මහ කතාවක් ගැන කියන “මහගෙදර”

307

(සාහිත්‍යසූරී ආචාර්ය ගුණදාස අමරසේකර සූරීහු මෙම නොවැම්බර් 12 දා 95 වෙනි වියට පා තබති. අපි එතුමන්ට සුබ උපන් දිනයක් පතන අතර එතුමන්ගේ නවතම නිර්මාණ කෘතිය වන “මහගෙදර” කෙටි නවකතාව ගැන මේ කෙටි විමසුම ද තිළිණ කරමු)

දශක හතක් වැනි දිගු කලක් තිස්සේ ලේඛන කාර්යයෙහි අඛණ්ඩ ව නිරත ව සිටින ආචාර්ය ගුණදාස අමරසේකර 95 වෙනි විය සමීපයේ සිට සිය නවතම ගත අපත‘ට පත් කොට තිබෙන්නේ “මහගෙදර” නමිනි. මේ “මහගෙදර” කෙටි නවකතාවකි. කෙටියෙන් මුත් දිගු කතාවක් ගැන කියන්නකි. මෙය සැලකිය යුත්තේ අප රට සමාජ-දේශපාලන පරිච්ඡේදයක සංකේතාත්මක පැතිකඩක් ලෙසින් බව මගේ හැඟීම යි. දශක කිහිපයක් පුරා දිවෙන සමාජ-දේශපාලන හැලහැප්පීමක ලුහුඬු වාර්තාවක් වැන්න, මේ මහගෙදර පිළිබඳ කතන්දරය.

ලංකාවට බුදුදහම ලැබීමෙන් පසු ගොඩනැඟුණු සිංහල-බෞද්ධ සභ්‍යත්වය වසර දෙදහස් පන්සියයක් පුරා අඛණ්ඩ ව පැවැත එන්නකි. අපේ ඉතිහාසය යනු ඒ සභ්‍යත්වයේ කතන්දරය යි. මේ බෞද්ධ සභ්‍යත්වය මත හික්මුණු මනසක් ඇති ගැමි උගතෙකු හා එම සභ්‍යත්වය අතුගා දැමීමට වෙර දරන විදෙස් ගැති තවත් උගතෙකුත් අතර ඇති වන ආධ්‍යාත්මික ගැටුම මඟින් විශද කැරෙන බෞද්ධ සභ්‍යත්වය මුහුණ පා සිටින අභියෝගය මෙහි මූලික තේමාව යි. මහගෙදර මුහුණ පාන්නේ එම අභියෝගය හමුවේ රටට අත්වන ඉරණම වැනි ඉරණමකට බව පෙනේ.

කෙටියෙන් කියන මේ මහ කතන්දරය සඳහා ඊට සරිලන ආකෘතියක් කතුවරයා තෝරාගෙන තිබෙන බව කිය හැක. කොටස් තුනකට බෙදා ඇති මෙහි පළමු හා තෙවන කොටස් දෙක දිගු කාලයක් ආවරණය නො කරන අතර දෙවන කොටස වඩාත් දිගු හා කතන්දර බහුල කාලයක් ආවරණය කරයි. කතාවේ ප්‍රධාන චරිතය වන “දාස” විසින් කරනු ලබන අතීතාවර්ජනයක් ලෙසින් ඒ වඩා දිගු කාලයක් පුරා දිවෙන කොටස දැක්වීම මඟින් කාලය මිඩංගු කිරීම වළකාගෙන ඇති සැටි පෙනේ. කතාවේ වඩාත් වැදගත් කොටස ද එය ලෙස හැඳින්විය හැක.

මේ මහගෙදර කෙබඳු තැනක් ද? 1818 උඩරට නිදහස් අරගලය අවස්ථාවේ දකුණට පලා ආ පවුලක් විසින් ඇති කරන ලද්දකි, මේ මහගෙදර. දැන් එයට පරම්පරා කිහිපයක ඉතිහාසයක් තිබේ. මුල සිට ම එහි විසූවෝ ජාතියටත් ආගමටත් හිතෛෂීහු ය. ඔවුහු එම කටයුතුවල නිරත වූවෝ ය. මහගෙදර භෞතික ස්වරූපය පවා එම ජාතික නැඹුරුව පෙන්වන්නකි. එහි මිදුල අලංකාර කැරෙන්නේ අනුරාධපුරයේ ගල් කැටයම්වල අනුරූවලිනි. මේ දෙපසින් ම පෙනෙන්නේ එහි වෙසෙන්නන්ගේ බෞද්ධ සභ්‍යත්වය විසින් ඇති කරන ලද ජන විඥානය යි. එය ඔවුන් හා අවියෝජනීය ව බැඳී පවතියි. දාස ඊට එරෙහි බලවේගයකට වසඟ ව කටයුතු කිරීමට පෙළඹුණ ද ඔහු එම වසඟයෙන් මිදෙන්නේ ද එකී ජන විඥානය ඔහු කෙරෙන් බැහැර කළ නොහැකි හෙයිනි. මෙබඳු පිරිසකට වාසස්ථානය වූ මහගෙදර අවසානයේ විදේශිකයෙකුට විකුණා දැමේ. ඊට මේ අවාසනාවන්ත ඉරණම අත්වන්නේ ඇයි? ඊට හේතු දෙකක් ඇති බව පෙනේ. එකක් නම් මහගෙදරට පෙම් බැඳි එක් පිරිසක් අතීතය බදා වැලඳ සිටීම යි. දාසගේ අම්මාත් සේනත් මේ පිරිසේ සිටිති. අනෙක නම් අනෙක් පිරිස ඒ ඉතිහාසය අමතක කොට අදූරදර්ශී ව ක්‍රියා කිරීම යි. දාසත් ඔහුගේ අයියාත් මේ පිරිසේ සිටිති. අවසානයේ මේ දෙපිරිසට ම මහගෙදර රැකගත නොහැකි වන අතර සුද්දන් අතට යන එය පල්ලියක් බවට පත් වේ! අද අප රට වෙසෙන්නන් දෙස බැලුව ද දැකගත හැක්කේ මේ දෙපිරිස නො වේ ද? සේන අයියාගේ මුවට නංවා ඇති මේ වදන් බලමු; “අපේ මහගෙදරට වුණු දේ ම නේ ද අපේ රටටත් වෙන්න යන්නේ?”

මෙහි එන චරිත දෙකොටසකට බෙදිය හැක. එක් කොටසක් බෞද්ධ සභ්‍යත්ව විඥානය ඇති අය යි. අනෙක් කොටස එයට එදිරි ව කටයුතු කරන බලවේගයක් වී ඇති අය යි. දාස මේ පළමු කොටසට අයත් වන්නෙකි. මහගෙදර ගෙවූ මුල් කාලයේ එම උරුමයට හිතෛෂී ව සිටි ඔහු නොමඟ යන්නේ අර දෙවෙනි කොටසට අයත් වන්නෙකු වන මහාචාර්ය මාරසිංහගේ ඇසුරට වැටීමෙනි. මාරසිංහ විදෙස් බලවේගවලට සේවය කරන්නෙකි. බෞද්ධ සභ්‍යත්වයට පහර දෙනු වස් ඉන් ම කරුණු රැස් කිරීමට ඔහු පවරන්නේ දාසට ය. දාසට තමා පත් ව ඇති මුළාවත් එහි ස්වරූපයත් වැටහෙන්නේ ඒ කාරියට අතගැසීමේ දී ය. දාස මේ අවබෝධය ලබන්නේ අර තමා තුළ නිදා සිටි සභ්‍යත්ව විඥානය අවදි වීම නිසා ය. බෞද්ධ දර්ශනය හැදෑරීමේ දී අර බලවේග ගොඩනැඟීමට සූදානම් වන මතවාදය වැරැදි බව ඔහු වටහා ගනී. ඒ නිවැරැදි අවබෝධය ඔහු ලබන්නේ තම සභ්‍යත්ව විඥානය නො නැසී පැවැතීම නිසා ය. මාරසිංහ වැන්නෙකුට එය ලද නො හැක්කේ ඔහු එය මුලිනුපුටා දමා ඇති හෙයිනි. මාරසිංහ පරම්පරා දෙක තුනකට වත් පෙර තම සභ්‍යත්ව විඥානය කෙළෙසාගත් පරපුරක අයෙකු විය යුතු ය. අද ද ගැමි උගතුන්ට අත්වන ඉරණම දාසට අත්වන ඉරණම ම වැන්නකි. නොයෙක් මතවාද විසින් නොමඟ යැවෙන ඔවුහු හදට තට්ටු කර බැලීමට අවස්ථාවක් ලද හොත් දාස මෙන් ම නිවැරැදි අවබෝධය ද ලබති. පුද්ගලික ලාභ, අපේක්ෂා හමුවේ ඔවුහු වල්මත් ව හැසිරෙති.

මෙහි වඩාත් සැලකිය යුතු චරිත දෙකක් මම දකිමි. ඒ දාසගේ අයියා හා දාසගේ සරසවි මිතුරෙකු වන සිරිපාල ය. සරසවියේ දී වාමාංශික දේශපාලනය කිරීමට යොමු වන්නෙකි, සිරිපාල. ඔහු සමාජවාදී පක්ෂ වෙනුවෙන් වැඩ කළත් එහි නායකයන්ගේ වංක භාවය නිසා කලකිරෙයි. ඔහු අපේක්ෂා කරන්නේ උද්‍යෝගිමත් සමාජවාදී ක්‍රියාදාමයකි. “විප්ලවයක් කරන්න ඕනෑ නම්, මාඕ සේතුං කිව්වා වගේ ඒක පටන්ගන්න ඕන ගමෙන්.” ඔහුගේ මේ ප්‍රකාශය ඊට දෙස් දෙන්නකි. ඔහු 71 කැරැල්ලේ දී වෙඩි කා මැරෙ යි. මේ එකල උද්‍යෝගිමත් තරුණ වාමාංශිකයන්ගේ ඉරණම හෙළි කරන චරිතයකි. අප රට වාමාංශිකයාට සිදු වූයේ දෙකින් එකක් තෝරාගැනීමට ය. එක්කෝ සිරිපාලගේ ඉරණම යි; නැත්නම් ධනේශ්වරයට ම මුක්කු ගැසීම යි! මේ හැර සිය පාලනයක් පිහිටුවීමට ඔවුන්ට නොහැකි වූයේ ඇයි? එය ද මෙහි තේමාවට ම සබැඳි වන්නකි. එනම්; රටේ පොදු මහජනයාගේ

ජන විඥානය වන බෞද්ධ සභ්‍යත්වය වටහා නො ගැනීම යි. එයට අනුගත නොවී කුමන මතවාදයක් වුව ද මෙහි යථාර්ථයක් කළ නොහැකි බව අද ද පෙනෙන සත්‍යය යි. ජාතිකවාදී වාමාංශිකයෙකු පහළ නො වන තුරු අර ඉරණම් දෙකින් එකක් තෝරාගැනීමට ම ඔහුට සිදු වනු ඇත.

දාසගේ අයියා හැඳින්විය යුත්තේ “56 දරුවෙකු” ලෙසිනි. දීනත්වයේ ගැලී සිටි ජාතිය අවදි කරන ලද්දේ අනගාරික ධර්මපාතුමා විසිනි. එහි කූටප්‍රාප්තියක් දැකීමට පෙර ධර්මපාතුමා අපවත් විය. එහෙත් අර ජාතික බලවේගය නො නැසී නැඟෙමින් තිබිණ. එය එක්කොට ගෙන 1956 දී දේශපාලන ජයක් ලැබීමට සමත් වූයේ ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ය. “බමුණු කුලය බිඳ” ඒ ලද ජයෙනි, දාසත් ඔහුගේ අයියාත් වැනි උගත් ගැමි පරපුරක් දෙවෙනි උපතක් ලැබූයේ. එම ජාතිකවාදී වැඩපිළිවෙළ වෙනුවෙන් බණ්ඩාරනායක මහතාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. අර ජාතික බලවේගය වල්මත් විය! 56 දරුවන් කළේ තම සභ්‍යත්ව පදනම මත ශක්තිමත් බලවේගයක් ලෙස නැඟී සිටීම වෙනුවට මැද පංතියක් ලෙස සැකැසී බොල් ජීවිත ගෙවීමකි. ඊළඟට ඔවුන්ට වුවමනා වූයේ අර බිඳ වැටුණු බමුණු කුලය වැනි “නව බමුණු කුලයක්” ගොඩනඟා ගැනීමට යි. දාසගේ අයියා අන්තිමට මිය යන්නේ ඒ වෙනුවෙන් වෙහෙසී ඵල නෙළා නොගත්තෙකු ලෙසිනි. මේ ඉරණම මහගෙදර එල්වනු ලබන පින්තූර තුනක් විසින් මනා ව සංකේතවත් කැරේ. මුලින් එහි එල්ලනු ලැබෙන්නේ බණ්ඩාරනායක මහතා විසින් දෙන ලද ධර්මපාතුමාගේ පින්තූරයකි. ඉක්බිති, දාසගේ අයියා නිදහස් පක්ෂ දේශපාලනය කරන කාලයේ එහි බණ්ඩාරනායක මහතාගේ පින්තූරයක් එල්වනු ලැබේ. ඉනික්බිති, ඔහු එක්සත් ජාතික පක්ෂ දේශපාලනයට මාරු වූ විට එහි එල්වනු ලැබෙන්නේ ඩඩ්ලි සේනානායක මහතාගේ පින්තූරයකි! 56 දරුවන්ගේ මේ අදූරදර්ශී ක්‍රියාකලාපයේ ප්‍රතිවිපාක කොතෙක් අවාසනාවන්ත වී ද යත්, අද වන විට රට වැටී ඇති තැනට හේතු ලෙස අර බමුණු කුලය බිඳ හෙළීම ම දක්වනු පෙනේ! සිංහලය රාජ්‍ය භාෂාව කිරීම ආදි ජාතිකවාදී වැඩපිළිවෙළ විවේචනය කරනු ලැබේ. පසුගිය සමයේ “වරද්දාගත් පරපුර” විසින් බණ්ඩාරනායක පිළිරුවේ දෑස් බැඳීමෙන් එහි බරපතළකම විදහා දැක්විණි.

බෞද්ධ සභ්‍යත්වයට සතුරු බලවේග විසින් එයට පහර දෙනු පිණිස බුදුදහමේ දාර්ශනික පක්ෂය යොදාගැනීම මේ කතාවේ දී මෙන් ම අද සමාජයේ දී ද දක්නට ලැබෙන්නකි. බැලූ බැල්මට ඇත්තක් ලෙස පෙනෙන මෙයට අපේ උගතුන් ද මුළා වී ඇති බව පෙනේ. මෙය මතු කැරෙන්නේ ම බුදුදහමේ පැවැත්ම නැති කිරීමට මිස එහි දාර්ශනික පක්ෂයට ඇති ඇල්මකින් නොවන බව නො රහසකි. මේ කියන ලෙස බුදුදහම දර්ශනයක් ලෙස පමණක් ගෙන වෙන් කොට පසෙකින් තැබුණොත් කුමක් සිදු වේ ද? එකක්, සභ්‍යත්ව පදනම අහිමි ව ජාතිය පිරිහී යෑම යි. අනෙක, බුදුදහම ව්‍යවහාරයෙන් තොර වී අභාවිත ඉගැන්වීමක් ලෙස කඩදාසියට සීමා වීම යි. දාර්ශනික හරයක් සහිත දහමක් පවතින්නේ එය ජනකායකගේ ඇදැහිල්ලක්, ආගමයක් වී ඔවුන්ගේ සභ්‍යත්වයට පදනම වීමෙනි. බුදුදහම සමඟ ග්‍රීක දර්ශන ආදිය සැසඳීමෙන් මෙය වටහාගත හැක. අපේ උගතුන් ඉතා පරිස්සමෙන් තෝරා බේරාගත යුතු මේ කරුණ ගැන ද මෙහි අවධානය යොමු ව තිබේ.

බුදුදහම, ඉතිහාසය, සංස්කෘතිය ආදි නොයෙක් විෂයයන් ඔස්සේ විමසිය හැකි විවාද සහිත පැති මෙහි හමු වේ. මේ ඊට නිදසුන් වන කෙටි උපුටන කිහිපයකි;

“ලෞකිකත්වය නොපිළිගන්නා බුදුදහම කොහොමද සභ්‍යත්වයක් නිර්මාණය කරන්නේ? හීනයාන බුදුදහම පෙන්වා දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයෙන් වියෝ වූ පැවිද්දන්ට මිසක් කාමභෝගී ගිහියන්ට සරිලන එකක් නෙවෙයි.”

“මහාවංශය කියන්නේ මේ රටේ ඉතිහාසය නෙවෙයි. බුද්ධ ශාසනයේ ඉතිහාසය. ඒකත් මහා විහාරය අනුමත කරන ඉතිහාසය.”

“අපේ අතීතකාමයත් ඔය මනඃකල්පිත සභ්‍යත්වයේ ම කොටසක් ලෙසයි, මම දකින්නේ.”

මෙනයින් මේ “මහගෙදර” තුළ මහ කතාවක් ගොනුව ඇති බව අපට පෙනේ. ඒ අයුරින් ම මහා නවකතා සම්ප්‍රදාය කෙටි නවකතාවට හකුළුවා ලීමක් ලෙස ද මෙය හැඳින්වීමෙහි වරදක් නැතැයි සිතමි.

  • චන්දන ඉලන්දාරිගේ
advertistmentadvertistment
advertistmentadvertistment