නුවරඑලියේ තැපෑල හෝටලයක් නොකරනු – උද්ඝෝෂණයට මහ පිරිසක්

196

නුවරඑළියේ ජනාධිපති මැඳුර ඕනනම් විකුණන්න – උද්ඝෝෂකයෝ කියති

නුවරඑලිය ප්‍රධාන තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන යෑම සඳහා ඉන්දියානු සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට විරෝධය පාමින් නුවරඑලිය නගර මධ්‍යයේ ඊයේ (09) දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි.

මෙම උද්ඝෝෂණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන තැපැල් හා විදුලි සංදේශ වෘත්තීය සමිති නියෝජිතයන්, තැපැල් සේවකයන්, රාජ්‍ය සේවක වෘත්තිය සමිති නියෝජිතයන්, ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයන්, නුවරඑළියේ ඒකාබද්ධ වෙළෙඳ සංගමයේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව, නීතිඥ සංගම් නියෝජිතයන් මෙන්ම සමාජ ක්‍රියාකාරීහු සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය 04 වැනිදා පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී තැපැල්පතිවරයා තනතුරෙන් ඉවත් කරනවා යනුවෙන් බිය වද්දා නුවරඑළිය තැපැල් කාර්යාලය ඉන්දියන් සමාගමකට ලබා දීමට එකඟතාව ලබාගෙන නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට ආණ්ඩුව උත්සාහ දරන බවත් එම උත්සාහය පරාජය කිරීමට මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බවත් උද්ඝෝෂකයෝ පැවසූහ.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නුවරඑළිය තැපැල් කාර්යාලය ඉන්දියානු සමාගමකට හෝටලයක් පවත්වා ගෙන යෑම සඳහා විකිණීමට ගෙන ඇති තීරණය හකුළා ගන්නා තුරු මෙම උද්ඝෝෂණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔවුහු සඳහන් කළහ.

“වර්තමාන ජනාධිපතිවරයාගේ මුදල් සෙවීමේ ක්‍රියාපටිපාටිය තුළ සුලභ වශයෙන් දක්නට ලැබෙන ක්‍රියාවක් තමයි රටේ දේපළ විකුණා දැමීම.

ලංකාවේ වැඩකට නැති දේපළ ගණනාවක් තියෙනවා. උදාහරණයක් හැටියට නුවරඑළිය ජනාධිපති මැඳුර, වසරකට එක් වතාවක් හෝ දෙවතාවක් ජනාධිපති නුවරඑළියට ආවත් ඉන්නේ තරු පන්තියේ හෝටල්වල. ජනාධිපති මැඳුර නඩත්තු කරන්නට පනහකට ආසන්න සේවක පිරිසක් පඩි නඩි ගෙවලා තියාගෙන ඉන්නේ කිසිම වැඩකට නැතිව. ඒ තැන හෝටලයක් කළාට ජනතාවගේ කිසිම විරෝධයක් නැහැ. එසේ නොවී රටේ ආකර්ෂණය දිනාගත් සුවිශේෂී ස්ථානයක් වන නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමට මුළුමනින්ම විරෝධතාව ප්‍රකාශ කරනවා” යැයිද උද්ඝෝෂකයෝ සඳහන් කළහ.

නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment