කෝටියක කප්පම: ඇබිත්තයා වමාරයි

406

ඩුබායිහි සිටින හීනටියන මහේෂ්ගේ කොන්ත්‍රාත්තුව භාර අරන්
කුලියට මිනී මරන තොරතුරු රැසක් හෙළිවෙයි

රුපියල් කෝටියක කප්පම් මුදලක් ලබා නොදුන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යමින් සිටි පාතාල ලෝකයේ කුලී ඝාතකයකු බව කියන ඇබිත්තයා නමැති අපරාධකරු ගිනි අවිත් සමග කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

හීනටියන මහේෂ් නමැති පාතාල නායකයාගේ කොන්ත්‍රාත්තුවක් මත මෙම ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා ඇබිත්තයා නමැති පාතාල අපරාධකරු සූදානමින් සිට ඇති බව පොලිසිය පවසයි. මෙම ඝාතනය සිදුකිරීමෙන් පසු ඩුබායි රාජ්‍යයට පලායෑම සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක්ද මොහු සකස් කර ගෙන සිට ඇති අතර එය ද පොලිස් භාරයට ගෙන ඇත.

ප්‍රදීප් තුෂාර හෙවත් ඇබිත්තයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම අපරාධකරු කුලී මිනී මැරුම් රැසක් සිදුකර ඇති අතර කප්පම් ගැනීම්, ඇතුළු තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකි.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්, ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 5ක් තිබී ඇති අතර ඒ සියල්ල පොලිස් භාරයට ගෙන තිබේ.

ඩුබායි රා්‍යයේ සැඟවී සිටින හීනටියන මහේෂ් නමැති පාතාල නායකයා මිනුවන්ගොඩ ධනවත් ව්‍යාපාරිකයාට සති කීපයක් තිස්සේ මරණීය තර්ජන එල්ලකරමින් රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා ඇත.

එම මුදල් ලබා නොදීම නිසා කෝපයට පත්වූ හීනටියන මහේෂ් විසින් ඇබිත්තයා නමැති මෙම පාතාල කුලී ඝාතකයාට මුදල් කොන්ත්‍රාත්තුවක් ලබාදී ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. මොහු යුද හමුදාවෙන් පලා ආ දක්‍ෂ වෙඩික්කරුවෙකි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ස්ථානාධිපති අන්සල් ද සිල්වා, පොලිස් පරීක්‍ෂක දුමින්ද ජයතිලක ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත් වූහ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment