන් නිදහස් කර තිබෙනවා.

ප්‍රශ්නය – රටේ ආර්ථික පරිහානියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිවයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. මෙම තීන්දුව සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද ?

පිළිතුර – ඇත්තටම එම තීන්දුව බලන්න ඕනා. එය කියවා බලන තෙක් ඒ සම්බන්ධයෙන් අදහසක් නොදක්වා හිටියොත් හොඳයි.

ප්‍රශ්නය – ජනාධිපතිතුමා පසුගියදා සඳහන් කළේ එක අයවැයකින් රටේ ගැටලු විසඳිය නොහැකි බවයි. ඔබට අනුව කොපමණ කාලයක් යාවිද ?

පිළිතුර – මට කාලයක් කියන්න බැහැ. මොකද එහි ගැඹුර මම හොඳින් දන්නවා. ප්‍රශ්න අවබෝධ කරගෙන ඊට මුහුණ දීම කාල තමයි කළ සීමාව තීරණය වන්නේ. එම තත්ත්වය තේරුම් අරන් කටයුතු කරන ජනතාවට අප ස්තුතිවන්ත වෙන්න ඕනා.

ප්‍රශ්නය – සමහරු කියන්නේ මේ අයවැය ඔබතුමාගේ ගම්පළාතට ප්‍රගතිශීලී කරගෙන තියෙනවා කියලා. මොකද පින්නවල යටියන්තොට සංචාරක කොරිඩෝව සඳහා ලොකු මුදලක් වෙන්කරගෙන තියෙනවා කියලා චෝදනාවක් තිබෙනවා.

පිළිතුර – එහෙම කියන්න බැහැ. ඔය කොරිඩෝව තමයි සංචාරක ක්ෂේත්‍රය සඳහා දියුණු කරන්න පුළුවන් ලොකුම පරාසය. මේ රම්‍ය පිහිටීම, සුන්දරත්වය නිසා අප රටට සංචාරය කරන්න සංචාරකයන් බලාගෙන ඉන්නවා. මේ රම්‍ය දිවයිනේ ඉතාම මැද තියෙන තැනක් තමයි කෑගල්ල දිස්ත්‍රික්කය කියන්නේ. මෙහි සුවිශේෂී ස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි පින්නවල, මෙතනට ලංකාවට එන සංචාරකයන් දෙදෙනෙක්ගෙන් එක් කෙනෙක් අනිවාර්යෙන්ම එනවා. හැබැයි ඔවුන් මෙහි නතර වන්නේ නැහැ. ඒ ඒ සඳහා අවශ්‍ය හොටෙල් පහසුකම් ඇතුළු පහසුකම් නොමැති නිසයි. අනිත් තැන තමයි කිතුල්ගල. මේ රටේ වෙන කොහෙවත් නැති සැඩ ජල පහරේ ඔරු පදින ‘වෝටර් රාෆ්ටින්’ සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් තැනක්. හැබැයි අද එහි ගිහිල්ලා බලන්න ගඟට බහින්න තැනක් නෑ. මේවාට උත්තර හොයන්න තමයි මගේ දුප්පත් දිස්ත්‍රික්කය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමුකළේ. මෙය මට කරගන්ත දෙයක් නෙවෙයි. මේ තුළින් මෙරට සංචාරක කර්මාන්තයට නව පිටුවක් පෙරළේවි.

ප්‍රශ්නය – රට ඉදිරියට ගෙන යෑමට නම් දේශපාලන ස්ථාවරත්වය අනිවාර්යයි. නමුත් එහෙම තත්ත්වයක් අපිට පේන්න නැහැ. දේශපාලන ස්ථාවරත්වයක් මැතිවරණ තුළින් ලබාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉදිරියේදී මහ මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුව තියෙනවා. ඇත්තෙන්ම ආණ්ඩුව මැතිවරණ පවත්වනවාද?

පිළිතුර – දැනට නිල ප්‍රකාශ මොකුත් නැහැ. හැබැයි ලොකු මතයක් තිබෙනවා ලබන වසරේ මැද වෙනකොට මැතිවරණයකට යායුතු බව.

ප්‍රශ්නය – පළමුව යන්නේ ජනාධිපතිවරණයකටද, මහ මැතිවරණයකටද?

පිළිතුර – මම හිතන්නේ ජනාධිපතිවරණයකට යෑම සුදුසුයි කියලා. වත්මන් ජනාධිපතිවරයාට වඩා රටේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන්, සෘජු තීරණ ගන්න පුළුවන්, ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වන්න පුළුවන්, හොඳ කෙනෙක් ඉන්නවා නම් ජනතාවට පුළුවන් තීන්දුවක් ගන්න. ඇත්තටම බැලුවොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සම කරන්න කවුරුත් නෑ. මම කියන්නෙ නෑ අනිත් අය අදක්ෂයි කියලා. අත්දැකීම, පළපුරුද්ද, කළ පුරුද්ද, ලෝකය සමග කටයුතු කිරීම, තීන්දු ගැනීම යන කාරණා වලදී රනිල් වික්‍රමසිංහ මහතා සමත් බව ඔප්පු කර තිබෙනවා.

ප්‍රශ්නය – ඔබතුමා හිතන්නේ සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා කියලද?

පිළිතුර – ඔව්. එය පැහැදිලියි. ඔහුගේ දක්ෂතා මම දකිනවා. ඔහුගේ දක්ෂතා උරගා බැලුව පසුගිය වසර එකහමාර දිහා බලන්න. ඔය අනෙකුත් පක්ෂවල නායකයන්ට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා බන්දේසියක තියලා ජනාධිපතිකම දුන්නනේ. නමුත් එය භාරගන්න එඩිතර කමක් ඔවුන්ට තිබුණේ නෑ. ඔවුන්ට අත්දැකීම් දක්ෂතා නෑ. ඉදිරි කාලපරිච්ඡේදයේ රටට නායකත්වය දෙන්න සුදුසුම කෙනා ඔහුයි.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment